Tuesday, February 19, 2019

මන්දාරම් අහස යට - තිස් අට වන කොටස



අසේලි තමන්ගේ ලගින් ඇවිදගෙන යනවා ආදිත්‍ය ට පෙනුනා.ආයෙත් සැරයක් අසේලිව නැති කරගන්න ආදිත්‍ය ට ඕනේ වුනේ නෑ .ඒ නිසා අසේලිගේ අතකින් ඇදලා තමන් ලගට ගත්ත ආදිත්‍ය අසේලිව තුරුල් කරගත්තා.එත් අසේලි උත්සහ කරේ ආදිත්‍ය ගේ ග්‍රහණයෙන් ගැලවෙන්න.ඒ බව තේරුණු ආදිත්‍ය අසේලිව තවත් තදින් තුරුල් කරගත්තා.

"ඔන්න ඔහොම ඉන්න" තුරුල් කරගන්න ගමන්ම ආදිත්‍ය මිමිණුවා.

"ආදිත්‍ය..." අසේලිගේ කටහඩ ආදිත්‍ය ට ඇහුනේ කෙදිරිලි හඩක් වගේ.ඒ කටහඩ ආදිත්‍ය ගේ හිතේ ඇති කරේ අමුතුම සතුටක්.

"ආදිත්‍ය...අතාරින්නකෝ " අසේලිගේ කටහඩ ඒ සැරේ ඇහුනේ කලින්ට වඩා ටිකක් සද්දෙන් කියලා ආදිත්‍ය ට තේරුනා.ඒ කටහඩ ඇහෙද්දී ආදිත්‍ය ට ඉබේටම හිනාවක් ගියා.

'මේ කෙල්ලගේ සද්දෙ නම් තියෙනවා' ආදිත්‍ය හිතුවේ ඒ හිනාව අතරින්මයි.

"ආදිත්‍ය....නැගිටින්නකෝ අනේ මගේ මේ අත ත් රිදෙනවා" අසේලිගේ කටහඩ ත් එක්කම පපුව මැදින් දැනුනු වේදනාවක් නිසා ආදිත්‍ය ඇස්  ඇරියේ මේ මොකක්ද බලන්න.වටේට මහා කරුවලක් මැදින් වැටුණු කහ පාට එලිය දිහා ආදිත්‍ය බැලුවේ පුදුමෙන්.

"අයියෝ...නැගිටින්නකෝ ආදිත්‍ය...පුදුම නින්දකනේ මේක" කන ලගින්ම වගේ අසේලිගේ කටහඩ ඒ සැරේ ඇහුනේ ටිකක් තරහෙන් වගේ නිසා ආදිත්‍ය ඔලුව හරවලා බැලුවේ තමන්ට තුරුල් වෙලා එයා දිහාම බලන් ඉන්න අසේලි දිහා.

ඇස් දෙකත් ලොකු කරගෙන බලාගෙන ඉන්න අසේලිව ආදිත්‍යට පෙනුනේ ජනේලෙන් වැටිලා තිබුනු කහ පාට එළියෙන්.ඒ දිලිසෙන ඇස් දෙක දිහා ආදිත්‍ය බලාගෙනම හිටියා.එතකොටම ආපු හුලගත් එක්ක අසේලිගේ කොණ්ඩේ මූණ පුරා විසිරෙද්දි ආදිත්‍ය ඒ කොණ්ඩේ හෙමීට අතින් අල්ලගත්තා.ආදිත්‍යගේ අතැගිලි මූනේ ගෑවෙනවත් එක්කම අසේලි ඇස් පියාගත්තේ මුලු ඇගම සීතල වෙද්දි.අසේලිගේ මූණට වැටිලා තිබුනු කෙස්ගස් ටික ආදිත්‍ය පරිස්සමෙන් අසේලිගේ කණ පිටිපස්සෙන් රැදෙව්වේ ඇස් පියාගෙන ඉන්න අසේලි දිහා බලාගෙනමයි.කෙස් ටික රදවපු ආදිත්‍ය ඒ අතින්ම අසේලිගේ කම්මුල දිගේ අත යවද්දි අසේලිගේ පපුව ගැහෙන්න පටන් ගත්තා.ඒත් ඒ අත අසේලිගේ තොල් මතට එද්දි අසේලි ඉබේටම වගේ ආදිත්‍යගේ අත අල්ලගත්තේ එයා නොදැනීමයි.

