Thursday, February 7, 2019

මන්දාරම් අහස යට - තිස් හතර වන කොටස


පහුවදා උදේම ආදිත්‍යලා කට්ටිය නුවරඑළි යන්න පිටත් වුනා.දේදුණුව මගින් ගන්න ඕනේ නිසාම ආදිත්‍ය වාඩි වෙලා හිටියේ ඉස්සරහ ශීට් එකේ.දේදුණුත් වාහනේට නැගලා ආදිත්‍ය ලගින්ම වාඩි වුනා.දේදුණු  ආදිත්‍ය ලග වාඩි වෙනවා දැකපු අසේලිගේ මූණ අදුරු වෙනවා හොදටම පෙනුනේ අසේලි ලග වාඩි වෙලා හිටපු නෙහාරාට.නෙහාරා එයාට එහායින් හිටපු විහාරාට ඇගිල්ලෙන් ඇනලා අසේලිව පෙන්නුවා.

දිග සුසුමක් හෙලපු අසේලි ජනේලෙන් එලිය බලාගන්නවා නෙහාරායි විහාරායි බලාගෙනයි හිටියේ.

" ඒ දේදුණු නම් ඕනවට වැඩියි" නෙහාරා විහාරාට කිව්වේ දේදුණු ට රවන ගමන්.

"උඹ මෙතන දමාගෙන ඒ කෙල්ලට රැව්වා කියලා ඒකිට පේන්නේ නෑනේ"විහාරා කිව්වේ නෙහාරාට හිනා වෙවී.

"මූණට රවාගන්න හරිහමන් හේතුවක් නැතුව මං මේ ඉන්නේ.මොන මගුලක්ද බං අනුන්ගේ කොල්ලෝ අස්සේ රින්ගන්නේ.මට පෙන්න බෑ ඔහොම කෙල්ලෝ" නෙහාරා දේදුණු ට බනින්න ගත්තා..

"ඒක අතකට ඒකි වැරදි නෑ නෙහාරා.ආදිත්‍ය මේවා දැනගන්න ඕනේ.හා නැද්ද කියපන්.ට්‍රිප් එකක් ආවා නම් එයා එයාගේ කෙල්ල එක්ක එපැයි ඉන්න" විහාරාත් කතාවට පෝර දැම්මා.

"මොනවා ගැනද උඹලා මේ කතා කරන්නේ?" මේ කතාව එහෙන් මෙහෙන් ඇහුනු අසේලි ඇහුවේ කුතුහලෙන්.

"උඹ ගැන කතා කරන්නේ.ඒත් ඒක උඹට වැඩක් නෑ" නෙහාරා එහෙම කියද්දි අසේලිගේ ඇස් ලොකු වුනා.

"මං ගැන කතා කරා නම් ඒක මට වැඩක් නැති වෙන්න බෑනේ" අසේලි කිව්වේ දෙන්නා දිහාම උවමනාවෙන් බලන ගමන්.

"නෑ මේක වැඩක් නෑ තමයි.මොකද අපි කියන ඒවා ඔයා අහන්නේ නෑ" විහාරාත් නෙහාරා කියපු දේට එකග වුනා.

"දේදුණු ගැනද?" අසේලි ඒක ඇහුවේ හිමින්.

"නෑ....අපිට ප්‍රශ්නේ උඹ ගැන.දේදුණු කවුද අපේ" නෙහාරා කියද්දි විහාරාත් ඔලුව වැනුවා

"දැන් මොකක්ද ඔයාලා මට කියන්නේ?" අසේලි ඇහුවේ නෙහාරාගේ පැත්තට හොදට හැරෙන ගමන්.

"මේක කියපන් මුලින්.ආදිත්‍ය උඹේ කවුද?" නෙහාරා අහද්දි අසේලි හුස්මක් පහළට දැම්මා.

"ආදිත්‍ය මුල් දවස් වල මට පේන්නම බැරි කොල්ලෙක්. පස්සේ යාලුවෙක් වුනා.ඒත් දැන්..." එහෙම කියපු අසේලි කතාව නවත්තලා බැලුවේ වාහනේ ඉස්සරහ වාඩි වෙලා දේදුණු එක්ක කතාවක ඉන්න ආදිත්‍ය දිහා.

