Saturday, February 16, 2019

මන්දාරම් අහස යට - තිස් හත් වන කොටස


"අ....අම්මා"

"ආ....ආච්චි" පොඩි පිරිමි ලමයෙක් කියවන හඩට අසේලි දොර රෙද්ද අස්සෙන් එබිලා බැලුවා.ලොකු වියන් ඇදක් උඩට වෙලා පොතට එබීගෙන ඉන්න පිරිමි ලමයා දැකපු අසේලිට ඉබේටම හිනා ගියා.

"මං ආවා..."අසේලි එහෙම කියාගෙනමයි එතනට ගියේ.

"උඩට නගින්න ඔයත්" ඒ පිරිමි ලමයා කියද්දි අසේලි අමාරුවෙන් කකුලක් උස්සලා ඇදෙන් තිබ්බා.

"කෝ ඔයාගේ අත දෙන්න" එහෙම කියන ගමන්ම ඒ පිරිමි ලමයා අසේලිගේ අතකින් අල්ලගත්තා.ටිකක් අමාරුවෙන් වුනත් දෙන්නම උඩට නැගගත්තා.

"මේ....පින්තුර ගොඩයි" ඒ පිරිමි ලමයා අසේලිට පෙන්නුවේ හරි ආසාවෙන්.

"මේ මොනවද" පොතේ තිබ්බ ලොකු අකුරු දිහාවට අසේලි ඇගිල්ලක් දික් කරා.

"ඒවා තමයි අකුරු.ලොකු අයගේ පොත් වල ඒවා තියෙනවා.ඔයාට තාම ඒවා බෑ" 

"ඔයාට පුලුවන්ද?" 

"ඔව්" ඒ පිරිමි ලමයා ආඩම්බරෙන් කියද්දි අසේලි ඒ දිහා බැලුවේ ඇස් දෙකත් ලොකු කරගෙන.

"මටත් කියලා දෙනවද?" අසේලි ඇහුවේ හරිම අහිංසක විදියට.

"හා...මං කියලා දෙන්නම්. මුලින් අර ලොකු පොත ඕනේ.ඒකෙන් තමයි මුලින් කියලා දෙන්නේ" ඒ  පිරිමි ලමයා කිව්වේ එහා මේසයක් උඩ තියෙන ලොකු පොතක් පෙන්නලා.

"මං ගෙන්නද?" අසේලි ඇහුවේ ඇදෙන් බහින්න ලෑස්ති වෙලා.

"අපෝ ඔයාට ගෙන්න බෑ.ඒක ලොකුයි" එහෙම කියන ගමන්ම ඒ පිරිමි ලමයා අමාරුවෙන් ඇදෙන් බැස්සා.

මේසේ ලගට ගියපු ඒ පිරිමි ලමයා අමාරුවෙන් මේසේ උඩ තිබ්බ පොත තමන් දිහාවට අදින්න ගත්තා.ඒත් එක්කම මේසේ උඩ තිබ්බ වීදුරුවක් ඒ පිරිමි ලමයා ලගින්ම බිමට වැටුනා.

අසේලි එක පාරටම ගැස්සිලා ඇහුරුනේ ලොකු ගෙරවිලි හඩකුත් පසුබිමින් ඇහෙද්දි.ඇදේ කෙලින් වෙලා වාඩි වුනු අසේලි වටපිට බැලුවා.නුපුරුදු වටපිටාවක ඉන්න බව තේරුනු අසේලි බැලුවේ එයාගේ ඇද ලග බිම නිදාගෙන ඉන්න ආදිත්‍ය දිහා.ඒත් එක්කම අසේලිට පහුවදා හවස වෙච්ච දේවල් මතක් වුනා.

ආදිත්‍යගේ කතාවෙන් හිත රිදුනු අසේලි පාර දිගේ ඇවිදගෙන ගියේ යන තැනක්වත් යන දුරක්වත් ගැන අදහසින් නෙවෙයි.කහ පාට විදුලි එලියෙන් ආලෝකමත් වෙච්ච පාර දිගටම ඇවිදගෙන ගියපු අසේලි ප්‍රධාන පාරට පිවිසුනත් ඒ ගැන අසේලිට කල්පනාවක් තිබුනේ නෑ.අසේලිගේ හිතේ තිබුනු එකම දේ ආදිත්‍ය කියපු දේවල් විතරයි.ඒ වචන අසේලිට සැරින් සැරේ ඇහෙනවා වගේ දැනුනා.