"ආදිත්‍ය...." හෙමින් සැරේ ඇස් ඇරපු අසේලි කෙදිරිලි හඩින් මුමුණද්දි ආදිත්‍ය අසේලිගේ මුනෙන්  අත ගත්තා.

එත් එක්කම වගේ ආදිත්‍ය අසේලි ගේ ග්‍රහණය ලිහිල් කරා.අසේලි කලබලෙන් එතනින් නැගිට්ටා.මුකුත් හිතාගන්න බැරි වුනු ආදිත්‍ය මෙට්ටේ උඩින් වාඩි වුනා.ඇද උඩ වාඩි වුනු අසේලි කොණ්ඩේ අතින් හදාගන්න ගමන්ම වටපිට බැලුවේ ලජ්ජාවෙන්.

" ආ...මේ...සොරි" ආදිත්‍ය කියද්දී අසේලි හෙමිට ආදිත්‍ය දිහා බැලුවා.

"කමක් නෑ .මම යි වැටුනේ ඔයාගේ ඇගට" අසෙලි කිව්වේ ලජ්ජාවෙන්.

"ආ.....ම්ම්ම්...එහෙනම් නිදාගන්නවද?" ආදිත්‍ය අහද්දී අසේලි ඔලුව වැනුවා.

අසේලි ඇදෙන් ඇලවෙනවා ත් එක්කම ආදිත්යත් මෙට්ටෙන් ඇලවුනාට ආදිත්‍ය ට නම් නින්ද අහලකවත් තිබුනේ නෑ .ටිකකින් ආයෙමත් ඇගට වැටුණු සෙවනැල්ල නිසා ආදිත්‍ය ඔලුව උස්සලා බැලුවා.අසේලි ඇදෙන නැගිටිනවා ආදිත්‍ය දැක්කා.

"ඇයි අසේලි" ආදිත්‍ය ඇහුවේ මෙට්ටෙන් ආයෙමත් වාඩි වෙන ගමන්.

"මට වතුර තිබහයි"

"ඉන්න මං ගෙනත් දෙන්නම්"ආදිත්‍ය කිව්වේ මෙට්ටෙන් නැගිටින ගමන්.

"මේසේ උඩ මැණිකේ නැන්දා වතුර එකක් තිබ්බා කිව්වා." අසේලි කිව්වේ ආදිත්‍ය නැගිටලා යද්දී.

කරුවලේම ආදිත්‍ය වතුර වීදුරුව ගෙනත් අසේලිට දීලා ආයෙමත් මෙට්ටෙන් වාඩි වුනා.

"තැනක් යූ" අසේලි වතුර එක ගත්තේ එහෙම කියන ගමන්.වතුර එක බිලා ඉවර කරපු අසේලි වීදුරුව තියන්න නැගිටින්න හැදුවත් ආදිත්‍ය ඒ වීදුරුව අරන් එතන මේසෙකින් තිබ්බා.දෙන්නම ආයෙත් ඇලවුණේ නිදාගන්න හිතාගෙන වුනාට නින්දක් දෙන්නගෙම හිත කොනකවත් තිබුනේ නෑ .

"අසේලි..." ආදිත්‍ය කතා කරේ මෙට්ටේ ඇල වෙලා ඉන්න ගමන්මයි.

"ම්ම්ම්...." 

"ඇයි ඔයා දේදුණු ට අකමැති?" ආදිත්‍ය ඇහුවත් අසේලිගෙන් උත්තරයක් ලැබෙන්න ටිකක් වෙලා ගියා.

"එහෙම එකක් නෑ" 

"නැති වෙන්න බෑ.දැන් ඔයා ටිකක් කල්පනා කරෙත් මට ඒක කියනවද නැද්ද කියලනේ" 

ආදිත්‍ය කියද්දි අසේලිට දැනුනේ පුදුමයක්.

