Saturday, April 13, 2019

මන්දාරම් අහස යට - අවසන් කොටස


"අනේ....පුතා...ඒ මේ අසේලිම තමයි.එයා එයාටම දාගෙන තිබුනු නම තමයි දේදුණු" ජනිතා හිනා වෙවී කියද්දි හැමෝම බලාගෙන හිටියේ පුදුමෙන්

"ඒ කිව්වේ?" ප්‍රියංකා ඇහුවේ ඇස් දෙකත් ලොකු කරගෙන

"මෙයා චූටි කාලේ නිමන්ත මෙයාට කතාවක් කියලා දීලා.ඒකේ පොතක ගෑනු ලමයාගේ නම තමයි දේදුණු.ඊට පස්සේ මෙයා එක විකාරයක් කරා නම වෙනස් කරන්න කියලා.පස්සේ එයා එයාටම දේදුණු කියලා නම දාගත්තා.කවුරු ඇහුවත් කිව්වේ දේදුණු කියලා.ඕක ඉස්කෝලේ යනකම්ම වගේ තිබ්බා.ඉස්කෝලේ ගිහින් තමයි අමාරුවෙන් වෙනස් කරගත්තේ" ජනිතා කියද්දි ජයවර්ධන ත් ඔලුව වැනුවා.

"මටත් මතකයි ඔය කතාව.එක දවසක් ගෙදරට ආපු මගේ යාලුවෙක්ටත් කියලා තිබ්බේ නම දේදුණු කියලා" ජයවර්ධන ත් හිනා වෙවී කිව්වා.

"අනේ...බලන්න ඉතින් අපේ ආදිත්‍යත් දිගටම කිව්වා දේදුණු කියලා ගෑනු ලමයෙක් එක්ක සෙල්ලම් කරා කියලා.මං බැන්නත් එක්ක පිස්සුද කියලා.කවුද මෙහෙම එකක් දන්නේ.අපි දූව දන්නේ සුදු දූ කියලානේ" ප්‍රියංකා හිනා වෙවී කියද්දි ආදිත්‍ය බැලුවේ එයා ලගට වෙලා හිටගෙන ඉන්න අසේලි දිහා.

'එහෙනම් මේ තමයි මගේ දේදුණු...මගේ ඇත්ත දේදුණු' ආදිත්‍ය හිතුවේ අසේලි දිහා බලාගෙනමයි.

"හරිනේ දැන් එහෙනම් ඒ ප්‍රශ්නෙත්.ඒත් පුතා කොහොමද හිතුවේ ඒ දේදුණු මේ සුදු දූ මයි කියලා" ප්‍රියංකා ඇහුවා.

"මේ ෆොටෝ එකෙන්" ආදිත්‍ය පෙන්නුවේ මෙච්චර වෙලා අතේ තියන් හිටපු ෆොටෝ එක.

"අනේ....මේ කොහෙන්ද මේක හම්බුනේ..හරි හුරතල් නේද මේ දවස් වල" ජනිතා කිව්වේ ප්‍රියංකාගේ අතේ තිබ්බ ජායාරූපයට එබෙන ගමන්.

"මේ අල්මාරියක තිබ්බේ" ආදිත්‍ය කිව්වේ අසේලි දිහා බලන ගමන්.

"මේ සුදු ගවුම මතකද? ඔයා මැහුවේ අසේලිට" ජනිතා කියද්දි ප්‍රියංකා ඔලුව උස්සලා ජනිතා දිහා බැලුවා.

"මොකක්ද මේ දූවගේ ඇත්තම නම? අසේලි ද?"  ප්‍රියංකා අහද්දි ජනිතා ඔලුව වැනුවා.

"ඔව්...අසේලි ප්‍රාර්ථනා ජයවර්ධන"

" ඇයි?" ජනිතා ආයෙමත් ඇහුවේ ප්‍රියංකාගේ සද්දයක් නැති නිසා.අසේලිත් ආදිත්‍ය දිහා බැලුවේ කලබලෙන්.

"නෑ...මේ මට දෙයක් මතක් වුනා" ප්‍රියංකා කිව්වේ අසේලි දිහා හොදට බලන ගමන්.

"ඒ මොකක්ද?" ජනිතා අහද්දි ප්‍රියංකා ආයෙමත් ආදිත්‍ය දිහා බැලුවා.

"ආදි...මේ අර ඔයා කියපු අසේලිද?" ප්‍රියංකා කෙලින්ම අහද්දි ආදිත්‍ය එක පාරට කලබල වුනත් ප්‍රියංකා දිහා කෙලින්ම බලලා ඔලුව වැනුවා.