"කෙල්ලෙක් විදියට කතා කරන්න පුරුදු වෙන්න අසේලි..." ආදිත්‍යගේ ඒ වචන මතක් වෙද්දි අසේලිට දැනුනේ මහා අසරණකමක්.

"එයාට මාව ගෑනු ලමයෙක් වගේවත් පෙන්නේ නැද්ද දැන්.ඒ මදිවට එයා දේදුණු ඉන්න තැනමයි ඒක කිව්වෙත්." අසේලි තමන්ට කියාගත්තේ පාර දිගේ වේගයෙන් ඇවිදගෙන යන ගමන්.

'ඒත් ඒ කතාවෙන් වරදක් නෑ තමයි.එයා කොහොමත් ගෑනු ලමයෙක් වගේ.ගවුම් ඇදලා කොණ්ඩේ කඩලා දාලා.මේකප් දාලා.මොන කොල්ලද එයාට ආදරේ නොකරන්නේ' අසේලි හිතුවේ දුකෙන්.

"ඒකට මං.ඩෙනිමයි ටීශර්ට් එකයි ඇදගෙන බාටා දෙක දාගෙන යන්නේ.අම්මා කියන්නේ ඇත්ත.මං නිකන් හිපියෙක් වගේ.ආදිත්‍යගේ වරදක් නෑ.හිපියෙකුයි ගෑනු ලමයෙකුයි අතරින් ඕනේ කොල්ලෙක් තෝරගන්නේ ගෑනු ලමයාව" අසේලි තමන්ටම එහෙම කියාගත්තේ ඇඩුම් එද්දි.කම්මුල දිගේ කදුලක් බේරිලා යද්දි අසේලි කදුලු පිහිද ගත්තා.

ඒත් එක්කම අතට වැටුනු වතුර බිංදුවක් නිසා අසේලි අහස දිහා බැලුවා.එතකොටම අසේලිගේ නහය උඩට තවත් වතුර බිංදුවක් වැටුනා.සීතල සුලගක් එක පාරටම හමාගෙන යද්දි අත්දෙකෙන් ඇගම පොරවගත්ත අසේලි වටපිට බැලුවා.

'මේ කොහෙද මේ' අසේලි වටපිට බැලුවේ කලබලයෙන්.හිතේ ආවේගෙට එලියට ආවට මේ ඉන්න තැන ගැන අසේලිට වැටහීමක් තිබුනේ නෑ.අසේලි කලබලෙන් කලිසම් සාක්කුවට අත දැම්මේ දුරකථනය හොයාගන්න හිතාගෙන වුනත් අසේලි ඇදගෙන හිටියේ රෑ ඇදුමක් නිසා ඒකේ සාක්කුවේ දුරකථනය තිබ්බේ නෑ.

"අයියෝ....අපරාදේ..ඒක දාගන්න තිබ්බේ සාක්කුවට" තමන්ට එහෙම කියාගත්ත අසේලි ආයෙත් වටපිට බැලුවා.

හැරි හරි වටපිට බලපු නිසාම අසේලිට මේ වෙද්දි තමන් ආපු පැත්තත් හොයාගන්න බැරුවයි තිබුනේ.ටිකක් වෙලා වටපිට බලපු අසේලි ප්‍රධාන පාර දිගේම යන්න පටන් ගත්තා.සීතල හුලග සීත කබාය මැදින් ගිහින් රෑ ඇදුමත් පසාරු කරගෙන ඇගම සීතල කරද්දි අසේලි ගමනේ වේගය වැඩි කරේ ඉක්මනටම හෝටලය හොයාගන්න හිතාගෙන.සැරින් සැරේ ඇහෙන ගෙරවිලි හඩ අසේලිව තවත් බය කරා.

ඒ අතරේ අහසින් වතුර බිංදු වැටෙන්න පටන් ගත්තේ අසේලිව තවත් අසරණ කරලා.දොඹ ගෙඩි තරම් වතුර බිංදු එක දෙක ඇගට වැටෙද්දි අසේලි ගමන තවත් ඉක්මන් කරා.මහා හයියෙන් වැස්ස කඩාගෙන වැටෙන්න මහා ලොකු වෙලාවක් ගියේ නෑ.පයින් ගස් වලින් වට වුනු පාර දිගේ වැස්සත් හුලගත් මැදින් අසේලි ගියේ හරිම අමාරුවෙන්.

