Tuesday, April 9, 2019

මන්දාරම් අහස යට - හතලිස් නම වන කොටස


පහුවදා උදේ ආදිත්‍යට ඇහැරුනේ ප්‍රියංකා කතා කරන හඩින්

"ආදි...නැගිටින්න පුතා..." ප්‍රියංකා එහෙම කියන ගමන් ආදිත්‍යගේ ලගින් ඇදේ කොනකින් වාඩි වුනා.

ඇස් අරින්නෙත්වත් නැතුව ආදිත්‍ය ප්‍රියංකාට ලං වෙද්දි ප්‍රියංකාට ඉබේටම හිනා ගියා.

"නැගිටින්න ආදි...අපි යන්නත් ඕනනේ" ප්‍රියංකා කිව්වේ ආදිගේ හිස්කෙස් අතරින් අත යවන ගමන්.ඒ අතේ සනීපෙට ආදිත්‍ය හෙමීට ඇස් ඇරියා.

"තව ටිකක් ඉමුකෝ අම්මා...මට මහන්සියි.නිදිමතයි" ආදිත්‍ය කිව්වේ ප්‍රියංකාගේ බද වටේට අතක් දාලා ලං වෙන ගමන්.

"මේ ලොකු කොල්ලොන්ගෙනේ හුරතලේ තියෙන්නේ.නැගිටින්න නැගිටින්න.අන්න අවිශ්කත් නැගිටලා" ප්‍රියංකා කිව්වේ හිනා වෙවී ඇදෙන් නැගිටින ගමන්.ඒකට මුකුත්ම නොකිව්ව ආදිත්‍ය ඔලුව කසන ගමන්ම ඇදෙන් වාඩි වුනා.

ප්‍රියංකා කාමරෙන් යනකොටම අවිශ්ක කාමරේට ඇතුල් වුනා.

" අවී මේ කොහෙද යන්න ලෑස්ති වෙලා ඉන්නේ?" ප්‍රියංකා ඇහුවේ අවිශ්ක දිහා හොදට බලන ගමන්.

"අදත් එක්සෑම් පුංචි අම්මේ.දැන් යන්න ඕනේ" අවිශ්ක කියද්දි ප්‍රියංකා හිනා වුනා.

"කවද්ද ඉවර වෙන්නේ එක්සෑම්"

"ලබන සතියේ"

"ඉවර වෙලා එනවනේ නේද නුවර" ප්‍රියංකා අහද්දි අවිශ්ක හිනා වුනා.

"ඔව් ඔව් එනවා එනවා"  අවිශ්ක කිව්වේ ආදිත්‍ය දිහාත් බලන ගමන්.

"ආදි...තාම ඇදේද? යන්න ලෑස්ති වෙන්න.අවී දැන්ම යනවද?" ප්‍රියංකා ඇහුවා.

"ඔව් පුංචි අම්මේ..දැන් යනවා" එහෙම කියපු අවිශ්ක පහත් වෙලා ප්‍රියංකාට වැන්දා.

"බුදු සරණයි.එහෙනම් පරිස්සමෙන් ගිහින් එන්න.හොදට විභාගේ ලියන්න" ප්‍රියංකා කිව්වේ අවිශ්කගේ ඔලුව අතගාන ගමන්.

ප්‍රියංකා කාමරෙන් යනවාත් එක්කම ආදිත්‍ය ඇදෙන් නැගිටලා පුටුවක් උඩ දාලා තිබ්බ තුවාය අතට ගත්තේ නාන කාමරේට යන්න හිතාගෙන.

"ආදි...." ඒ කතා කරේ අවිශ්ක.ඒකට උත්තරයක් නොදුන්නත් ආදිත්‍ය එතනම නැවතුනා.

"ආදි...උඹ අහගෙනද ඉන්නේ" අවිශ්ක ආයෙමත් ඇහුවේ ආදිත්‍යගෙන් උත්තරයක් නැති නිසා.

"හ්ම්ම්...."මේසේ උඩ තිබ්බ ජංගම දුරකථන තිරය එහාට මෙහාට කර කර හිටපු ආදිත්‍ය කිව්වේ අවිශ්ක දිහා නොබලාමයි.