"ඒත් දැන්...මොකක්ද අසේලි" විහාරා ඇහුවේ කුතුහලෙන්.

"දැන්....දැනුත් යාලුවෙක් තමයි...වෙන සම්බන්දයක් නෑ අපේ" අසේලි කිව්වේ තමන් දිහා උවමනාවෙන් බලන් ඉන්න ඇස් හතරම මග ඇරලා.

"අපි අසේලි මේ අහන්නේ උඹයි ඌයි අතරේ තියෙන යාලුකමක් ගැන නෙවෙයි.උඹේ හිතේ තියෙන හැගීම ගැන.උඹට ආදිත්‍ය ගැන මොකද හිතෙන්නේ? ඇත්තම කියපන් අසේලි.උඹ අපටවත් කියන්නේ නැත්තම් කාටද කියන්නේ?" නෙහාරා මේ සැරේ කිව්වේ අසේලිගේ ඇස් දෙකට එබෙන ගමන්.

"ඒකනේ සුදූ...ඔයා මේ හිතේ හිරකරගෙන ඉන්න එකයි ප්‍රශ්නේ.බලන්න ඔයා කෙට්ටු වෙලා.ඊයෙත් කෑවේ නෑ හරියට" විහාරා කිව්වේ අසේලිගේ අතකින් අල්ලගන්න ගමන්
.
"ඒ විතරක් යැ.හරියට කතා කරන්නෙත් නෑ.වෙනදට දෙවනත් වෙන්න කෑගහන කෙල්ලනේ.මොකක්ද මේ උඹට වෙලා තියෙන්නේ" නෙහාරා අහද්දි අසේලි ආයෙත් සුසුමක් හෙලුවා.

" මං දන්නේ නෑ බං.මට තේරෙන්නේ නෑ.ආදිත්‍ය තමයි මං දැකපු ලස්සනම කොල්ලා.මං ගැන අයියටත් වඩා හොයපු කොල්ලා.බොරුවට හරි මං ගර්ල් ෆ්‍රෙන්ඩ් කියලා කියපු කොල්ලා..." එක පාරටම පුදුමෙන් බලන් ඉන්න නෙහාරා දිහා බලපු අසේලි නෙහාරාගේ අතින් අල්ලගත්තා.

"එයා මං එයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් කියලා කියන හැම සැරේම මගේ පපුව ගැහෙන්න ගන්නවා බං.එයා එදා සෝශල් දවසේ රෑ ආපු වෙලාවේ මං හිතුවේ මං කලන්තේ වෙයි කියලා.ඒතරමටම පපුව ගැහෙන්න ගත්තා.මාව හිරි වැටිලා වගේ තිබ්බේ.මටම තේරෙන්නේ නෑ.මට මොනවා වෙලාද කියලා." අසේලි කිව්වේ කම්මුල දිගේ ගලාගෙන ගියපු කදුලු බිංදුවක් පිහිදන ගමන්.

"ඒයි අඩන්න එපා" විහාරා එහෙම කියන ගමන් කදුලු පිහිදුවා.

"මේ...උඹ ආදිත්‍යට ආදරෙයිනේ..අන්න ඒක කෙලින් කියපන්.මේ ෆිල්ම් ඩයලොග් මට අල්ලන්නේ නෑ" මේවා බලන් හිටපු නෙහාරා කිව්වේ හිනා වෙවී.

"මං බයයි බං එහෙම හිතන්න.අයිති නැති කෙනෙක්ට ආදරේ කරන්නේ කොහොමද" අසේලි කිව්වේ දේදුණු දිහා බලන ගමන්.

"අයිති නෑ අයිති නෑ ගානවා කොයි වෙලෙත්.මට උඹටත් දෙන්න හිතෙනවා දත් ටික ගැලවෙන්න" නෙහාරා ඒ සැරේ නම් කිව්වේ තරහින්.