"ඔව් අම්මා" ආදිත්‍ය කියද්දි ප්‍රියංකාගේ ඉබේටම හිනා ගියා.

"හනේ...හනේ...ඉතින්..කවුද දන්නේ මෙහෙම එකක්.මං මේ නිකමට වගේ සැකේට ඇහුවේ" ප්‍රියංකා හිනා වෙවී කියද්දි ආදිත්‍යත් අසේලි දිහා බැලුවේ හිනා වෙලා.ඒත් එහෙම වුනත් අසේලි නම් හිටියේ බය වෙලා.

"ඇයි මොකක්ද ප්‍රියංකා? ඔයා කලින් සුදු දූ ව දන්නවද?" ජනිතා අහද්දි අනිත් අයත් බලන් හිටියේ පුදුම වෙලා.

"හ්ම්ම්...මං විතරක් නෙවෙයි ඔයාලාත් අපේ ආදිත්‍යව දන්නවා ඇති"ප්‍රියංකා කිව්වේ හිනා වෙවී.

"ඒ කිව්වේ?" දැන් නම් ජයවර්ධන නටත් හිතාගන්න බෑ මේ කතාව.

"මේ ලගදි අසේලිව පැහැරගත්ත ප්‍රශ්නයක් වුනා නේද? ඒ වෙලාවේ එතන හිටපු කොල්ලා අපේ ආදිත්‍ය" ප්‍රියංකා කියද්දි කට්ටියම ආදිත්‍ය දිහා බැලුවේ පුදුම වෙලා.

"මේ ආදිත්‍යද එතකොට ඒ..." ජනිතා කියාගෙන ආවේ පුදුමෙන්.

"එතකොට මේ අසේලිවද ආදි බේරගත්තා කිව්වේ?" ක්‍රිශාන්තත් ඇහුවේ පුදුමෙන්.

"පේන විදියට නම් එහෙම තමයි" ප්‍රියංකා කිව්වේ ආදිත්‍යයි අසේලියි දිහා බලන ගමන්
අසේලි දිගටම බිම බලාගෙන හිටියත් ආදිත්‍ය ඔලුව වැනුවා.

"ඔව් අප්පච්චි"

"හරි පුදුමයිනේ" මෙච්චර වෙලා නිහඩව හිටපු ජයවර්ධන කිව්වේ පුදුමෙන්.

"සුදු අක්කා...." දොරෙන් එබුනු පොඩි පිරිමි ලමයෙක් කෑගහද්දි හැමෝම ඒ පැත්ත හැරිලා බැලුවා.

"ආ....ක්‍රිශී ඇයි?" අසේලි දොර ලගට යද්දිම ජනිතා ඇහුවේ දොරෙන් එබුනු පොඩි පිරිමි ලමයාගෙන්.

"අපේ සෙල්ලම් ගෙදරට එන්නකෝ සුදූ අක්කා...ඔයා බාගේට දාලා ගියානේ.මගදි දාලා යන්නේ නෝටි ලමයි" ඒ පිරිමි ලමයා කියද්දි හැමෝම හිනා වුනා.

"සුදු දූ යන්න එහෙනම්.." එහෙම කියපු ජනිතා ආයෙත් හැරුනේ ප්‍රියංකා දිහාවට.

"ඒ මල්ලිගේ පොඩිම පුතා.මතකද ඔයාට කුසල් ව.මගේ පොඩි මල්ලි.එයාගේ පුතා" ජනිතා කියද්දි ප්‍රියංකා ඔලුව වැනුවා.

"ඔව් ඔව්...ආ දැන් එයාලද මේ එහා පැත්තේ ගෙදර ඉන්නේ?"

"ඔව්...අපේ මෙහේ ගෙදර තාම රෙපෙයාරින්.ඒ නිසා මේ ටිකේ මෙහේ ඉන්නවා." ජයවර්ධන කිව්වා.

" එතකොට දිගටම මෙහේද?" ක්‍රිශාන්ත අහද්දි ජනිතා ඔලුව වැනුවා.

"අපෝ නෑ.මෙහේ ඉදලා කොහොමද? එහේනේ ඔක්කොම තියෙන්නේ.මායි සුදු දූයි පොඩි දූයි ඉන්න හිතාගෙන ඉන්නේ සති දෙකක් විතර" ජනිතා විස්තර කරා.

"එක්ස්කියුස් මී.අම්මා මං රූම් එක අස් කරගන්නද? " ආදිත්‍ය ඇහුවේ පුටුවෙන් නැගිටින ගමන්.දැනගන්න ඕනේ විස්තර දැනගත්තාට පස්සේ ආයෙත් මෙතන ඉන්න ආදිත්‍යට ඕනේ වුනේ නෑ.