"මොකද මේ උඹට වෙලා තියෙන්නේ?" අවිශ්ක ඇහුවේ ආදිත්‍ය ලගට යන ගමන්.

"ඇයි මොකක්ද?"

"ඇයි උඹ මාත් එක්ක කතාවක් නැත්තේ? මොකක්ද සීන් එක?" අවිශ්ක ඇහුවේ ටික දවසක ඉදන් හිතේ තිබ්බ ප්‍රශ්නයක්.

"එහෙම මුකුත් නෑ" ආදිත්‍ය තාමත් උත්තර දෙන්නේ දුරකථනය දිහා බලාගෙනමයි.අවිශ්ක ආදිත්‍ය ලගට ගිහින් ආදිත්‍ය ලගින්ම හිටගත්තා.

"මොකද නැත්තේ? ආදි බලපන් උඹ මගේ මූණ වත් බලන්නේ නෑ.මේ මොකද බං.උඹ මාත් එක්ක තරහ වෙලාද? " අවිශ්ක අහද්දි ආදිත්‍ය ඔලුව උස්සලා අවිශ්ක දිහා බැලුවා.ආදිත්‍ය ගේ ඇස් වල රතු පාට අවිශ්කට ගෙනාවේ පුදුමයක්.

"ආදි....ඇයි බං මේ..." අවිශ්ක ඇහුවේ පුදුමෙන්.

"මං කොහොමද අවියා උඹත් එක්ක තරහා වෙන්නේ.උඹ මගේ අයියනේ බං.මට වෙන අයියලා නෑනේ.උඹ මගේ අයියා.මං කොහොමද තරහා වෙන්නේ" ආදිත්‍ය කියද්දි ආදිත්‍යගේ ඇස් වලින් කදුලක් බේරිලා ගියා.

"මේ....මේ....මේ මොකද බං...මට නම් තේරෙන්නේ නෑ.ඒයි අඩන්න එපා" අවිශ්ක කිව්වේ ආදිත්‍යව බදාගන්න ගමන්.

"නෑ බං නෑ...මං අඩන්නේ නෑ...ඒත් උඹට තිබ්බා මට කතා කරන්න" ආදිත්‍ය කිව්වේ කම්මුල දිගේ බේරිලා ගියපු කදුල පිහිදන ගමන්.

"කතා කරන්න....ආ...ඉතින් මං කතා කරානේ  බං.උඹනේ අන්තිම කාලේ මගේ කෝල්ස් ආන්සර් නොකරේ හරියට මං වැරැද්දක් කරලා වගේ.මාත් හෙන අවුලෙන් හිටියේ" අවිශ්ක කිව්වේ ආදිත්‍ය දිහා හොදට බලන ගමන්.

"හ්ම්ම්...මට කතා කරන්න තරම් මූඩ් එකක් තිබ්බේ නෑ බං.මට හිත හදාගන්න කාලයක් ඕනේ" ආදිත්‍ය කිව්වේ අවිශ්කගෙන් ඈතට වෙන ගමන්.

"හ්ම්ම්...හරි හරි දැන් ඒවාගෙන් වැඩක් නෑ.උඹ තරහක් නෑ කියලා දැනගත්ත එකම ලොකු දෙයක්.උඹ අවුල් ගන්නේ නැතුව නුවර පලයන්.මං ලබන සතිය වෙද්දි එනවා.එතකොට කතා කරමු.මටත් උඹට කියන්න දේවල් තියෙනවා" අවිශ්ක කිව්වේ ආදිත්‍යගේ උරහිසට තට්ටු කරන ගමන්.

ආදිත්‍ය නාන කාමරෙන් එද්දිත් අවිශ්ක පිටත් වෙලා ඉවරයි.උදේට කෑම කාලා ආදිත්‍ය ප්‍රියංකායි ක්‍රිශාන්තයි එක්ක නුවර ගෙදරට යන්න පිටත් වුනා.පැය 5ක විතර ගමනකින් පස්සේ නුවර නගරය කිට්ටුවම වගේ පිහිටලා තිබුනු ආදිත්‍ය පොඩි කාලේ හැදී වැඩුනු ගෙදරට ලගා වෙන්න මේ අයට පුලුවන්කමක් ලැබුනා.