'මෙයා කොහොමද මේ තරම් හොදට මං හිතපු දේ කිව්වේ' අසේලි කල්පනා කරේ පුදුමයෙන්.

"නෑ ඒක මේ එහෙම අකමැත්තක් නෙවෙයි.එත් එයා කියන දේවල් මට තේරෙන්නේ නෑ"  අසේලි කිව්වේ හිත හිත

"මොනවද තේරෙන්නේ නැත්තේ? මොනවද එයා කිව්වේ?" 

"අපෝ ඒවා ඔයාට කියන්න බෑ.මං කේලම් කියන්නේ නෑ" 

"කේලමක් වෙන්නේ කොහොමද ඒවා.ඔයාලා මං ගැනනේ කතා වෙන්න ඇත්තේ කොහොම හරි.ඒවා දැනගන්න එක මගේ අයිතියක්" 

"අපෝ මෙයා ගැනම කතා කරන්න මෙයා හරි රාජ කුමාරයා" අසේලි සරදම් ස්වරයෙන් කියද්දිම ආදිත්‍ය ආයෙත් මෙට්ටේ උඩින් වාඩි වුනා.ඒ වෙද්දිත් අසේලි ඒ පැත්තට හැරිලයි හිටියේ.

"මේ ඔයා දැන් මට කියනවද නැද්ද?" ආදිත්‍ය ඇහුවේ අසේලි දිහාම බලාගෙන.

"බෑ බෑ බෑ මයි" 

"හරි එහෙනම් මාත් කියන්නේ නෑ" ආදිත්‍ය එහෙම කියාගෙනම ආපහු ඇල වුනා.

"මොකක්ද කියන්නේ නැත්තේ ඔයා?" ඒ සැරේ අසේලි ඇහුවේ කුතුහලයෙන්.

"මං ඔයාට කියන්න හිතාගෙන හිටපු දෙයක්.අර මහ වැස්සේ මං දුවගෙන ආවේ ඒක කියන්න.දැන් ඉතින් කියන්නේ නෑ" ආදිත්‍ය කියද්දි අසේලිගේ මූණ බෙරි වුනා.ඇදෙන් පහළට ඔලුව දාලා අසේලි බැලුවේ ඇස් පියාගෙන මෙට්ටේ දිගා වෙලා ඉන්න ආදිත්‍ය දිහා.

"අනේ....කියන්නකෝ" අසේලි කියද්දි ආදිත්‍ය ඇස් ඇරලා බැලුවා.

"ඔයාගෙන් අහපු එකට කිව්වට පස්සේ මං කියන්නම්" 

"බෑ බෑ මට බෑ.අනික ඒකෙයි මේකෙයි සම්බන්දයක් නෑනේ.මගෙන් කේලම් අහගන්න හදන්නේ ඔයා"අසේලි කියද්දි ආදිත්‍යට හිනා ගියා.

'මේ කෙල්ලගේ හුරතලේ' ආදිත්‍ය හිතුවේ අසේලි දිහා බලාගෙනමයි 

"කියන්නකෝ..." අසේලි ආයෙත් අහද්දි ආදිත්‍ය ටිකක් කල්පනා කරා.

"හරි එහෙනම් මෙහෙම කරමු.මං හිතාගන්නම් ඔයාට ඉරිසියා නිසයි ඔයා දේදුණු ට අකමැති කියලා.එහෙම හිතාගෙන මං මගේ කතාව කියන්නම්" ආදිත්‍ය එහෙම කියද්දි අසේලිගේ ඇස් ලොකු වුනා.

"ඇයි....ඇයි....එහෙම හිතන්නේ? මං එහෙම කිව්වේ නෑනේ"

"මට නම් පේන්නේ එහෙම තමයි.නැත්තම් ඔයාට වෙන දේදුණු එක්ක ප්‍රශ්නයක් තියෙන්න බෑනේ" 

"මං මොකටද එයාට ඉරිසියා කරන්නේ?"