කාමරේට ගියපු ආදිත්‍ය ජනේලේ ලගට ගියා.අසේලි එහා ගෙදර සාලේ පුටුවක වාඩි වෙලා ඉන්නවා ආදිත්‍යට හොදට පෙනුනා.

'ශික් ඇත්තට මං වගේ මෝඩයෙක්.දේදුණු අත ලගම ඉදලත් හොයාගන්න බැරි වුනානේ' ආදිත්‍ය හිතුවේ අසේලි දිහාම බලාගෙන.

'එක අතකට ඉතින් මං කොහේ දැනගන්නද? එයත් මේ බොරු නමක් දාගෙනනේ ඉදලා තියෙන්නේ.මේක එයාගේ වැරැද්ද.කලින්ම දැනගන්න තිබ්බ එකනේ මෙච්චර කල් ගියේ' ආදිත්‍ය තවත් හිතනවා.

'ඒත් ඉතින් ඒ දැනගත්තා කියලා මොකක් වෙනස් වෙන්නද? මේ වෙච්ච දේවල් වෙනස් වෙන්නේ නෑනේ'  ඒ ගැන හිතද්දි ආදිත්‍ය ට දැනුනේ ලොකු පසුතැවීමක්.සාලේ වාඩි වෙලා හිනා වෙවී ඉන්න අසේලි දිහා එක පාරක් බලපු ආදිත්‍ය ඇවිත් ඇදෙන් වාඩි වුනා.

'ඒත් මොකක්ද එතකොට දේදුණු මට කියපු කතා වල තේරුම? එයා එක්ක මං සෙල්ලම් කරා කිව්වේ' ආදිත්‍ය හිතුවේ පුදුමෙන්.

හිතේ කුතුහලය නිසාම ආදිත්‍ය දේදුණු ට දුරකථන ඇමතුමක් ගත්තා.

"හෙලෝ..."

"හෙලෝ දේදුණු මං ආදිත්‍ය"

"අනේ....ආදි...මං මේ බලාගෙන හිටියේ කතා කරනකම්.දැන්ද සිම් එකක් ගත්තේ" දේදුණු කතා කරේ හරිම නොඉවසිල්ලෙන් බව කතාවෙන්ම ආදිත්‍ය ට තේරුනා.

" හ්ම්ම්....මේ මට පොඩි දෙයක් තියෙනවා අහන්න"

"ඒ මොකක්ද?"

" ඔයා අර කිව්වා නේද මං හොයපු පොඩි කාලේ යාලුවා ඔයා කියලා.ඔයාට ඒක හොදටම විශ්වාසද?" ආදිත්‍ය එහෙම අහලා ටික වෙලාවක් යනකම් දේදුණු නිහඩ වුනා.

"හෙලෝ....දේදුණු " ආදිත්‍ය ආයෙමත් කතා කරේ දේදුණු ගෙන් ප්‍රතිචාරයක් නැති නිසා.

"හෙලෝ...ඔව් ඒ මං තමයි.ඇයි ඔයා එහෙම ඇහුවේ"

"ඒක වෙන්න බෑ දේදුණු.ඒ වෙන කෙනෙක්.ඔයාත් එක්ක සෙල්ලම් කරලා තියෙන්නේ මං නෙවෙයි"

"එහෙනම් ඒ කවුද?"

" අසේලි"

"අසේලි? ඔයාට පිස්සුද? අසේලි ද කිව්වේ.ඒක එහෙම වෙන්න බෑ.මමයි ඔයා හොයන දේදුණු " දේදුණු එක දිගට කියවගෙන යද්දි ආදිත්‍ය අහගෙන හිටියා.

"දේදුණු මං මේ කතා කරන්නේ හැමදේම හොදට දැනගෙන.අසේලිගෙන් විතරක් නෙවෙයි.අම්මාගෙන් අප්පච්චි ගෙන් පවා දැනගත්ත දේවල් වලින් මේ කතා කරන්නේ"

"එතකොට එතකොට ඔයා කියන්නේ එයා ඇත්ත දේදුණු කියලාද? මං නෙවෙයි කියලාද ? ඒක එහෙම වෙන්න බෑ ආදි.මං තමයි ඔයා හොයපු දේදුණු " හැඩුන් ස්වරයකින් දේදුණු කියද්දි ආදිත්‍ය ට දැනුනේ අනුකම්පාවක්.

"දේදුණු අපි මේක පස්සේ කතා කරමු.මං කතා කරේ ඔයාට මේක කියන්න.මං ආයේ කතා කරන්නම්.ඔයා ඒ දේදුණු නොවුනා කියලා ප්‍රශ්නයක් නෑ.ඔයා මට හොද යාලුවෙක් වුනා.ඒක ඉස්සරහටත් එහෙම්මයි.ඒක වෙනස් වෙන්නේ නෑ" ආදිත්‍ය කියාගෙන යද්දි දේදුණු නිහඩවම අහගෙන හිටියා.