"ඒක ඇත්ත.මට නම් හිතෙන්නෙම ආදිත්‍යත් ඔයාට කැමතියි කියලා.නැත්තම් මොකක්ද මේ කරන දේවල් වල තේරුම.එක්කෝ එයා මෙහෙම බලාපොරොත්තු නොදී ඉන්න ඕනේ.එක කෙල්ලෙක්ට බලාපොරොත්තු දීලා තව කෙල්ලෙක් එක්ක කතා කරන එක මහ ජරා වැඩක්" මෙච්චර වෙලා සද්ද නැතුව හිටපු විහාරා කියද්දි නෙහාරාත් ඔලුව වැනුවා.

"අනේද කියන්නේ....එකෙක්ව හුරතල් කරන්නයි අනිත් එකාට ගර්ල් ෆ්‍රෙන්ඩ් කියන්නයි.මේක ඌට ගිය රටනේ" නෙහාරා තරහෙන් කියද්දි අසේලිට හිනා ගියා.

"මෙන්න හිනා වෙනවා" නෙහාරා කිව්වේ හිනා වෙන අසේලි දිහා බලාගෙන.

"හිනා යනවනේ කියන ඒවට.මෙන්න මේ විකාර නවත්තලා යමු" එහෙම කියපු අසේලි ආයේමත් ශීට් එකට හේත්තු වුනේ ජනේලෙන් එලිය බලාගෙනමයි.

ඒත් අසේලිගේ හිතේ තිබ්බේ කලින් දවසේ පේරාදෙණිය උද්භිත උද්‍යානයේදි සිදුවෙච්ච සිදුවීමක්.

අසේලියි නෙහාරායි විහාරායි පේරාදෙණියේ මල් වත්ත මැද ජායාරූප ගන්නකොට තමයි ආදිත්‍ය එතනට ආවේ.

"ආ...කට්ටිය ෆොටෝ ගහනවා වගේ" ආදිත්‍යගේ කටහඩ පිටිපස්සෙන් ඇහුනු නෙහාරා හැරිලා බැලුවා.

"නෑ අපි මේ කෑම කන්න හදන්නේ"නෙහාරා කියපු කතාවට හැමෝටම හිනා ගියත් අසේලි හිනා වුනේ නෑ.

" කෝ ඔයාලා අරන් ඉවරයි නම් අසේලිගෙයි මගෙයි ෆොටෝ එකකුත් අරන් දෙන්නකෝ" ආදිත්‍ය කිව්වේ නෙහාරාගේ අතට එයාගේ දුරකථනය දෙන ගමන්.

"අනේ මට බෑ" අසේලි එහෙම කිව්වේ ආදිත්‍යගෙන් එහාට වෙන ගමන්.

"ඇයි බැරි" ආදිත්‍ය ඇහුවේ පුදුමෙන්.

"එකට ෆොටෝ ගහන්න මං ඔයාගේ කවුද?" අසේලි කිව්වේ ආදිත්‍යගෙන් ඉවතට හැරෙන ගමන්.

"ඇයි දැන් එකට ෆොටෝ ගන්න පුලුවන් පවුලේ අයට විතරයිද?" ආදිත්‍ය ඇහුවේ අසේලි ලගට ඇවිදගෙන යන ගමන්.

" මේ අපි යමු..." මේ අතරේ විහාරා නෙහාරාගේ කණට කෙදිරුවා..

"යමු යමු...." එහෙම කියලා නෙහාරායි විහාරායි එතනින් යද්දි ආදිත්‍ය අසේලි ලගට තවත් ටිකක් කිට්ටු වුනා.

"ආ....කියන්න..මොකද මේ ඔයාට වෙලා තියෙන්නේ" ආදිත්‍ය අසේලිගේ බාහුවෙන් අල්ලලා එයාගේ පැත්තට හරවගත්තා.

"ඇයි අනේ? මට මොනවා වෙන්නද? " අසේලි ඇහුවේ නොඉවසිල්ලෙන්.

"ඇයි මාත් එක්ක ෆොටෝ ගන්න බැරි?"

"මොකටද මාත් එක්ක ෆොටෝ ගන්නේ? ඔයාට ඉන්නේ ෆොටෝ ගන්න යාලුවෝ"එහෙම කියන ගමන් අසේලි ආදිත්‍ය ගේ අත ගසලා දාලා අනිත් පැත්තට හැරුනා.

