Friday, April 12, 2019

මන්දාරම් අහස යට - පනස් වන කොටස



එලියේ ඉන්න අසේලිව දැකලා ආදිත්‍ය තමන්ගේ අතේ තිබ්බ ජායාරූපය දිහා බැලුවේ පුදුමෙන්.

"මේ පින්තුරේ? මේ එලියේ ඉන්න අසේලි?" ආදිත්‍ය තමන්ටම කියාගත්තේ පුදුමෙන් එලිය බලන ගමන්.

"මේ පින්තුරේ දේදුණු ගේ ඇස් දෙක අසේලිගේ වගේමයි.හරි ලස්සනයි." පින්තුරේ දිහා හොදට බලපු ආදිත්‍ය ආයෙමත් ජනේලෙන් එලිය බැලුවත් එතන අසේලි පේන්න හිටියේ නෑ.ආදිත්‍ය කලබලෙන් ජනේලෙන් එලිය බැලුවත් අසේලි පේන්න හිටියේ නෑ.

"මටත් මේ මහ දවල් හීන පේනවද මන්දා...අසේලි කොහෙද මෙහේ" ආදිත්‍ය තමන්ටම කියාගත්තා.

"පුතා....පොඩ්ඩක් එන්න.." එලියෙන් ඇහුනේ ප්‍රියංකාගේ කටහඩ.ආදිත්‍ය ජායාරූපය සාක්කුවට දාගන්න ගමන්ම එලියට ගියා.

සාලේ කවුදෝ මැදි වයසේ ගෑනු කෙනෙකුයි පිරිමි කෙනෙකුයි වාඩි වෙලා හිටියා.ඒත් එක්කම තව ගෑනු ලමයෙකුත් ආදිත්‍යට පිටුපාලා වාඩි වෙලා හිටියට ඒ ගෑනු ලමයගේ මූණ ආදිත්‍යට පෙනුනේ නෑ.ඒ වාඩි වෙලා හිටපු ගෑනු කෙනා එක්ක සන්තොසෙන් කතා කර කර හිටපු ප්‍රියංකා ආදිත්‍යව දැකලා කතා කරා.

"ආදි....එන්න මෙහෙට.මතකද ජනිතා ආන්ටි ව" ප්‍රියංකා කතා කරනවත් එක්කම ඒ ගෑනු කෙනා වගේම පිරිමි කෙනාත් ආදිත්‍ය එක්ක හොදට හිනා වුනා.ආදිත්‍යත් හිනා වේගෙනම ජනිතා ලග තිබ්බ පුටුවෙන් වාඩි වුනා.

"පුතා දැන් ලොකු වෙලානේ සෑහෙන්න"ජනිතා කිව්වේ ආදිත්‍ය දිහා හොදට බලන ගමන්.

"ඔව් මේ අපේ නිමන්තට වඩා අවුරුදු දෙකයිනේ බාල" එතන ඒ පිරිමි කෙනාත් කියද්දි ආදිත්‍ය හිනා වුනා.

"මේ කිව්වට පුතාට අපිව අමතකද කොහෙද?" ජනිතා කියද්දි ආදිත්‍ය ඔලුව වැනුවා.

"නෑ ආන්ටි මට මතකයි.පොඩි කාලේ චොක්ලට් ගේනවා මට මතකයි" ආදිත්‍ය කියද්දි ජනිතා හිනා වුනා.

"ඒක නෙවෙයි.ආදිට මතකද දන්නෙත් නෑ මේ ජනිතා ආන්ටිගේ දුව" ප්‍රියංකා කියද්දි ආදිත්‍ය හැරිලා බැලුවේ පුටුවේ වාඩි වෙලා ඉන්න ගෑනු ලමයා දිහා.ඒ ඉන්න ගෑනු ලමයා දැකපු ආදිත්‍යගේ ඇස් ලොකු වුනා.

"අ....අසේලි" ආදිත්‍යට ඉබේටම කියවුනා.

"පොඩි කාලේ එකට සෙල්ලම් කරා මතකද? අර ඔන්චිල්ලාවෙමයි හිටියේ දෙන්නා" ප්‍රියංකා හිනා වෙවී කියනවා අසේලි දිහාම බලන් හිටපු ආදිත්‍යට ඇහුනේ හීනෙන් වගේ.

"ඇයි මතකද අර එක දවසක් අපේ සුදු දූගේ බෝනික්කෙන් ඔතනින් පහලට වැටිලා ආදි තමයි අරගෙන දීලා තිබ්බේ.තුවාලත් වුනේ" ජනිතාත් මතක් කරා.

