Thursday, February 14, 2019

මන්දාරම් අහස යට - තිස් හය වන කොටස



එදා රෑ කට්ටිය නැවතුනේ මිගාර දන්න නුවර එලියේ රෙස්ට් හවුස් එකක.රෑ කෑම කාපු අසේලි තණකොල පිඩැලි අල්ලලා ලස්සන කරලා තිබ්බ රෙස්ට් හවුස් එකේ ගෙවත්තට ආවේ ගෙදරට දුරකථන ඇමතුමක් ගන්න හිතාගෙන.ඒත් දුරකථන සංඥා නොතිබුනු නිසා අසේලි මිදුලේ තිබ්බ බංකුවක වාඩි වුනා.

වසර අවසාන දීර්ඝ නිවාඩුවේ නුවර එළි නගරය සැනකෙලියක් වගේ විසිතුරු වෙලා තිබුනා.විදුලි ආලෝකයෙන් එලිය වුනු ඈතින් පේන නුවරඑළි නගරය දිහා අසේලි ටිකක් වෙලා බලාගෙන හිටියා.

" ලස්සනයි නේද?" පිටිපස්සෙන් ඇහුනු කටහඩට අසේලි හැරිලා බැලුවා.

"හ්ම්ම්..." පිටිපස්සේ හිටගෙන හිටපු දේදුණු ව දැකපු අසේලි ආයෙත් හැරුනේ එහෙම කියාගෙනමයි.

"මං මෙතනින් වාඩි වෙන්නද?" එතන බංකුව පෙන්නලා දේදුණු අහද්දි අසේලි ඔලුව වැනුවා.

"ඉතින් මොකද මෙතන තනියම" දේදුණු ආයෙත් ඇහුවේ අසේලිගෙන් සද්දයක් නැති නිසා.

"ගෙදරට කෝල් එකක් ගන්න ආවේ.සිග්නල් නෑ" අසේලි උත්තර දුන්නේ දේදුණු දිහා නොබලාමයි.

'මෙයා මේ මොකටද එන්න හදන්නේ' දේදුණු ගේ අමුතු හිතවත්කමත් එක්ක අසේලිට දැනුනේ පුදුමයක්.

"ආ....අන්න ආදි නම් ඇතුලේ සිංදු කියනවා" දේදුණු ඒ සැරේ කිව්වේ අසේලි දිහා හොරෙන් බලන ගමන්.

"ඉතින්..."

"ඉතින් මං හිතුවා ඔයාට දැනගන්න ඕනේ ඇති කියලා"

"එයා හැමදේම මට කියලා කරන්න ඕනේ කමක් නෑ" එහෙම කියාගෙනම අසේලි එතනින් නැගිට්ටේ තරහින්.

"ඔයා මේ ඇතුලට යන්නද?" දේදුණුත් එතනින් නැගිට්ටේ එහෙම අහන ගමන්.

"ඔව්..."

"ඇයි ඒ? ඔයා කැමති නැද්ද මාත් එක්ක කතා කරන්න" දේදුණු අහිංසක කටහඩකින් අහද්දි අසේලි පුදුමෙන් හැරිලා බැලුවා.

"මං ඔයා එක්ක මොනවා කතා කරන්නද?"

"මට තේරෙනවා.ඔයා තරහෙන් ඉන්නේ මං ආදි එක්ක ඉන්නවට" දේදුණු කියද්දි අසේලි තවත් පුදුම වුනා.

'මෙයා මේ මොනවද කියවන්නේ? දවල් එකක් කියලා දැන් වෙන එකක් කියන්නේ'අසේලි කල්පනා කරේ පුදුමෙන්.

" ආ....අසේලි...කියන්නකෝ ඔයා තරහෙන්ද මාත් එක්ක? මාත් එක්ක තරහ වුනාට කමක් නෑ.ආදි එක්ක තරහා වෙන්න එපා.මං තනියෙන් නිසා එයා මාත් එක්ක ඉන්නේ.අපි පොඩි කාලේ ඉදන්ම යාලුවෝනේ.ඒකයි " දේදුණු කියද්දි නම් අසේලිට තවත් ඉවසන් ඉන්න බැරි වුනා.