"දේදුණු..." ආදිත්‍ය ආයෙමත් කතා කරේ දේදුණු ගෙන් උත්තරයක් නැති නිසා.ඒත් එක්කම දේදුණු ගෙන් සුසුමක් පිටවෙන හඩ ආදිත්‍ය ට ඇහුනා.

"හ්ම්ම්...මං තියන්නම් ආදි" දේදුණු කිව්වේ කෙදිරිලි හඩකින් වගේ.

"මං කතා කරන්නම් හොදේ" ආදිත්‍ය කියද්දිත් දේදුණු දුරකථනය විසන්ධි කරලා ඉවරයි.

දුරකථනය ඇදේ පැත්තකින් තියපු ආදිත්‍ය අත් දෙක ඔලුව යටින් තියාගෙනම ඇදේ වැතිරුනා.

'හිතාගන්නත් බෑ මේ වෙච්ච දේ...මං හැමතැනම දේදුණු හොයද්දි දේදුණු මගේ ලගම ඉදලා.එයා දේදුණු බව නොදැනත් මං ආදරේ කරලා.ඒත් දැන් අන්තිමට මං දන්නෙවත් නැති හේතුවකට එයා මගේ අයියා ලගට ගිහිල්ලා.අයියා නිසා මට අඩු ගානේ හේතුවක්වත් අහන්න බෑ.බෑ නෙවෙයි මට එහෙම ඕනේ නෑ.අවියා හොද කොල්ලෙක්.අසේලිව හොදට බලාගනිවී.අසේලිත් සතුටෙන් වගේ.ඒකනේ මාත් එක්ක කතාවක් නැත්තේ' ආදිත්‍ය කල්පනා කරේ එයාගේ දුරකථන තිරයේ තාමත් තියෙන අසේලිගේ ජායාරූපය දිහා බලාගෙන.

ඊලග දවස් දෙක තුනම ආදිත්‍යත් අසේලිත් එකිනෙකාව මග ඇරියා.ඒ අතරේ තමයි කලුතරින් ආරංචියක් ආවේ අවිශ්ක නුවර එන්න පිටත් වුනු බව කියලා.

අවිශ්ක දුම්රියෙන් නුවරට එද්දිම හවස 2  විතර වුනා.බඩු වගයක් ගේන්න නුවර නගරයට ගියපු ක්‍රිශාන්ත ඒ ගමන්ම අවිශ්කවත් එක්කගෙන ගෙදර ආවා.

බෑග් එකත් කරේ දාගෙනම අවිශ්ක ආදිත්‍යගේ කාමරේට එබුනා.

"එක්ස්කියුස් මී...මට එන්න පුලුවන්ද?" අවිශ්ක අහද්දි ආදිත්‍ය ලැප්ටොප් එකෙන් ඔලුව හරවලා බැලුවා.

"එන්න එන්න...ට්‍රේන් එක ලේට් ද?"

"ඔව් බං.මග නවත්තලා තිබ්බා පැයක් විතර"

"ගිහින් වොශ් එකක් දාගෙන වරෙන් ඉක්මනට" ආදිත්‍ය කිව්වේ ආයෙමත් ලැප්ටොප් එක දිහාවට හැරෙන ගමන්.

"ඒ මොකද හදිස්සිය" එහෙම කියන ගමන්ම අවිශ්ක ඇදේ ඇලවුනා.
" එකක් මේ දවස් වල හවසට වහිනවා.හොට් වෝටර් ශවර් එක කැඩිලා.තව හවස් වුනොත් නාලා ලෙඩක් හදාගන්න වෙන්නේ" ආදිත්‍ය කියද්දි අවිශ්ක හිනා වුනා.

"අපි හොද ෆිට් පොරවල් හරිද මල්ලි.ඕක එකක්නේ..එතකොට මොකක්ද අනිත් එක?"

"අනිත් එක තමයි අම්මා අලිගැටපේර ගෙනැල්ලා.උඹ නාලා ආවම කියන්න කිව්වා හදලා දෙන්න.උඹ නාලා ආවාම තමයි මං කියන්නේ.අම්මා අල්ලපු ගෙදරට ගියා.ඒ නිසා උඹ නාලා වරෙන් අලිගැටපේර කන්න ඕනේ නම්.උඹ නැතුව මටත් නෑ" ආදිත්‍ය කියද්දි අවිශ්ක හිනා වෙවීම ඇදෙන් නැගිට්ටා.