ජනිතා එහෙම කියද්දි ආදිත්‍යට ඒ සිද්දිය මතක් වුනා.ඒත් ඒ සිද්දිය වුනේ දේදුණු ට කියලා ආදිත්‍යට හොදටම මතකයි.

"දේදුණු..... මෙන්න බෝනික්කා ගෙනාවා මං." බෝනික්කා අරගෙන ඇවිත් දේදුණු ගේ අතට දෙනවා ආදිත්‍යට අද වගේ මතකයි.ඒත් ඒ දේදුණු අද අසේලි වෙලා තියෙන්නේ කොහොමද කියලා ආදිත්‍යට හිතා ගන්නත් අමාරුයි.

ආදිත්‍ය ආයෙත් බැලුවේ පුටුවේ වාඩි වෙලා හිනාවක්වත් නැතුව තමන් දිහා බලන් ඉන්න අසේලි දිහා.හැබැයි අසේලි ඉන්න විදියෙන් නම් මේ දේවල් අසේලිට පුදුමයක් නොවෙන බව ආදිත්‍යට තේරුණා.

"ආඩම්බරයි...බැලුවම නම්.....හොරැහින් බලන්නේ ඇයි එහෙනම්..." අසේලිගේ දුරකථනය නාද වෙන්න පටන් ගත්තා.

"එක්ස්කියුස් මී" එහෙම කියපු අසේලි දුරකථනයත් අරගෙන එලියට යනවා ආදිත්‍ය බලාගෙන.

"ආදි...ඉතින් දැන් මොකද කරන්නේ?" ජයවර්ධන අහද්දි ආදිත්‍ය අමාරුවෙන් හිනා වුනා.

"මං අංකල් IT degree එකක් කරේ.graphic designing major.දැන් පාර්ට් ටයිම් වර්ක් කරනවා." ආදිත්‍ය විස්තර කරා.

"බොහොම හොදයි...බොහොම හොදයි.අපේ සුදු දූ ත් කොළඹ කැම්පස් ඉන්නේ" ජයවර්ධන කියද්දි ආදිත්‍යට හිනා වුනා.

'සුදු දූ ගැන මං දන්නවා අංකල්' එහෙම කියන්න හිතුනත් ආදිත්‍ය මුකුත් කිව්වේ නෑ.

වැඩිහිටියෝ  තමන්ගේ පරණ කතා අලුත් කතා කතා වෙන අතරේ ආදිත්‍ය එලියට බැස්සේ අසේලිව හොයාගෙන.කලින් ඔන්චිල්ලාව තිබුනු තැන අසේලි හිටියේ දුරකථනයෙන් කාත් එක්කදෝ කතා  කර කර.

"අනේ මං දන්නේ නෑ විහාරා.මගේ ඔලුවත් අවුල් වෙනවා මේ වෙන දේවල් නිසා"

" ...................................."

"දැන් ඉතින් කියලා වැඩක් නෑනේ...එක්කෝ අද උදේවත් කියන්න එපැයි මට" අසේලි කිව්වේ ඈතින් පේන කදු යායක් දිහා බලාගෙන.ඒත් එක්කම ඇහුනු සද්දයක් නිසා අසේලි පිටිපස්ස හැරිලා බැලුවා.එයාට ටිකක් එහාට වෙන්න හිටගෙන ඉන්න ආදිත්‍ය දැකපු අසේලිට දැනුනේ අපහසුතාවයක්.

"මේ මං ඔයාට පස්සේ කතා කරන්නම්" කලබලයෙන් දුරකථනය විසන්ධි කරපු අසේලි ආපහු ගෙදර පැත්තට යන්න හැරුනා.

"අසේලි...." ආදිත්‍යගේ කටහඩ ඇහුනත් අසේලි නැවතුනේ නෑ.

තමන්ගේ කටහඩ ඇහෙන්නේ නෑ වගේ අසේලි යද්දි ආදිත්‍ය ට දැනුනේ තරහක්.අඩියට දෙකට අසේලි ලගට ගියපු ආදිත්‍ය අසේලිගේ අතින් අල්ලගත්තා.

"මොක්කද මේ කරන්නේ? පිස්සුද?" අසේලි අත ගසලා දැම්මේ තරහෙන්.