"මං දෙනුවන් ට ඉරිසියා කරන හේතුවටම තමයි" ආදිත්‍ය අසේලි දිහා හොදට බලලා කිව්වා.

"ඇ..ඇයි ඒ ඔයා දෙනුවන්ට ඉරිසියා කරන්නේ?" 

" එයා ඔයා එක්ක කතා කරනවා වැඩියි.එකට යනවා එනවා වැඩියි.ඔයත් එයා එක්ක හිනා වෙනවා වැඩියි.හෝර්ටන් ප්ලේස් එකේදි අතිනුත් අල්ලගෙන නේද ගියේ?.ඉතින් මට ඉරිසියා හිතෙන එකේ අසාධාරණේ මොකක්ද?" ආදිත්‍ය කියවගෙන යද්දි අසේලි අහගෙන හිටියේ කටත් ඇරගෙන.

"ඉතින්....ඉතින්...ඔයත් එහෙමනේ.දේදුණු එක්කනේ හැමතැනම ගියේ.නිකමට වත් මං උන්නද මලාද බැලුවේ නෑ.දැන් මෙතන ඉරිසියා යිලු" අසේලි ඒක කිව්වේ තරහින්.

"ඒ මගේ නංගි කෙනෙක්.ඒක මං ඔයාට කිව්වා.ඒත් දෙනුවන් ඔයාට ට්‍රයි කියලා ඔයා මට නිකමට වත් කිව්වද?" ආදිත්‍ය අහද්දි අසේලි ආදිත්‍ය දිහා බැලුවේ පුදුමෙන්.

"ඔයා කොහොමද ඒක දන්නේ?" 

"ඔච්චර එකක් මට නොපෙනෙන්න මං බබෙක් කියලා හිතුවද?" ආදිත්‍ය ඇහුවේ තරහෙන්..

"හරි....ඉතින්...එයා ට්‍රයි වගේ වුනාට මගෙන් එහෙම අහලා නෑ මුකුත්" 

"අහනකම් ද ඉතින් බලන් ඉන්නේ?" 

" වෙන කවුරුවත් අහන්නෙත් නැති එකේ එයාවත් අහපුදෙන්" අසේලි එහෙම කියද්දි ආදිත්‍ය හොද හුස්මක් හෙලුවා.එහෙම්ම මෙට්ටෙන් වාඩි වුනු ආදිත්‍ය ඇදේ තාමත් ඇලවෙලා ඉන්න අසේලිගේ මූණට එබුනේ අසේලිවත් බය කරලා.

"කටින් අහන්න ඕනේ හිතින් කියාගන්න බැරි අය.ඔයා හිතින් මට උත්තරයක් දීලා ඉවරයි.ආයේ කටින් කාටවත් උත්තර දෙන්න ලෑස්ති වෙන්න එපා" 

ආදිත්‍ය එහෙම කියද්දි අසේලි බලන් හිටියේ ඇස් දෙකත් ලොකු කරගෙන.ආදිත්‍ය ආයෙත් ඇද පහල මෙට්ටෙන් ඇල වුනත් අසේලි තාමත් හිටපු විදියටම හිටියේ මුකුත් හිතාගන්න බැරුව.

'අනේ....දෙයියනේ....මේ...ඔහොම කියනවද ඕවා' අසේලි හිතුවේ පපුවත් අල්ලගෙන.

'පපුවත් ගැහෙනවා දෙයියනේ...අයියෝ....මේ මොකද වුනේ' අසේලි පොරවගෙන හිටපු බ්ලැන්කට් එකෙන් ඔලුවම වහගත්තා.

'ඒ මූණ....රතු වෙලා....ජම්බු ගෙඩියක් වගේ මං ඒක කියද්දි.....මට අල්ලලා ඉබින්න තිබ්බා නම්..නෑ නෑ ආදි...උඹ එහෙම නොකරපු එක හොදයි.නැත්තම් මොනවා වේවි ද දන්නේ නෑ' ඇද පහළ ඉදගෙන ආදිත්‍ය කල්පනා කරේ තනියෙන් හිනා වෙවී.