"උඹෙන් නම් පුදුම වදයක් බං තියෙන්නේ.මං නාගෙන එන්නම්.උඹ කියපන් පුංචි අම්මට හදලා තියන්න කියලා" අවිශ්ක කිව්වේ තුවායකුත් අරගෙන නාන කාමරේට යන ගමන්.

අවිශ්ක නාලා ආවාට පස්සේ දෙන්නත් එක්ක වත්තට බැස්සේ අලිගැටපේට කොප්ප දෙකකුත් අරගෙන.

"කෝ බං අර ඔන්චිල්ලාව තිබ්බ කහ පාට මල් පිපුනු ගහ" අවිශ්ක ඇහුවේ වත්ත වටේම බලන ගමන්.

"මාත් ඕකම ඇහුවා.හුලගකට කඩන් වැටුනලු"

"ආ...ඒක නෙවෙයි.මතකද ඉස්සර මෙහේ ආවාම අපි වත්ත වටේම දුවනවා" අවිශ්ක මතක් කරද්දි ආදිත්‍ය හිනා වුනා.

"නැතුව.උඹ හරිම ආසයි ඉස්සර මෙහේ එන්න.ඒත් දවසයි දෙකයි මෙහේ ඉන්නේ.යනකොට අඩලා අඩලා යන්නේ"

"අප්පටසිරි වෙන්න කිව්වලූ.අර දේදුණු නේද?" ආදිත්‍ය කියපු දේට උත්තර නොදීපු අවිශ්ක ඇහුවේ එහා පැත්තේ වත්ත දිහා බලාගෙන.යාන්තමට ඒ පැත්ත බලපු ආදිත්‍ය දැක්කේ සුදු ගවුමක් ඇදගෙන දුරකථනයෙන් කතා කර කර වත්තේ ඇවිදින අසේලිව.

"හ්ම්ම්...." එහෙම කියපු ආදිත්‍ය ආයෙමත් අහක බලාගත්තා.

"එයා මොකද මෙහේ කරන්නේ?" අවිශ්ක ඇහුවේ ඒ දිහාම බලන්නේ.

"ඒක ඉතින් උඹ මටත් වඩා හොදට දන්නවා ඇතිනේ" ආදිත්‍ය කියද්දි අවිශ්ක බැලුවේ කුතුහලයෙන්

"මං දන්නේ කොහොමද ඒක? මං මේ අසේලිව දැක්කෙත් සෑහෙන දවසකින්" අවිශ්ක කියද්දි ආදිත්‍ය හැරිලා අවිශ්ක දිහා බැලුවා.

"ඒ වුනාට කෝල් කරන්න ඇතිනේ"

"පිස්සුද බං.අන්තිමට කෝල් කරපු දවසක්වත් මට මතක නෑ....පොඩ්ඩක් හිටපන්...පොඩ්ඩක් හිටපන්...උඹ මොකද ඔහොම ඒවා අහන්නේ?" අවිශ්ක ඇහුවේ ආදිත්‍ය ට ලං වෙන ගමන්.

" දැන් එතකොට උඹ කියන්නේ උඹයි අසේලියි කතා කරන්නේ නෑ කියලාද? ඒක මට විශ්වාස කරන්න කියලාද?" ආදිත්‍ය ටිකක් සැරෙන් අහද්දි අවිශ්කගේ ඇස් ලොකු වුනා.

"මේ මොන මගුලක්ද උඹ අහන්නේ? පිස්සුද බං.උඹට මොකක්ද වෙලා තියෙන්නේ.අසේලි මට කතා කරලා තියෙන්නෙත් අතේ ඇගිලි ගානට.ඒකත් උඹ අසනීප කාලේ උඹ ගැන අහන්න.කවුද උඹට ඕවා කියන්නේ?" ඒ සැරේ නම් අවිශ්කත් ඇහුවේ තරහෙන්.

"එතකොට උඹ එදා කිව්වේ අසේලිට ආදරෙයි කියලා" ආදිත්‍ය ඇහුවේ අවිශ්කගේ ඇස් මග ඇරලා.

"ඒ කවද්ද?"

"අර උඹ මට කෑගැහුවේ අසේලි ගැන කියලා"

"ආ...හා....එදා...එදා යකෝ අසේලි කතා කරා මට.කෙල්ල හොදටම අප්සට් වෙලා හිටියේ උඹෙන් ආරංචියක් නැතුව.පුංචි අම්මත් කියලා තිබ්බනේ උඹට කතා කරන්න එපා කියලා.එහෙම එකේ උඹ කතා නොකරපු එකේ ඒ කෙල්ල අවුලෙන් හිටියේ.හැබැයි මචං මං ඒ අසේලිට ආදරෙයි කිව්වේ ඒ වෙලාවේ හිතේ ආවේගෙට.උඹ කියවපු නිසා ඇයි උඹ අසේලිට ලව් ද කියලා.එහෙම නැතුව සිරා නෙවෙයි" අවිශ්ක විස්තර කරද්දි ආදිත්‍ය අහගෙන හිටියේ පුදුමෙන්.