"කතා කරපු වෙලාවේ නැවතුනා නම් ඉවරයිනේ" ආදිත්‍ය කිව්වෙත් තරහෙන්.

"හරි දැන් මොකටද කතා කරේ?" අසේලි ඇහුවේ සන්සුන් වෙන්න උත්සහ කරන ගමන්.

" කොහොමද ඔයාට?" ආදිත්‍ය අහද්දි අසේලි වටපිට බැලුවේ කෙලින්ම ආදිත්‍ය දිහා බලන්න බැරි අපහසුවක් දැනුනු නිසා.

"හොදයි.වරදක් නෑ" අසේලි කිව්වේ ආදිත්‍යගේ මූණ මග ඇරලා.

"නිකන්වත් මට කතා කරේ නෑ නේද?" ආදිත්‍ය අහද්දි අසේලි කෙලින්ම ආදිත්‍ය ගේ මූණ දිහා බැලුවා.

"ඔයා කතා කරෙත් නෑනේ" අසේලි කියද්දි ආදිත්‍යගේ අත්මිට මෙළවුනා.

"මං කතා කරන්නේ කොහොමද? මේ...නෑ...ඒක ඕනේ නෑ.මට තියෙනවා පොඩි දෙයක් අහන්න" ආදිත්‍ය අවිශ්ක ගැන කියන්න ආවත් ඒක ගිලගත්තේ ඒ ගැන කතා කරන්න දැන් තමන්ට අයිතියක් නැති බව හිතලා.

"මොකක්ද?" අසේලි අහද්දි ආදිත්‍ය සාක්කුවට අත දාලා ජායාරූපය එලියට ගත්තා.

"මේ ඉන්නේ කව්ද දන්නවද?" ආදිත්‍ය ඇහුවේ ජායාරූපය පෙන්නන ගමන්.

"හ්ම්ම්...."

"කව්ද...."

"ඔයයි මායි..."අසේලි ගානක්වත් නැතුව කියද්දි ආදිත්‍යට දැනුනේ පුදුමයක්.

" මේ ඔයාද?"

"ඔව්..."

"ඒත්...ඒත් මේ දේදුණු නේ.." ආදිත්‍ය කියද්දි අසේලි හුස්මක් හෙලුවා.

"මොන දේදුණු ද? මේ ඉන්නේ මම.ඔයාට සැක නම් අන්න අපේ අම්මා ඉන්නවා ඇතුලේ.අම්මාගෙන් අහන්න" එහෙම කියපු අසේලි ආපහු හැරුනේ ගේ ඇතුලට යන්න.

"ඉන්න....අසේලි...මේක මට ප්‍රශ්නයක්" ආදිත්‍ය ආයෙත් කියද්දි අසේලි නැවතුනා.

"මොකක්ද?"

"මේ පින්තූරේ ඉන්න ගෑනු ලමයාගේ නම මට මතක දේදුණු කියලා.ඒකේ වැරැද්දක් වෙන්න බෑ.ඔයාගේ නමේ දේදුණු කියලා කොටසක් තියෙනවද?"

"මගේ නම අසේලි ප්‍රාර්ථනා ජයවර්ධන.ඒකේ දේදුණු කියලා කෑල්ලක් තියෙනවද?" අසේලි ඇහුවේ නෝක්කාඩුවෙන් වගේ.

"ඒත්....අර දේදුණු එතකොට..මං හිතුවේ එයයි මේ දේදුණු කියලා...ආදිත්‍ය කිව්වේ කල්පනා කරන ගමන්.

"ආදිත්‍ය...මං දන්නේ නෑ මේ දේදුණු කතාව මොකක්ද කියලා ඒත් මේ ෆොටෝ එකේ ඉන්නේ මම.ඒ වගේම මට මතකයි ඔයයි මායි පොඩි කාලේ සෙල්ලම් කරනවා.ඔයා මට අකුරු කියලා දෙනවා.බයිසිකල් පදිනවා.අර ඈත තියෙන අරලිය ගහේ A අකුරකුත් අපි දෙන්නා මහන්සි වෙලා කෙටුවා මට මතකයි" අසේලි කියද්දි ආදිත්‍ය අහගෙන හිටියේ පුදුමෙන්.