සෑහෙන වෙලාවක් ගියත් දෙන්නාගෙන් කවුරුවත් කතා කරේ නෑ.

"දේදුණු මං පොඩි කාලේ සෙල්ලම් කරපු නංගි කෙනෙක්.මට එයාව මතක තිබ්බත් අම්මලට එයාව මතක නෑ" ආදිත්‍ය කතා කරන්න පටන් ගත්තේ අසේලි අහගෙන ඇති කියන විශ්වාසෙන්.මොනවා වුනත් අසේලිට දේදුණු ගැන කියන එක හොදයි කියලා ආදිත්‍ය හිතුවා.

"ඇයි ඒ?" හිතුවා වගේම අසේලි ඇහුවා.

"දන්නේ නෑ.පොඩි කාලේ මං සෙල්ලම් කරාලු ලග ගෙවල් කීපයකම කට්ටියත් එක්ක.ඒත් ඒ කාටවත් දේදුණු කියලා දුවෙක් හිටියේ නෑලු" 

"ඔයාට නම අමතක වෙලා නෙවෙයිද?" 

"අපෝ නෑ...එයා මට දීපු පොතකුත් මං ලග තියෙනවා.ඒකේ නම තියෙන්නේ දේදුණු" 

"හ්ම්...ඉතින් එතකොට මේ දේදුණු?" 

"මේ දේදුණු මං හරි අමාරුවෙන් ලංකාවට ඇවිත් හොයාගත්තේ.එයාගේ අයියා තමා කියලා තියෙන්නේ මං සෙල්ලම් කරා කියලා දේදුණු එක්ක.දේදුණු ට මතක නෑ" 

" ඔයා රට යන්න කලින්ද? ගොඩක් පොඩියිද එතකොට ඔයා?" 

"ඔව් මට 7යි.දේදුණු ට 5යි" 

"ආ...පොඩියි තමයි නේද?" 

"ඒකනේ...ඒ මගේ නංගි කෙනෙක් වගේ එයා.වෙන දෙයක් නෑ" ආදිත්‍ය කියද්දි අසේලි හිනා වුනා.

"හරිද?" ආදිත්‍ය ආයෙත් ඇහුවේ අසේලි ගෙන් උත්තර යක් නැති නිසා

"හරි හරි මට නිදිමතයි නිදාගමු" අසේලි කිව්වේ බ්ලැන්කට් එක හොදට පෙරවගන්න ගමන්.

පහුවදා උදේම සුමනේ ත්‍රී වීල් එකෙන්ම මේ දෙන්නව ආපහු ගිහින් ඇරලුවා.ඒ වෙද්දිත් කට්ටිය බය වෙලා හිටියේ මේ දෙන්නට වෙච්ච දෙයක් දන්නේ නැතුව.

"අම්මෝ...ඇති යන්තම් ආවා.." අවිශ්ක කිව්වේ ආදිත්‍ය ව බදාගන්න ගමන්.

"ඔන්න අවිශ්කයා තමා මෙතන මැරෙන්න හැදුවේ" මිගාර කියද්දි අවිශ්ක රැව්වා.

"නැතුව ඉතින්.මූ නාවා නම් මට ඇත්තටම මැරෙන්න වෙනවා ගෙදරට උත්තර දීලා" 

"කෝ දේදුණු ?" ආදිත්‍ය ඇහුවේ වටපිට බලන ගමන්.

"දේදුණුගේ බෝයියා ආවානේ බං උදේම මෙතනට.ඒපාර කෙල්ල ගියා" ක්‍රිශාන් කියද්දි ආදිත්‍ය ට එක පාරටම බැලුවේ අසේලි දිහා.

"කොල්ලට තද වෙලා ද හිටියේ?" 

" තද වෙලාද බුරුල් වෙලාද මං දන්නේ නෑ.කොහොම හරි කෙල්ලට යන්න වුනා.උඹ කෝල් එකක් දීපන්.උඹ නෑ කියලා ඒකිත් අවුලෙන් හිටියේ" ක්‍රිශාන් කියද්දි ආදිත්‍ය ඔලුව වැනුවා.