"ලගදි සුද්ද කරලා වගේ වත්ත නම්" ප්‍රියංකා කිව්වේ වාහනෙන් බහින ගමන්.

"ඔව් අයියා මනුස්සයෙක් දම්මලා සුද්ද කෙරෙව්වලු" ක්‍රිශාන්ත කිව්වේ බොරලු පාර දිගේ ගෙදර ලගට යන ගමන්.

ඒ අතරේ ආදිත්‍ය වත්ත වටේ ඇවිද්ද.කන්දක පිහිටලා තිබුනු ගෙදර වත්තට ඈතින් දළදා මාළිගාවත් හොදට පෙනුනා.ආදිත්‍යට මතක් වුනේ එතන මාළිගාව පේන තැන් තිබුනු ලොකු ඇහැළ ගහ.ඒ ගහේ ඔන්චිල්ලාවකුත් තිබුනා කියලා ආදිත්‍යට මතකයි.

"කෝ අප්පච්චි අර වත්තේ තිබ්බ ඇහැළ ගහ?" ආදිත්‍ය ගේ ඇතුලට ආවෙම එහෙම අහගෙන.

"ඒක ගහ මහ හුලගක් වෙලාවක කඩන් වැටිලා ආදි.ගොඩක් පරන ගහක්නේ" ක්‍රිශාන්ත කිව්වේ ගෙදර ඇතුලේ දොරවල් අරින ගමන්.

"මෙයාට තාම ඒ ගහත් මතකයි නේද?" ප්‍රියංකා ඇහුවේ හිනා වෙවී.

"ඔව් ඇයි ඒකේ ඔන්චිල්ලාවකුත් තිබ්බානේ.මං දේදු.....නෑ මේ මල්ලි එක්ක ඔංචිලි පැද්දත්නේ" ආදිත්‍ය කලබලෙන් කිව්වේ දේදුණු ගේ නම අම්මලට ඇහෙන්න නොදී.

දේදුණු කියලා කෙනෙක් ගැන ප්‍රියංකාලට කිසිම මතකයක් තිබුනේ නෑ.ඒ නිසා ආදිත්‍ය සැරින් සැරේටම දේදුණු ගැන කියවන එක ප්‍රියංකාට ලොකු ප්‍රශ්නයක් වුනා.පොඩි කාලේ නම් ලංකාවෙන් ආපු පීඩනේට මෙහෙම කියවන බව හිතුවත් ලොකු වෙද්දිත් දේදුණු ගේ කතාවේ අඩුවක් නොවුනු තැන ආදිත්‍ය ව දොස්තර කෙනෙක් ලගට එක්කගෙන යන්නත් ප්‍රියංකා පෙළඹුනා.ඒකෙන් තමයි ආදිත්‍ය දේදුණු ගැන ගෙදරදි කතා කරන එක නැවැත්තුවේ.

"මේ....මෙන්න ආදි ඔයාගේ ඉස්සර කාමරේ" ක්‍රිශාන්තගේ සද්දෙට ආදිත්‍ය ගියේ තමන්ගේ පරණ කාමරේ බලන්න.

"කෝ මේකේ බඩු නෑනේ"ආදිත්‍ය කාමරේට එබිලා කිව්වා.

"මොකද නැත්තේ.මේ ඇදයි අල්මාරියයි මේසෙයි තියෙන්නේ" එහෙම කියන ගමන්ම ප්‍රියංකා එතන තිබ්බ ජනේලේ ඇරියා.

"ඉතින් එච්චරයිනේ" ආදිත්‍ය කිව්වේ කාමරේ වටේ ඇවිදින ගමන්.

"වෙන මොනවා තියෙන්නද? ඔයාගේ බඩු අස් කරගන්න ආදි.වෙලාවට අයියා මේවා අස් කරවලා තිබ්බේ" ප්‍රියංකා එහෙම කියාගෙනම කාමරෙන් එලියට යද්දි ආදිත්‍ය එයාගේ අල්මාරිය ඉස්සරහ නතර වුනා.