"අපේ අම්මා අසේලිට කියලාද මට කතා කරන්න එපා කියලා"

"ඔව් උඹ ලංකාවේ ඉන්න කාලේ දවසක් කෝල් කරාම පුංචි අම්මා අරගෙන තියෙන්නේ.ඒ වෙලාවේ කියලා"

"එතකොට උඹට අසේලිව හම්බුනේ එහෙම නැද්ද?"

"ආයෙත් මගුලක් අහනවා.හම්බුනා හම්බුනා.දවසක් විහාරාව කොළබ පන්ති එක්කගෙන ගිය වෙලාවක අසේලි හම්බුනා.ආයේ කලුතර ටවුමෙදි හම්බුනා කීපදවසක්.දැන් මොකක්ද ඕකේ ප්‍රශ්නේ.උඹ මේ හිතන්නේ මායි අසේලියි යාලුයි කියලා එහෙම නෙවෙයිනේ" අවිශ්ක අහද්දි ආදිත්‍ය මුකුත්ම කිව්වේ නෑ.

"අඩෝ....සිරාවටම එහෙම හිතුවද? පිස්සුද යකෝ..මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් විහාරා.මං ආයෙත් විහාරා එක්ක යාලු වුනා.මං මේ උඹට ඒ සීන් එක කියන්න ආවේ.මූ බැලුවම වෙන මල විකාරයක්නේ හිතාගෙන ඉදලා තියෙන්නේ" අවිශ්ක ඒක කිව්වේ තරහෙන්.

"නෑ බං එදා උඹ කෑගහපු විදියට මට එහෙම හිතුනා.පස්සේ චූටි ත් කිව්වා උඹ අසේලි එක්ක ටවුන් එකේ කතා කරනවා දැක්කා කියලා.දේදුණු ත් දවසක් කිව්වා උඹයි අසේලියි දැක්කා කියලා"

"යකෝ ඉතින් එක එකා දැක්කා කියලා කිව්වම උඹට බැරි වුනාම කට ඇරලා මගෙන් ඕක අහන්න.හිටපන් පොඩ්ඩක්.එතකොට උඹ මාත් එක්ක කතා නොකරේ මේ සීන් එක නිසාද?"  අවිශ්ක අහද්දි ආදිත්‍ය බිම බලාගත්තේ දෙන්න උත්තරයක් හිතාගන්න බැරුව.

"පිස්සු හැදෙයි.උඹ මාර ඩයල් එකක්නේ බං.දැන් මට මේක කියපන් උඹ තාමත් අසේලි එක්ක කතා කරේ නැද්ද?"

"නෑ..."

"අනේ ගොන් වහන්සේ....දැන්වත් පලයන්...කතා කරපන්..."

"දැන් නම් කොහොමත් බෑ..."

"ඇයි මොකද? නැකත පැනලද? මගෙන් අහගන්නේ නැතුව පලයන්"

"නෑ බං.මේකයි මේ....අසේලි තමයි ඇත්ත දේදුණු .දැන් එයා හිතාවි මං ඒක දැනගත්තට පස්සේ කතා කරන්න එනවා කියලා"

"ඇත්ත දේදුණු ? ඒ කියන්නේ?" අවිශ්ක අහද්දි ආදිත්‍ය දේදුණු ගේ සම්පූර්ණ කතාවම අවිශ්කට විස්තර කරා.

"දෙයියෝ සාක්කි...කවුද මේම එකක් දන්නේ.මේ එකෙන් වැඩක් නෑ ගිහින් කතා කරපන්.දැන් සීන් ඒකත් ඔහොම නම් ගෙවල් වලිනුත් අවුලක් වෙන්නේ නෑ"

"ඒ වුනාට මට නිකන් හිතට හරි නෑ වගේ.බනීද බං මට" ආදිත්‍ය අහද්දි අවිශ්ක රැව්වා.

"බනින්න නෙවෙයි උඹට ගහලා මරන්න තියෙන්නේ කරපු ගොන්කම් වලට.දැන්වත් පලයන්"

"ගිහින් මොකක්ද මං කියන්නේ?"