ඒ අතරේ පිටිපස්සෙන් ඇහුනු අඩි සද්දයක් අසේලිව තවත් බය කරා.හිතේ බයටම බිම වැටිලා තිබ්බ පයින් අත්තකුත් අතට ගත්ත අසේලි ඒකත් තදින් අල්ලගෙන පුලුවන් ඉක්මනින් පාර දිගට යන්න පටන් ගත්තා.පිටිපස්සෙන් ඇහෙන අඩි හඩ තවත් ලං වෙලා ඇහෙද්දි අසේලිගේ පපුවේ ගැස්ම වැඩි වුනා.ඉදිකටු තුඩු වගේ වැස්ස ඇගට වැටෙන අතරෙම පයින් අත්තත් අතින් අල්ලගෙන අසේලි දුවන්න පටන් ගත්තේ හිතේ බයටමයි.ඒ අඩි හඩත් එක්ක වැස්ස මැදින් ඇහෙන කෑගහන සද්දේ අසේලිව තවත් කලබල කරා.අඩිහඩ තව තවත් ලං වෙද්දි අසේලි පයින් අත්ත තදින් අල්ලගෙන පිටිපස්ස හැරිලා පහරක් එල්ල කරත් පයින් අත්ත මගදිම නැවතුනා.

පයින් අත්ත එක අතකින් අල්ලගෙන එතන හිටගෙන හිටපු කෙනා දිහා අසේලි බැලුවේ පුදුමෙන්.අල්ලගත්ත පයින් අත්ත පැත්තකට දාපු ආදිත්‍ය බැලුවේ බය වෙලා වගේ බලන් ඉන්න අසේලි දිහා.

"ගහන්න හැදුවේ මං මොකෙක් කියලා හිතාගෙනද?" ආදිත්‍ය ඇහුවේ මහ සද්දෙන්.වැස්සේයි හුලගෙයි සද්දේ එක්ක ආදිත්‍ය ගේ කටහඩ මැකිලා යන්න වැඩි වෙලා ගියේ නෑ.

"මං බය වුනා" අසේලි කිව්වේ වෙව්ලන ගමන්.

"ඉතින් මෙහේ කොහෙද යන්නේ.අරහේ හෝටලේ.එහෙට යමු"ආදිත්‍ය කිව්වේ අසේලිගේ අතින් අල්ලගන්න ගමන්.අසේලිගේ අතින් අල්ලගත්ත ආදිත්‍ය ගමන් කරේ මෙච්චර වෙලා අසේලි ගියපු පැත්තට ප්‍රතිවිරුද්ධ පැත්තට.

තමන්ගේ අතිනුත් ඇදගෙන යන ආදිත්‍ය දිහා අසේලි බැලුවේ පුදුමයෙන්.වැහි වතුර බේරෙමින් තිබ්බ මුණෙන් ආදිත්‍ය වතුර පිහිදලා දානවා අසේලි බලාගෙනයි.ඒත් එක්කම අසේලි බැලුවේ තමන්ගේ ඇදුම් දිහා.වැස්සට තෙමිලා ඇගටම ඇලිලා තිබ්බ ඇදුම් දැකපු අසේලිට දැනුනේ කලින් නොදැනුනු ලැජ්ජාවක්.

එතකොටම ඇහුනු වාහන් සද්දයක් නිසා ආදිත්‍ය වගේම අසේලිත් පිටිපස්ස හැරිලා බැලුවා.

"ත්‍රී වීල් එකක් වගේ" එහෙම කියන ගමන්ම ආදිත්‍ය වාහනේට අත දැම්මේ වාහනේ නවත්තාවි කියන බලාපොරොත්තු වෙන්.ආදිත්‍ය ලව පහු කරගෙන ගියපු ත්‍රී වීල් එක නවත්තනවා දැකපු ආදිත්‍ය ඉක්මන් ගමනින් එතනට යද්දි අසේලිත් පිටිපස්සෙන් එතනට ගියා.ත්‍රී වීල් එකේ රියදුරු ආසනයේ ඉදන් බලන් හිටපු අවුරුදු 50ක විතර මනුස්සයෙක් මේ දෙන්නා දිහා බැලුවේ පුදුමයෙන්.