"ඉතින් ඔයත් ගත්තේ එයාලා එක්ක ෆොටෝ.එහෙම කියලා දැන් ඇයි මාත් එක්ක ගන්න බැරි" ආදිත්‍ය ඇහුවේ පුදුමෙන්.

"දැන් ඇයි ඔයාට මාත් එක්ක ෆොටෝ එකක් ඕනේ? මොකටද?"

" මට ඕනේ නිසා.ඇයි දැන් ඔයාට එපාද?"

"රටේම ඉන්න කෙල්ලෝ එක්ක ෆොටෝ ගන්න කොල්ලෙක් එක්ක මට ෆොටෝ එපා" අසේලි කිව්වේ තරහෙන්.

"යකෝ මේක මාර කතාවක්නේ.එතකොට අතන හෙන ගොඩක් කොල්ලෝ කෙල්ලෝ එක්ක ෆොටො ගැහුවේ.එහෙනම් මාත් එපා කියන්න එපැයි"

" ඒ ගැහුවේ ගොඩක් එක්කනේ..එක්කෙනෙක් එක්ක විතරක් ගැහුවේ නෑනේ"අසේලිත් පරදින්න ලෑස්ති නෑ.

"ඉතින්...කවුද එක්කෙනෙක් එක්ක විතරක්...." ආදිත්‍ය කියාගෙන ආවත් කතාව නැවැත්තුවේ දේදුණු එක්ක සෙල්ෆි ගත්ත බව මතක් වෙලා.

"ශිට්...ශිට්...ශිට්..." ආදිත්‍ය තමන්ටම කියාගත්තේ අසේලිගේ මූණ මග අරින්න වටේටම හැරෙන ගමන්.

"අසේලි....ඒ දේදුණු මගේ නංගි කෙනෙක්.එයාට සෙල්ෆි එකක් ගන්න ඕනේ කිව්වා.බෑ කියන්න බෑනේ.හරි නෑනේ.ඒකයි ගත්තේ" ආදිත්‍ය කිව්වේ අහක බලාගෙන ඉන්න අසේලිගේ ලගට යන ගමන්.

"මං ඕවා ඇහුවේ නෑනේ" අසේලි උත්තර දෙන්නේ අහක බලාගෙනමයි.

"ඒ ලමයා හරි අහිංසක ලමයෙක්.පොඩ්ඩක් කතා කරලා බලන්න.ඔයා කැමති වෙයි එයාට"ආදිත්‍ය කිව්වේ අසේලිගේ ඔලුව උඩින් අතක් තියන ගමන්.

" හ්ම්ම්..." අසේලි අහක බලාගෙනම කියද්දි ආදිත්‍ය හිනා වුනා.

"ආදි....." එක පාරටම ඇහුනු හඩක් නිසා දෙන්නම හැරිලා බැලුවා.දේදුණු එතන හිටගෙන බලාගෙන හිටියා.

"ඇයි දේදුණු ?" ආදිත්‍ය ඇහුවේ අසේලිගෙන් ඈත් වෙන ගමන්.

"මේ ඔයාගේ ෆෝන් එක දෙන්නකෝ.අතන ලස්සන මල් වගයක් තියෙනවා.මගේ කැමරා කොලිටි මදියි" දේදුණු කිව්වේ දෙන්නා එක්කම හිනා වෙන ගමන්.

"ආ....මගේ ෆෝන් එක නෙහාරා ලගනේ.මං ගිහින් ඉල්ලගෙන එන්නම්" ආදිත්‍ය කිව්වේ සාක්කුවට අත දාලා බැලුවටත් පස්සේ.

"කතා කරලා ඉන්න" අසේලිගේ කණටත් හෙමීට මුමුණපු ආදිත්‍ය එතනින් ගියේ දේදුණු එක්කත් හිනා වෙලා.

"ඔයා කොහෙද ඉගෙන ගන්නේ?" අසේලි දේදුණු ගෙන් හිනා වෙලා ඇහුවේ ආදිත්‍ය කිව්වා වගේ මොනවා හරි කතා කරන එක හොදයි කියලා හිතලා.