"ඉතින්...ඉතින් ඇයි ඔයා ඕවා මට කලින් නොකිව්වේ"

"ඔයාගේ පොඩි කාලේ ෆොටෝ එකක් ඔයාම මට පෙන්නුවා මතකද? එදාම මට හිතුනා මං කොහෙදි හරි දැකලා තියෙනවා කියලා.ඒත් ඒවා මට මතක් වුනේ හෝස්පිට්ල් එකේදි.ඊට පස්සේ ඉතින් ඔයාට කියන්න වුනේ නෑනේ.අද මේ ගෙදරට එද්දිම මට තේරුනා මේ ඔයාගේ ගෙදර කියලා" අසේලි විස්තර කරා.

"හ්ම්ම්..හරි හරි....ඒත් මේ දේදුණු" ආදිත්‍ය කිව්වේ කල්පනාවෙන්.

"මං දන්නේ නෑ දේදුණු ගැන.ඒත් ඔයාට ඕනේ නම් ඕක අම්මාගෙන් අහමු" අසේලි එහෙම කිව්වේ ගේ ඇතුලට යන ගමන්.

මේ දෙන්නා ගේ ඇතුලට යද්දිත් කට්ටියගේ කතාව නතර වෙලා තිබුනේ නෑ.

"අම්මා..." ගේ ඇතුලට ගියපු අසේලි ජනිතාට කතා කරා" ජනිතා වගේම අනිත් අයත් බැලුවේ එක ලග හිටගෙන ඉන්න අසේලියි ආදිත්‍යයි දිහා.

කලු කලිසමට සුදු ටීශර්ට් එකක් ඇදපු ආදිත්‍යත් නිල් ඩෙනිම් සායට සුදු ටීශර්ට් එකක් ඇදපු අසේලිත් දැකපු ප්‍රියංකා ජනිතාගේ අතින් අල්ලගත්තා.ජනිතාත් ප්‍රියංකාගේ මූණ බලලා හිනා වුනා.

"අම්මා....මේ ආදිත්‍යට අහන්න දෙයක් තියෙනවලු" අසේලි කියද්දි ජනිතා ආදිත්‍ය දිහා බැලුවා.

"මේ...මේකයි ආන්ටි මේ....අසේලි ගේ  නංගි කෙනෙක් එහෙම ඉන්නවද දේදුණු කියලා" ආදිත්‍ය අහද්දි කට්ටියගෙම ඇස් උඩ ගියා.

"මොනවද පුතා මේ අහන්නේ?" ප්‍රියංකා ඇහුවේ පුදුමෙන්.

"මෙයාට නංගි කෙනෙක් නම් ඉන්නවා.ඒ මේධාවි.දේදුණු කියලා නම් නෑ..." ජයවර්ධන කිව්වේ පුදුමෙන්.

" දේදුණු කියලා නමක් අල්ලගෙන මෙයා කියවනවා පොඩි කාලේ සෙල්ලම් කරා කියලා.ඒක මේ එච්චර හිතන්න ඕනේ නෑ.පොඩි කාලේ එක එක ඒවා ඔලුවේ තියෙනවනේ" ක්‍රිශාන්ත කිව්වේ එතන තිබ්බ නොසන්සුන්කම මග අරවන්න හිතාගෙන.

"පොඩ්ඩක් ඉන්න...." ජනිතා කියද්දි හැමෝම ඒ දිහා බැලුවා.

"පුතාට මතක දේදුණු කියලා නේද?" ජනිතා ඇහුවේ හිනා වෙන ගමන්.

"ඔව් ආන්ටි.දන්නවද?"

"අනේ....පුතා...ඒ මේ අසේලිම තමයි.එයා එයාටම දාගෙන තිබුනු නම තමයි දේදුණු" ජනිතා කිව්වේ හිනා වෙවී.

*************************************
අද ඉවර කරන්න හිටියට සෑහෙන දිගයි වගේනේ.හෙට උදේ ඉවර කරන්නම්.
හෙට උදේ ඉවර කරනවාමයි.මොකද අලුත් අවුරුද්දට අලුත් තෑග්ගක් එනවා.
ඇගිල්ල තුවාල වෙලා ටයිප් කරගන්න බැරුව හිටියා දවස් දෙකක්ම.
හෙට කතාව ඉවරකරගමු.
ආදරෙන් ඉන්න ❤️

2 comments:

සුබ අලුත් අවුරුද්දක් වේවා

ඔන්න ඉතින් අද සිංහල දෙමළ අලුත් අවුරුද්ද ලූ. මට නම් දැන් අවුරුද්ද කිව්වම විශේශයක් දැනෙන්නෙම නැති තරම්.කොහා කෑගහන්නේ නෑ.බක්මහ අක...