ඒක සමාන කොටස් දෙකක් තිබුනු ලොකු අල්මාරියක්.එක අල්මාරියක් ඉස්සර "ආදිත්‍ය" කියලා ගහලා තිබුනා.අනිත් අල්මාරිය ඉස්සරහ තිබ්බේ "මලින්ද" කියලා.ආදිත්‍ය ඒ "මලින්ද" කියන නම ආදරෙන් අත ගෑවා.

'ඔයා හොද තැනක ඇති මල්ලි' ආදිත්‍ය හිතුවේ ඒ නම දිහා බලාගෙනමයි.

අල්මාරියේ තමන්ගේ පැත්තේ කොටස ඇරපු ආදිත්‍ය ඒකේ තිබ්බ පත්තර කොලයක් අයින් කරේ ලොකු දූවිලි ගොඩකුත් එක්කමයි.

"අස් කරා අස් කරා කියලා අම්මා කිව්වට මොකද මේ තාම දූවිලි නේ" ආදිත්‍ය තමන්ටම කියාගත්තේ දූවිලි පිරුනු පත්තර කොලයක් බිමට දාන ගමන්මයි.ඒත් පත්තර කොලයක් එක්කම බිමට වැටුනු පොඩි ෆොටෝ එකක් දැකපු ආදිත්‍ය බිමට නැමිලා ඒක අහුල ගත්තා.

"මේ...මේ...ඉන්නේ දේදුණු...දේදුණු යි මමයි" ආදිත්‍ය ඒ ජායාරූපය දිහා බැලුවේ පුදුමෙන්.පොඩි සුදු කොට ගවුමක් ඇදපු දේදුණු ආදිත්‍ය එක්කම ඔන්චිල්ලාවේ ඉන්න දිහා ආදිත්‍ය බලාගෙන හිටියා.

"මේ අපි ලංකාවෙන් යන්න කලින් ගත්ත ෆොටෝ එකක්" ආදිත්‍ය තමන්ටම කියාගත්තේ ජායාරූපය දිහා තවත් හොදට බලන ගමන්.

"මේ....දේදුණු...." ආදිත්‍ය එහෙම කියන ගමන්ම කාමරේ ජනේලේ ලගට ගියේ ජායාරූපය දිහා හොදට බලන්න හිතාගෙන.

"මේ දේදුණු ටිකක් වෙනස්ද මන්දා....ඒත් හොදට දැකලා පුරුදුයි වගේ" ආදිත්‍ය කල්පනා කරේ ජායාරූපය දිහා බලාගෙනමයි.

ඒත් එක්කම එලියේ කවුදෝ ඇවිදින සද්දයක් නිසා ආදිත්‍ය ජනේලෙන් එලිය බැලුවා.එලියේ ඇවිදින කෙනාව දැකපු ආදිත්‍යගේ ඇස් ලොකු වුනා.ආයෙමත් එක පාරටම ආදිත්‍ය ජායාරූපය දිහා බලපු ආදිත්‍ය ආපහු පාරක් එහා පැත්තේ ගෙදර වත්තේ ඇවිදිමින් ඉන්න අසේලි දිහා පුදුමෙන් බැලුවා 

****************************************
දැන් ගොඩක් දුරට ප්‍රශ්න ඉවරයි නේද?
ඊලග කොටස ගොඩක් දුරට අවසාන කොටස වේවි...

ඒ වගේම මගේ බ්ලොග් පාඨකයන්ට නම් අලුත් අවුරුදු තෑග්ගකුත් තියෙනවා දෙන්න ❤️
ඉක්මනටම එන්නම්
ආදරෙන් ඉන්න ❤️

2 comments:

සුබ අලුත් අවුරුද්දක් වේවා

ඔන්න ඉතින් අද සිංහල දෙමළ අලුත් අවුරුද්ද ලූ. මට නම් දැන් අවුරුද්ද කිව්වම විශේශයක් දැනෙන්නෙම නැති තරම්.කොහා කෑගහන්නේ නෑ.බක්මහ අක...