"මහත්තයලා කොහෙද මේ" 

"අපි මේ ලග හෝටලේක නැවතිලා ඉන්නේ අන්කල්.රෑ පොඩ්ඩක් ඇවිදින්න ආවා.වහින්න ගත්තනේ එක පාරටම" ආදිත්‍ය කිව්වේ හිනා වෙන්න උත්සහ කරන ගමන්.

ආදිත්‍ය ලග හිටගෙන ඉන්න අසේලි දිහාත් බැල්මක් හෙලපු රියදුරා ආයෙත් ආදිත්‍ය දිහා බැලුවා.

"මොකක්ද මහත්තයා හෝටලේ" 

"හොටෙල් බ්ලු රිවර්.අපිව එතනට දාන්න පුලුවන්ද" 

"අම්මෝ....සෑහෙන දුරක්නේ මහත්තයලා ඇවිත් තියෙන්නේ.දැන් ඒ පාරට ගිහින් යන්න පැයකට වඩා යාවි" රියදුරා කියද්දි ආදිත්‍ය වගේම අසේලි බැලුවෙත් පුදුමයෙන්.එයාලට මෙතනට පයින් එන්නත් එච්චර වෙලා ගියේ නෑ කියලා එයාලට විශ්වාසයි.

"නෑ එච්චර දුර වෙන්න බෑ.අපි පයින් ඇවිල්ලත් එච්චර දුරක් ගියේ නෑනේ" 

"මහත්තයලා මේ කියන්නේ හෝටලේ ඉස්සරහා ලොකු සමණලයෙක් ඉන්න හෝටලේනේ.නේද?" 

"ඔව් ඔව් එහේ තමයි"

"මහත්තයලා මේ ඇවිත් තියෙන්නේ හෝටලේ පිටිපස්සේ පාරෙන්.ඒත් වාහනේකට ඒ පාරෙන් යන්න බෑ මහත්තයා.මග හිරවෙනවා වංගු ගන්න බැරුව"

"ඒකත් එහෙමද?" ආදිත්‍ය එහෙම කියන ගමන් බැලුවේ අසේලිගේ මූණ දිහා.ඒ මූණේ තිබුනේ මහා වෙහෙසකාරී බවක්.

"මේ අපට මේ ලග නවතින්න වෙන හෝටලයක් නැද්ද?" ආදිත්‍ය ආයෙත් රියදුරාගෙන් ඇහුවා.

"එහෙම නම් තැනක් නෑ මහත්තයා.ඔක්කොම තියෙන්නේ කන්දේ අනිත් පැත්තට වෙන්නනේ.හැබැයි මට මෙහෙම උදව්වක් නම් කරන්න පුලුවන්"

"ඒ මොකක්ද" 

"මහත්තයලා කැමති නම් අද රෑ මගේ ගෙදර නවතින්න පුලුවන්.මේ ලග තියෙන්නේ.මායි මගේ හාමිනෙයි විතරයි ගෙදර ඉන්නේ අද" රියදුරා කියද්දි ආදිත්‍ය ආයෙත් බැලුවේ අසේලි දිහා.

"බය වෙන්න දෙයක් නෑ මහත්තයා.මගේ ලොකු කොල්ලා වැඩ කරන්නෙත් මහත්තයලා ඉන්න හෝටලේ.මං උදේට ඇරලවන්නම්" ආදිත්‍ය උත්තර දෙන්න පරක්කු වෙද්දි රියදුරා ආයෙත් කිව්වේ අසේලි දිහාත් බලන ගමන්.

"යනවද?" ආදිත්‍ය හෙමීට අසේලිට ලං වෙලා අහද්දි අසේලි ඔලුව වැනුවා.

"එහෙනම් කරදරයක් නැත්තම් විතරක් අපි එන්නම්" ආදිත්‍ය කිව්වේ ආයෙත් රියදුරා දිහා බලන ගමන්.

"නගින්න මහත්තයා.ඕකේ මොන කරදරයක්ද" රියදුරා කිව්වේ වැස්ස නිසා ත්‍රීරෝද රථයට දාලා තිබුනු වැහි ආවරණ අයින් කරලා නගින්න ඉඩ හදන ගමන්.මුලින්ම අසේලිට නගින්න ඉඩ දීපු ආදිත්‍ය ඊට පිටිපස්සෙන් නැගලා අසේලි ලගින් වාඩි වුනා.