"යකෝ ඒකත් මං කියලා දෙන්න ඕනේද? ඕනේ එකක් කියපන්.පලයන් දැන්ම.නැත්තම් අසේලිගේ අතින් මැරෙන්න් කලින් උඹ මගේ අතින් මැරුම් කනවා" අවිශ්ක කියවද්දි ආදිත්‍ය අතේ තිබ්බ අලිගැට පේර එක අවිශ්කගේ අතට දුන්නා.

"යාලු නොවුනොත් මොකෝ බං කරන්නේ?" ටික දුරක් ගිහින් ආපහු හැරුනු ආදිත්‍ය අහද්දි අවිශ්ක රැව්වා.

"පලයන් යකෝ..." අවිශ්ක තනියෙන් මුමුණද්දි ආදිත්‍ය අසේලිගේ වත්තට යන පඩිපෙල නැග්ගා.

වත්ත කෙළවරේ අසේලි හිටියේ ඈතින් පේන කදුවැටිය දිහා බලාගෙන.

"මේ.." ආදිත්‍ය කතා කරද්දි අසේලි ගැස්සිලා හැරිලා බැලුවා.

'එදා කලුතරදි ඇදපු සුදු ගවුම මයි.හරි ලස්සනයි' ආදිත්‍ය කල්පනා කරේ අසේලි දිහා බලාගෙනමයි.

"ඇයි?" අසේලි ඇහුවේ ආදිත්‍ය බලාගෙනම හිටපු නිසා.

"ආ...මේ...පොඩ්ඩක් කතා කරන්න පුලුවන්ද?"

"මොකක් ගැනද?"

"අපි ගැන"

" අපි ගැන තව මොනවා කතා කරන්නද ආදිත්‍ය.ඔයා මාව අතෑරලා දාලා ඉවරයිනේ.ඔයාගේ ඕස්ට්‍රේලියාවට මාව ගැලපෙන්නේ නෑනේ.ප්‍රශ්නයක් නෑ.ඔයා හොදින් ඉන්න.කොහොමත් මං නිසා ඔයාට ඇති වුනේ ප්‍රශ්න විතරයිනේ.දැන් මාත් නැති නිසා ඔයාට කරදරයක් නැතුව ඉන්න පුලුවන්" අසේලි කියවගෙන යද්දි ආදිත්‍ය අසේලිට ලං වුනා.

"මේ මොකද මේ...ලගට එන්න එපා..මං කෑගහනවා."ආදිත්‍ය ලං වෙද්දි අසේලි කිව්වේ වටපිට බලන ගමන්.එතකොටම අසේලිගේ අතකින් ඇදලා ගත්ත ආදිත්‍ය අසේලිව තමන්ට ලං කරගත්තා.

"ආදිත්‍ය අතාරින්න....අම්මා ඉන්නවා ගෙදර" අසේලි කිව්වේ ආදිත්‍ය ගේන් මිදෙන්න උත්සහ කරන ගමන්.

"ආ...ඒ කියන්නේ අම්මා නැත්තම් ප්‍රශ්නයක් නෑ කියලාද?"

"අනේ මේ විකාර නැතුව අතාරින්න" ඒ සැරේ නම් අසේලි කිව්වේ සෑහෙන තරහකින්.තරහටම අසේලිගේ මූණත් රතු වෙලා තිබුනා.

"අතාරින්නම්.මං කියන දේ අහගෙන ඉන්නවා නම්"

"හා...අතාරින්න.." අසේලි එහෙම කියද්දි ආදිත්‍ය අත අතෑරියා.

"හරි මොකක්ද කියන්න තියෙන්නේ?"

" අසේලි....මට සමාවෙන්න...මං දැනන් හිටියේ නෑ අපේ අම්මා ඔයාට මට කතා කරන්න එපා කිව්වා කියලා.මං හිතුවා ඔයා මාව අතෑරියා කියලා.ඔයා කතා කරේ නෑ මට.මගේ ලග ඔයාගේ නම්බර් එකක් තිබ්බේ නෑ.මං ඔයාගේ ෆේස්බුක් එකට මැසේජ් කරා.ඔයා ඒවට රිප්ලයි කරෙත් නෑ.මං හිතුවා...ඔයා මාව අතෑරලා කියලා" ආදිත්‍ය කියද්දි අසේලිගේ ඇස් වලට කදුලු පිරුනා.

"හරිද....කියලා ඉවරද?....මං යන්නද?" එහෙම කියලා අසේලි යන්න හැදුවත් ආදිත්‍ය අතින් අසේලිව නැවැත්තුවා.