"අනේ මේ මට ඔයා එක්ක තරහා වෙන්න උවමනාවක් නෑ.ඔයා කවුද මගෙයි ආදිත්‍යගෙයි ඒවා කතා කරන්න.ඔයා පාඩුවේ ඔයාගේ යාලුකම තියාගෙන ඉන්න මෙතන බොරුවට කියවන්න එන්නේ නැතුව " අසේලි තරහෙන් කියද්දි දේදුණු ගේ ඇස් වල කදුලු පිරුනෙත් පිටිපස්සෙන් කටහඩක් ඇහුනෙත් එක පාරටමයි.

"මොකක්ද අසේලි ඔයා මේ කතා කරන විදිය" පිටිපස්සෙන් ඇහුනු ආදිත්‍ය ගේ කටහඩට අසේලි හැරිලා බැලුවා.

එතන හිටගෙන ඒ දිහා බලාගෙන හිටපු ආදිත්‍යගේ මූණේ තිබ්බේ කණස්සල්ලක්ද තරහකද කියලා අසේලිට හිතා ගන්න බැරි වුනා.

"මං කතා කරන විදිය කියන්නේ...මුලින් ඔයා බලන්න එයා කියන ඒවා" අසේලි කිව්වේ එතන හිටගෙන බලන් ඉන්න දේදුණු දිහාත් බලන ගමන්.

"ඔයාට ඔච්චර තරහ යන්න තරම් එයා මොනවද ඔයාට කිව්වේ.මං අහගෙන හිටියේ ඔක්කොම.මේ ලමයා ඔයාට කතා කරන්න ආවේ මං කියපු නිසා.එහෙම ආපු කෙනාට ඔයා කතා කරපු විදිය නම් අන්තිමයි.කෙල්ලෙක් විදියට කතා කරන්න පුරුදු වෙන්න අසේලි"  ආදිත්‍ය තරහෙන් කියද්දි අසේලිගේ ලොකු ඇස් වල කදුලු පිරෙනවා ආදිත්‍ය බලාගෙනයි හිටියේ

"ආ...දැන්...ඔයාට...මේ...නෑ..ඕනේ නෑ.මමනේ කෙල්ලෙක් වගේ කතා කරන්නේ නැත්තේ.හරි ඔයා එහෙනම් කෙල්ලෙක් වගේ කතා කරන එක්කෙනා එක්ක ඉන්නකෝ" එක දිගට කියාගෙන ගියපු අසේලි එතනින් දුවගෙන ගියේ කම්මුල දිගේ බේරෙන කදුලු පිහිදන ගමන්.

ටිකක් වෙලා එතනට හිටගෙන හිටපු ආදිත්‍ය ආයෙත් බංකුවෙන් වාඩි වුනේ අත් දෙකත් ඔලුවේ තියාගෙන.

'මේ කෙල්ලට මොනවා වෙලාද මේ' ආදිත්‍ය හිතුවේ කණස්සල්ලෙන්.

එතකොටම ආදිත්‍යගේ ලගින් කෙනෙක් වාඩි වෙනවා ආදිත්‍යට දැනුනත් ආදිත්‍ය ඔලුව උස්සලා බැලුවේ නෑ.ටිකකින් තමන්ගේ ඔලුවේ කෙස් අතරින් අතක් යනවා ආදිත්‍ය ට දැනුනා.ඒකෙන් හිතේ වේදනාවේ වෙනසක් නොවුනත් ඔලුවට දැනුනු සනීපේ නිසා ආදිත්‍ය එහෙම්ම හිටියා.

"ආදි...." දේදුණු කතා කරනවා ඇහුනු ආදිත්‍ය අත දෙක ටිකක් ඈත් කරලා දේදුණු දිහා බැලුවා.

"එයාට ටිකක් තරහා ගිහින් හිටියේ.ඒ වෙලාවෙම මාත් කතා කරන්න ආපු නිසා මං හිතන්නේ එයාට තවත් තරහා ගියා." දේදුණු කියද්දි ආදිත්‍ය කෙලින් වෙලා වාඩි වුනා.

"එයාට තරහ ගිහින් තිබ්බට ඔයා පලි නෑනේ දේදුණු.එයා මේ පොඩි ලමයෙක් වගේ හැසිරෙන එකයි මට තේරුම් ගන්න බැරි.ඔයා එක්ක තරහයි මාත් එක්ක තරහයි.අනිත් අය එක්ක යාලුයි.පිස්සුවක්නේ මේක" ආදිත්‍ය එක දිගට කියාගෙන ගියේ හිතේ වේදනාවෙන්.

ඒත් එක්කම මතක් වුනු දෙයක් නිසා ආදිත්‍ය බංකුවෙන් නැගිට්ටා.