ත්‍රීරෝද රථයේ වාඩි වුනු අසේලි බයෙන් වගේ වටපිට බලද්දි ආදිත්‍ය අසේලිගේ අතකින් අල්ලගත්තා.

"බය වෙන්න එපා.මං ඉන්නවනේ" හෙමීට අසේලිගේ කණට කොදුරපු ආදිත්‍ය අසේලිගේ මූණට වැටිලා තිබ්බ තෙත කෙස් රොදක් අයින් කරේ අසේලිගේ ඇගම සීතල කරලා.

"මේ මහත්තයාගේ ගෑනු ලමයා වෙන්න ඇති" රියදුරා කිව්වේ ත්‍රීරෝද රථයේ වේගය වැඩි කරන ගමන්.

"ඔව්" ආදිත්‍ය කිව්වේ හිනා වෙන ගමන්.

"මහත්තයලා එතකොට කොළඹ වෙන්න ඇති මයේ හිතේ" රියදුරා ආයෙත් අහද්දි ආදිත්‍ය ඔලුව වැනුවා.

"ඔව්.අපි ට්‍රිප් එකක් ආවා" 

"මේ ට්‍රිප් යන කාලේනේ.සීසන් එකනේ මහත්තයා.අපටත් වාසියි ඉතින්"

"අන්කල් ත්‍රීවීල් හයර් ද කරන්නේ" 

"ඔව්..මේකත් කරනවා.අපේ මල් බිස්නස් එකකුත් තියෙනවා මහත්තයා.ඒකත් කරනවා" මේ විදියේ කතාවෙන් කතාවෙන් රියදුරාගේ ගෙදරට එන්න ලොකු වෙලාවක් ගියේ නෑ.

"මැණිකේ....පොඩ්ඩක් එලියට ආවා නම්" ගෙදර කඩුල්ල ලගම වාහනේ නවත්තපු රියදුරා කෑගැහුවා.එතකොටම දොර ලගින් මතු වුනේ දිග සායට හැට්ටයක් ඇදලා කොණ්ඩේ බැදලා ඉන්න රියදුරාගේ බිරිද කියලා හිතන්න පුලුවන් පෙනුමක් තියෙන ගෑනු කෙනෙක්.

"බහින්න මහත්තයා නෝනත් එක්ක.ගෙට යන්නකො.මං එන්නම් වාහනේ ඇතුලට දාලා" පිටිපස්ස හැරිලා ආදිත්‍ය ට එහෙම කියපු රියදුරා ඊලගට බැලුවේ දොර ලග ඉදන් විපරමෙන් බලන් ඉන්න මැණිකේ දිහා.

"මැණිකේ මේ මහත්තයායි නෝනයි බලාගනින්" රියදුරා එහෙම කියන අතරේ ආදිත්‍ය අසේලි එක්ක වාහනෙන් බැස්සේ වැස්සෙමයි.

"ඉක්මනට මෙහාට අඩිය තියන්න මහත්තයා" මැණිකේ කිව්වේ ගෙදර ඉස්තෝප්පු පඩිය පෙන්නන ගමන්.ඉස්තෝප්පු පඩියට ඉක්මනින්ම පැන ගත්ත නිසා ආයෙත් තෙමෙන්නේ නැතුව ගේ ඇතුලට එන්න පුලුවන් වුනා.

"මහත්තයලා වාඩි වෙන්න." මැණිකේ කිව්වේ හරිම ලෙංගතු විදියට.

"බොහොම ස්තූතියි" 

"කෝපි ටිකක් බොමු මහත්තයා" එහෙම කියපු මැණිකේ කඩිමුඩියේ ගේ ඇතුලට යද්දි ආදිත්‍ය යි අසේලියි ගෙදර තිබ්බ පොඩි පුටු දෙකකින් වාඩි වුනා.මහා ලොකු ගෙයක් නොවුනත් පිළිවලකට හදලා සුදු හුණු ගාපු ගෙයක් බව ගේ දිහා බලපු ආදිත්‍ය ට තේරුනා.

"මේ...කමක් නැද්ද මෙහෙම" අසේලි ආදිත්‍ය ට කිට්ටු වෙලා ඇහුවේ වටපිට බලන ගමන්.

"ඇයි ඔයාට මීට වඩා හොද ක්‍රමයක් හිතේ තියෙනවද?" ආදිත්‍ය අහද්දි අසේලි ඔලුව වැනුවා.