"හරි හරි මං ගන්නම්...දැන් යන්න දීපන් මට වොශ් එකක් දාගන්න" ආදිත්‍ය හැදුවේ කට්ටියගෙන් බේරිලා ඇතුලට යන්න.

"හරි හරි මස්සිනා පලයන්කෝ ඇතුලට.කොහොමත් උඹට අපට කියන්න වෙනවා වෙච්ච දේවල්" මිගාර කිව්වේ අසේලි දිහාත් බලන ගමන්.ඒ කතාවට අසේලිගේ මූණ රතු වුනා.

"අනේ...බං පිස්සු නොකිය හිටපන්" ආදිත්‍ය ඇතුලට ගියේ මිගාරට පාරකුත් ගහන ගමන්.

ආදිත්‍ය ත් අසේලිත් ලෑස්ති වුනාට පස්සේ කට්ටියම ආපහු එන්න පිටත් වුනා.

මිගාරට වගේම අවිශ්කටත් පහුවදා පාන්දරම විභාගයක් තිබ්බ නිසා පුලුවන් ඉක්මනින්ම ආපහු එන්නයි හැමෝටම ඕනේ වුනේ.

හවස 6 විතර වෙද්දි කලුතර දුම්රිය ස්ථානයෙන් බැහැපු කට්ටිය තම තමන්ගේ ගෙවල් වලට ගියා.දුම්රිය ස්ථානයෙන් බැස්සත් ආදිත්‍ය ට අසේලි එක්ක කතා කරන්නවත් බැරි වුනේ අසේලිව එක්කගෙන යන්න එයාගේ අයියා නිමන්ත ඇවිත් හිටපු නිසා.

ගෙදර ගිහින් බෑග් එකත් ඇද උඩට වීසී කරපු අසෙලි ඒ ඇදුමෙන්ම ඇද උඩ ඇලවුනා.

"ඒයි මෙන්න එක්කෙනෙක් ඇවිල්ලා.කෝ මට මොනවද ගෙනාවේ" මාධවී කාමරේට ආවේම එහෙම අහගෙන.

"ස්ට්‍රෝබෙරි ඇති.පස්සේ දෙන්නම්.මට මහන්සියි.යනවා මෙතනින්" එහෙම කියපු අසේලි ඇස් දෙකත් පියාගත්තා.

"මේක මගෙත් කාමරේ" මාධවී එහෙම කියන ගමන් අසේලිගේ බෑග් එක අවුස්සන්න පටන් ගත්තා.

"තියන පෙරේතකම විතරක්...ගිහින් පාඩම් කරනවා.පස්සේ දෙන්නම්" අසේලි කිව්වේ මාධවීට රවන ගමන්.

"මේ මගේ රිලැක්සේශන් අවර් එක" 

"මොකක් කිව්වා" අසේලි ඇහුවේ පුදුමෙන්.

"ඉනටර්වල් එක ඉන්ටර්වල් එක.අපෝ මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ" මාධවී කියද්දි අසේලි හිනා වුනා.

"මේ නංගි...." 

"ම්ම්ම්...." 

"ඔයාට මතකද මං දකින හීන වල පිරිමි ලමයෙක් ඉන්නවා" 

"එක්කෙනෙක් නෙවෙයිනේ.දෙන්නෙක් ඉන්නවා.මුල් කාලේ දෙන්නෙක් දැක්කනේ නේද?" මාධවී කිව්වේ මතක් කරන ගමන්.කොහොමත් අසේලිට වඩා මේ හීන ගැන උනන්දු මාධවී.

"ඔව් ඔව්...මං හිතන්නේ මං දන්නේ ඒ පිරිමි ලමයාව" අසේලි කියද්දි මාධවී බැලුවේ පුදුමෙන්.

"ඒ කවුද?" 

" ආදිත්‍ය " අසේලි එහෙම කියද්දි මාධවීගේ ඇස් දෙක ලොකු වුනා.

**********************************************

ඉක්මනින් හමුවෙමු.

ආදරෙන් ඉන්න ❤️

No comments:

Post a Comment