"ඇයි ආදි" තාමත් බංකුවේ වාඩි වෙලා ඉන්න දේදුණු ඇහුවේ පුදුමයෙන්.

"නෑ...මේ...ඒක තමයි හේතුව.ඒක....ඒක වෙන්න ඕනේ හේතුව" තමන්ට එහෙම කියාගත්ත ආදිත්‍ය ආපහු රෙස්ට් හවුස් එක ඇතුලට දිව්වා.

ඒ වෙද්දි අවිශ්කත් අනිත් යාලුවොත් රෙස්ට් හවුස් එකේ ලොබියේ සිංදු කියන්නයි ලෑස්ති වෙලා හිටියේ.කලබලේ එතනට දුවගෙන එන ආදිත්‍ය දැකපු අවිශ්ක ආදිත්‍ය ලගට ගියා.

"කෝ අසේලි" ආදිත්‍ය ඇහුවේ වටපිට බලන ගමන්.

" මෙහෙට ආවේ නෑ.ඇයි එලියෙනේ හිටියේ"

"කාමරේට ගියාද?" ආදිත්‍ය ඇහුවත් අවිශ්ක ඔලුව වැනුවා.

"වෙන්න බෑ බං.රූම් කී එක විහාරා ලග කිව්වා කවුරු හරි අහද්දි.අනික ගියත් අපිට නොපෙනී මෙතනින් යන්න බෑ" අවිශ්ක කියද්දි ආදිත්‍ය බැලුවේ එලියේ කරුවල දිහා.

'එලියට වත් ගියාද' ආදිත්‍යගේ හිතට ආවේ ඒ ප්‍රශ්නේ.

"ඇයි මොකෝ කේස් එක" අවිශ්ක අහද්දි ආදිත්‍ය අවිශ්ක දිහා බැලුවා.

"මුකුත් නෑ මුකුත් නෑ.මං පොඩ්ඩක් එලියට ගිහින් එන්නම්"එහෙම කියපු ආදිත්‍ය ඉක්මන් ගමනින් රෙස්ට් හවුස්‍ එකේ ගේට්ටුව පැත්තට ගියා.

ගේට්ටුව ලගට ආපු ආදිත්‍ය වටපිට බැලුවා.විදුලි ආලෝකයෙන් වටේම ආලෝක වෙලා තිබ්බ නිසා පාරත් පැහැදිලිව පෙනුනා.

'කොහේ ගියාද' ආදිත්‍ය කල්පනා කරේ අසේලිගේ දුරකථනයට ඇමතුමක් ගන්න ගමන්.ඒත් දුරකථන ඇමතුම සම්බන්ද කරන්න තරම් දුරකථන සංඥා නොතිබ්බ නිසා ආදිත්‍ය ආයෙත් දුරකථනය සාක්කුවට දාගත්තේ තරහෙන්.

'කෝ මෙයා....' ආදිත්‍ය පාර දිගේ දිගටම ඉස්සරහට ගියේ අසේලිව කොතනකදි හරි හම්බේවි කියන බලාපොරොත්තුවෙන්.

****************************************
සමාවෙන්න කතාව දාන්න කල් ගන්නවට.ඒත් දවසට පැය 4ක් විතර බස් එකෙයි පැය 6-8ක් විතර ඉස්කෝලෙයි ඉදලා ගෙදර ඇවිත් ගෙදර වැඩත් කරලා පහුවදා පාඩම් වලටත් ලෑස්ති වෙන්න ගියාම මට මගේ වැඩක්වත් කරගන්න වෙලාවක් හම්බ වෙන්නේ නෑ.


අද කතාවෙත් පොඩ්ඩයි තියෙන්නේ.පුලුවන් විදියට තමයි දාන්නේ හොදේ.

මං උදේට යන්නේ 5.20 කතරගම බස් එකේ.ඒකේ යන ගමන් තමයි කතාවෙන් බාගෙකටත් වඩා ටයිප් කරන්නේ.මේ දවස් වල බස් එකේ ශීට් තිබ්බෙ නෑ.පැය 1 1/2ක්ම හිටගෙන.කතරගම බස් වල හිටගෙන ටයිප්  කරන්න බැරි විත්තිය දන්නො දනිති නේ 

තරහා වෙන්න එපා කවුරුවත්.පුලුවන් විදියට කතාව ගෙන්නම් ❤️

ආදරෙන් ඉන්න. ❤️

No comments:

Post a Comment