"ඒකනේ...බය වෙන්න දෙයක් නෑ.අහිංසක මිනිස්සු වගේ" ආදිත්‍ය එහෙම කියද්දිමයි රියදුරා හිනා වේගෙන ගෙට ආවේ.

"අපේ ගෙදර එහෙම මහ ලොකු පහසුකම් නම් නෑ නොනේ.තියෙන හැටියට ඉමු" 

"අනේ අපට මේ වැඩිත් එක්ක අන්කල්" ආදිත්‍ය කියද්දි අසේලි හිනා වුනා.

"අනේ ඔව් අන්කල්ටයි ඇන්ටියයි පින්" 

"අනේ පින් ඕනේ නෑ නෝනේ.කෝ මේ අපේ මැණිකේ" රියදුරා එහෙම කියන ගමන්ම බැලුවේ ගේ ඇතුල දිහා.

"කොල්ලා අද එන්නේ නෑ කිව්වද සුමනේ" එතකොටම කෝපි දෙකකුත් අරගෙන එලියට ආවේ එහෙම අහගෙනමයි.

"ඔව් ඇයි උදේ කියලා ගියේ අද නයිට් කියලා" 

"පුතා හෝටලේ මොකද කරන්නේ"අසේලි ඇහුවේ කෝපි එක හෙමීට බොන ගමන්.

"අපේ කොල්ලා සිකුරිටි ජොබ් එකක් නෝනේ කරන්නේ.නංගිට උගන්නන්න නැහුනා මිසක් ඌ ඉගෙන ගත්තේ නෑ" මැණිකේ කිව්වේ කණස්සල්ලෙන්.

"එහෙම වුනා කියලා කොල්ලට නරකක් වෙලා නෑ මහත්තයා.කොල්ලා යස අගේට ඉන්නවා.මෙන්න මෙයා තමා හුල්ලන්නේ"සුමනේ මැණිකේ දිහා බලාගෙනම කියද්දි මැණිකෙත් හිනාවුනා.ඒ දෙන්නා දිහා බලන් ඉද්දි අසේලිටත් ඉබේටම හිනාවක් ගියා.

"එතකොට දුව"ආදිත්‍ය ඇහුවේ කුතුහලෙන්.

"දුව පේරාදෙනිය කැම්පස් තේරුනානේ මහත්තයා.දැන් දෙවෙනි අවුරුද්ද.දොස්තර නෝනා කෙනෙක් වෙන්න ඉගෙන ගන්නේ" සුමනේ ඒක කිව්වේ නම් හරි ආඩම්බරෙන් කියලා ආදිත්‍ය ට හිතුනා.

"එහෙනම් ඉතින් දැන් සන්තෝසයිනේ.දුව දොස්තර වුනාම අම්මා අප්පච්චි ව බලාගනිවී" ආදිත්‍ය එහෙම කියද්දි සුමනේ වගේම මැනිකෙත් හිනා වුනා.

"හා....ච්චිං..." අසේලිට මහ සද්දෙන් කිඹුහුමක් පිට වුනේ ඒ වෙලාවෙමයි.

"හනේ...දෙයියනේ මේ නෝනලා තෙත ඇදුම් පිටින්නේ.ඉන්න මං නෝනට අපේ කෙල්ලගේ ඇදුමක් දෙන්නම්" මැනිකේ කිව්වේ කඩිමුඩියේ ඇතුලට යන ගමන්.

"මේ නෝනේ වත් එක්කගෙන පලයන් ඇතුලට.මහත්තයයි නෝනයි අද මෙහේ ඉන්නවා.කෙල්ලගේ කාමරේ ලෑස්ති කරහන්" සුමනේ කෑගහද්දි මැණිකේ ආයෙත් හැරුනා.

"අනේ එහෙමද? දන්නේ නෑනේ නෝනේ මං.දන්නවා නම් ඉන්දවගෙන කෝපි දිදි ඉන්නෙත් නෑ.එන්න නෝනා ඇතුලට යන්න" මැණිකේ කියද්දි අසේලි පුටුවෙන් නැගිට්ටේ ආදිත්‍ය දිහා බලාගෙනමයි.

"යන්න..." තොල් වලින් කියපු ආදිත්‍ය බලන් හිටියේ අසේලි යන දිහා.

"මහත්තයා හරි ආදරෙයි වගේ නෝනේට"  සුමනේ කියද්දි ආදිත්‍ය බිම බලාගෙන හිනා වුනා.