"අසේලි....මට සමාවෙන්න.ඒත් ඔයා තරමටම මාත් විදෙව්වා.මට කතා කරන්නත් බැරුව හිටියේ ඔයා දන්නවා ඒක"

"බොරුවට දැන් කියවන්න එන්න එපා.ලේඩේ නිදහසට හේතුවක් නෙවෙයිනේ.එහෙනම් ඔයාට ඊයේ ලෙඩක් තිබ්බේ නෑනේ.පෙරේදා තිබ්බෙත් නෑනේ.ඕනේ වුනා නම් කතා කරන්න තිබ්බානේ.එතකොටත් කතා කරන්න බැරුවද හිටියේ.මං විතරයි දන්නේ මං අඩපු තරම්.ඔයා හිටියේ නෑ.කතා කරෙත් නෑ.හරිම නරකයි" අසේලි එතන හිටගෙනම අඩන්න ගත්තා.

"අසේලි....." ආදිත්‍ය කිව්වේ අසේලි ගේ අතින් අල්ලගන්න උත්සහ කරන ගමන්.

"එපා අල්ලන්න..මං නිසා කරදරමයි වුනේ ඔයාට.ඒ නිසා ඔයා මාව අතෑරපු එක හොදයි කියලා මං කොච්චර හිත හදාගන්න හැදුවද? ඒත් මං බලාගෙන හිටියා ඔයා නිකමට හරි කතා කරාවි කියලා.නෑ.ඔයා කතා කරේ නෑ.අඩු ගානේ ලංකාවෙදි මාව දැකලාවත් නෑ.ඔයා අදුරන්නේ නැති ගානට කතා කරේ"අසේලි කියෙව්වේ අඩ අඩමයි.

"අසේලි....මට සමාවෙන්න.මං මහම මහ මෝඩයෙක්" ආදිත්‍ය කිව්වේ අසේලිගේ අතින් අල්ලගෙන ලගට ගන්න ගමන්.

"ඔව් මහ මෝඩයෙක්" අසේලි කිව්වේ ඇඩුම් හඩ මැද්දෙමයි.

"හරි දැන් අඩන්න එපා.මං ඉන්නවනේ..මට සමාව දුන්නනේ නේද?" ආදිත්‍ය අසේලිගේ මූණට එබිලා අහද්දි අසේලි ඔලුව වැනුවා.

"නෑ...."

"නෑ.....නැද්ද...."

"නෑ කිව්වනේ...." අසේලි එහෙම කියනවත් එක්කම ආදිත්‍ය අසේලිගේ කරවටේ අතක් දාගත්තා.

"ආදි....අම්මා..." අසේලි කලබලෙන් කිව්වේ වටපිට බලන ගමන්.

"අම්මලා දෙන්නම මෙච්චර වෙලා ඔයාගේ ඇඩිල්ල බලාගෙන හිටියේ ජනේලෙන්.දැන් තමයි හිනා වෙවී එතනින් ගියේ.දැන් ඒ නිසා ඒ ගැන කරදර වෙන්න එපා" ආදිත්‍ය කියද්දි අසේලි පුදුමෙන් බැලුවා.

"ආ...."

"ආ....ආ....නෙවෙයි මතකද අපි අර පහළ පාර දිගේ දුවනවා ඇහැළ මල් අහුලන්න" ආදිත්‍ය කියද්දි අසේලිත් ඒ දිහා බැලුවා.

"මං තමා දිනන්නේ දුවලා." අසේලි කියද්දි ආදිත්‍ය හිනා වුනා.

"ඔව් ඔයා තමයි දිනන්නේ..." එහෙම කියපු ආදිත්‍ය අසේලිගේ ඇස් වලට එබුනා.

"ඇයි මේ...."

" හිතාගන්නත් බෑ මේ අර පොඩි දේදුණු කියලා..." ආදිත්‍ය කියද්දි අසේලි හිනා වුනා.

"මටත් හිතාගන්න බෑ මේ අර දග ආදි කියලා" අසේලි කිව්වේ හිනා වෙවී.

"අන්න ඉර බහිනවා" ආදිත්‍ය ඈත කදුවැටියෙන් බහින ඉර දිහාවට අත දික් කරා.

"ඔව්මයි අද වහින්නේ නෑ වගේ"

" හ්ම්ම්....අද අපේ ලස්සන දවස...ඒකයි" ආදිත්‍ය කියද්දි අසේලි ආදිත්‍ය දිහා බලලා හිනා වුනා..

සමාප්තයි...

***********************************
හෙට පසුවදනින් හම්බෙමු

No comments:

Post a Comment

සුබ අලුත් අවුරුද්දක් වේවා

ඔන්න ඉතින් අද සිංහල දෙමළ අලුත් අවුරුද්ද ලූ. මට නම් දැන් අවුරුද්ද කිව්වම විශේශයක් දැනෙන්නෙම නැති තරම්.කොහා කෑගහන්නේ නෑ.බක්මහ අක...