"මං සිනෙප්සිස් යුනිවර්සිටි කොලෙජ් එකේ" දේදුණු උත්තර දුන්නේ නම් ඕනවට එපාවට වගේ කියලා අසේලිට තේරුණා.

"ආ...ඔයා ගොඩක් කල් ද ආදිත්‍යව දන්නේ"ටිකක් වෙලා ඉදලා අසේලි අහද්දි දේදුණු ගේ මූණේ හිනාවක් ඇදුනා.

"හ්ම්ම්..ඔව්...චුටි කාලේ ඉදන්ම දන්නවා."දේදුණු කිව්වේ හිනා වෙවී.

"එහෙනම් ආදිත්‍ය ගැන ගොඩක් දේවල් දන්නවා ඇති නේද" අසේලි අහද්දි දේදුණු ඔලුව වැනුවා.

"අපොයි ඔව්...මං දන්න දේවල් වලින් ඔයා බාගයක්වත් දන්නේ නැතුව ඇති" දේදුණු එක කියපු විදිය නිසා අසේලි දේදුණු දිහා උවමනාවෙන් බැලුවා.

" ඔව් ඉතින් ඔයා ගොඩක් කල් ඉදන් එයාව දන්නවනේ"අසේලි කිව්වේ දේදුණු දිහා බලාගෙනමයි.

" මට තියෙන පුදුමෙත් ඒකමයි" දේදුණු කිව්වේ කල්පනා කරන ගමන්.

"මොකක්ද පුදුම?"

" මං දැනන් හිටියේ නෑනේ ආදි ගේ ගෑනු ලමයි චොයිස් එක මෙච්චර අවුල් වෙලා කියලා.මං නැතුව එයාට කිසි දෙයක් කරගන්න තේරෙන්නේ නෑ" දේදුණු කියද්දි අසේලි ගැස්සිලා ඒ දිහා බැලුවා.

"මොකක්ද ඔයා මේ කියන්නේ?"

" ඒ කොහොම වුනත් දැන් එයාට වැරැද්ද තේරිලා තියෙන්නේ.ඒ නිසා ඔයා හිත හදාගන්න එක කෝකටත් හොදයි.මං මේ ඔයා ගැන හිතලා කියන්නේ"

"කියන දෙයක් තේරෙන්න කියන්න" අසේලි ඒ සැරේ කිව්වේ ටිකක් තදින්.

" අයියෝ...තේරුනේ නැද්ද ඔයාට.හරි මං මෙහෙම කියන්නම්කෝ.ඔයා කොහෙත්ම අපේ ආදි ගේ ටයිප් එකේ නෙවෙයි.එයා කැමති ලස්සන අහිංසක කෙල්ලෙක්ට.එහෙම නැතුව කොලු බාගෙකට නෙවෙයි" දේදුණු කිව්වේ අසේලි දිහා නොපහන් බැල්මක් හෙලන ගමන්.

"මේ....ඔයා නොදන්න දේවල් කතා නොකර ඉන්න ප්ලීස්" අසේලි කිව්වේ තරහෙන්.දේදුණු ගේ කතාවට හිත ගැස්සුනත් ඒ බවක් දේදුණු ට පෙන්නන්න අසේලි කැමති වුනේ නෑ.

" හරි හරි මං ආයේ මුකුත් කියන්නේ නෑ.ඔයාගේ හොදට ඉතින් කිව්වේ.ආදි ඔයාට මොනවා කිව්වද මං දන්නේ නෑ.එයා කාගෙවත් එක පාරට හිත රිද්දන්න කැමති නෑ.ඒකයි මං හිතන්නේ මෙච්චර කල් ගන්නේ.අනේ මංදා එයත් දාගන්න ලෙඩ" දේදුණු කියවන්න පටන් ගත්තේ ඈත් ආදිත්‍ය එන දිහා බලාගෙනමයි.

දේදුණු ගේ කතාවෙන් හිතට දැනුනු තිගැස්සමට ආදිත්‍ය එක්කවත් කතා කරන්න නොනැවතී ආයෙමත් එලියේ ගේට්ටුව ලගට දුවගෙන ගිය හැටි තාමත් අසේලිට මතකයි.ඒ ගිය වේගේට දෙනුවන් අල්ල නොගත්තා නම් පාරේ වාහනේකට වුනත් හැප්පෙන්න තිබ්බා කියලා අසේලිට කල්පනා වුනා.