"අපිත් ඒ කාලේ එහෙම තමා මහත්තයා.එන්නකෝ.මහත්තයා ට අපේ කොලුවගේ ඇදුමක් දෙන්නම්"  සුමනේ කියද්දි ආදිත්‍ය ඒ පස්සෙන් ගියේ ඇදුමක් ඇදගන්න.

සුමනේ දීපු කලිසමත් ටීශර්ට් එකත් ඇදලා සීත කබායත් දාගත්ත ආදිත්‍ය අසේලි හිටපු කාමරේට ඇතුල් වුනා.මැණිකේ කාමරේ බිම මෙට්ටයක් දාලා තිබුනේ ආදිත්‍යට නිදාගන්න.

රතු මල් වැටුනු කහ ගවුමක් ඇදලා සීත කබායක් දාගත්ත අසේලි කණ්ණාඩිය ඉස්සරහට වෙලා කොණ්ඩේ පිහිදා පිහිද හිටියේ ආදිත්‍ය ට පිටුපාලා.

මුකුත් කතා නොකරම ආදිත්‍ය එයාට හදලා තිබුනු මෙට්ටේ උඩින් වාඩි වුනා.ආදිත්‍ය මෙට්ටේ උඩ වාඩි වෙන සද්දෙට අසේලි හැරිලා බැලුවා.

"ලයිට් ඕෆ් කරන්නද?" අසේලි ඇහුවේ ආදිත්‍ය ගේ ඇස් මග ඇරලා.

"මං ඔෆ් කරන්නම්.ඔයා ඇදට යන්න" ආදිත්‍ය එහෙම කියපු නිසා අසේලි ඇදෙන් ඇලවුනා.අසේලි ඇදෙන් ඇලවෙනවා බලන් හිටපු ආදිත්‍ය ත් විදුලි පහන නිවලා මෙට්ටෙන් ඇලවුනා.ටිකකින් අසේලිට ඇහුනේ ආදිත්‍ය උගුර පාදන හඩක්.ආදිත්‍ය මොනවා හරි කියන්න හදනවා කියලා අසේලිට තේරුනා.

"කියන දෙයක් පස්සේ කියන්න.මට දැන් ප්‍රශ්න වලට උත්තර දෙන්න බෑ" ආදිත්‍ය කතා කරන්නත් කලින්ම අසේලි කිව්වා.

"ගුඩ් නයිට්" ටික වෙලාවකින් ආදිත්‍ය කිව්වා.

"ගුඩ් නයිට්" අසේලිත් සුබ පැතුවේ නිදාගන්න හිතාගෙන.

මේ ඔක්කොම මතක් කර කර අසේලි බලන් හිටියේ ජනේලෙන් එලියේ පේන පුරහද දිහා.

'අද පෝයද' අසේලි කල්පනා කරේ හද දිහා බලාගෙනමයි.

ඒත් එක්කම දැනුනු වතුර තිබහ නිසා අසේලි වටපිට බැලුවා.මැණිකේ රෑ වතුර ජෝගුවක් මේසෙන් තිබ්බ බව අසේලිට මතකයි.වතුර ගන්න යන්න බිමට අඩිය තියන්න කලින් අසේලි බැලුවේ නිදාගෙන ඉන්න ආදිත්‍ය දිහා.

'මේ මූණේ අහිංසක පාට' එහෙම හිතද්දිත් අසේලිට දැනුනේ හිතම හිරිවැටිලා යන ගතියක්.

අසේලි හෙමීට අඩියක් බිමට තියලා ඉස්සරහට යන්න හැදුවත් එක පාරටම කකුල පැටලුනු අසේලි ආදිත්‍ය ගේ ඇග උඩට වැටුනා.නිදිමතේම ආදිත්‍ය ඇස් ඇරලා බැලුවා.

"සොරි....සොරි..." අසේලි කිව්වේ කලබලෙන්.

"ඔහොම ඉන්න" නිදිමතෙන්ම එහෙම කියපු ආදිත්‍ය අසේලිව තුරුල් කරගන්න ගමන් ඇස් පියාගත්තා.

***********************************************

ඉක්මනින් කොටසක් ගේන්නම්.එතකම් හිතන්න මොනවා වේවිද කියලා.

ආදරෙන් ඉන්න ❤️

No comments:

Post a Comment