"කොහෙද අසේලි යන්නේ? පේන්නේ නැද්ද වාහන?" තමන්ව අල්ලගත්ත දෙනුවන් බැනපු හැටි අසේලිට හීනෙන් වගේ මතකයි.

"ඒයි අසේලි අර කදු බලනෝකෝ.පට්ටයි නේ..." නෙහාරාගේ කටහඩට අසේලි ගැස්සිලා ඒ දිහා බැලුවා.

"මේ කොහෙද හිටියේ?" විහාරා ඇහුවේ අසේලිගේ වෙනසක් තේරිලා.

"කොහේ ඉන්නද බං.මෙතනමයි හිටියේ.කෝ තව දුරයිද අනේ" අසේලි ඇහුවේ වෑන් එකේ ජනේලෙන් එබෙන ගමන්.

"නෑ....තව දුර වෙන්න බෑ...අර බලන්න ගෝනෙක්...ගෝනෙක්...." නෙහාරා අසේලිගේ ඇගට උඩින් ජනේලෙන් එබීගෙන කෑගහන්න පටන් ගත්තා.

"අපෝ නවත්තගනින් ඕක.ගෝනා බය වෙයි ඒ පාර" ජීවක කිව්වේ නෙහාරාගේ ඔලුවට අතින් පාරක් ගහන ගමන්.

"අනේ යනවා යන්න...ගෝනාට පිස්සු හැදෙයි මං වගේ හැඩ කෙල්ලෙක් දැක්කම"නෙහාරාත් පරදින්න ලැස්ති නෑ.

මේ කතා මැද්දෙම කට්ටිය හොර්ටන් තැන්නට එද්දි දවල් වෙලා තිබ්බා.

වෑන් එකෙන් එලියට බහිද්දිම ආපු හුලගට මුලු ඇගම සීතල වෙලා යද්දි අසේලි අත් දෙක තුරුල් කරගත්තා.අසේලි නුවර එනකොට ගෙනාපු සීත කබාය එක අසේලිට වඩා  පොඩි එකක් වුනු නිසා එයාට අදින්න සීත කබායක් එකක් තිබුනේ නෑ.

අසේලි අත් දෙක පෙරවගෙන ඉන්නවා දැකපු දෙනුවන් කතා කරා.

"ඇයි කෝ ජර්සි එක?"

" අනේ මං නංගිගේ පොඩි කාලේ එකක් ගෙනත් තියෙන්නේ.ඒක අදින්න බෑ පොඩියි"  අසේලි කිව්වේ නහයත් උඩට අදින ගමන්.

"ආ...ඉන්න මං ලග තියෙනවා වැඩිපුර එකක්." දෙනුවන් එහෙම කියන ගමන් වෑන් එක ලගට ගියා.

"ආ...මේක ගන්න" එතකොටම එතනට ආපු ආදිත්‍ය එයාගේ අතේ තිබුනු සීත කබාය අසේලිගේ කරට දැම්මා.

"එපා...කමක් නෑ ආදිත්‍ය.තෑන්ක්ස්.දෙනුවන් ලග තියෙනවලු" අසේලි එහෙම කිව්වේ ආදිත්‍ය කරට දාපු සීත කබාය අතට ගන්න ගමන්.එතකොටම එතනට ආවේ දෙනුවන්.

"ආ...ඔයා ලග තියෙනවද එකක්"දෙනුවන් එයාගේ එකත් අතේ තියාගෙන ආදිත්‍ය දිහා බලාගෙන ඇහුවේ අපහසුතාවයෙන්.

"නෑ නෑ...මේක මේ ආදිත්‍ය ගේ.කෝ දෙන්න ඕක මට" අසේලි එහෙම කියන ගමන්ම ආදිත්‍ය ගේ එක එයාගේ අතට දීලා දෙනුවන් ගෙනාපු සීත කබාය ඇදගත්තා.

"හරිද කට්ටියම....යමුද" මිගාර කෑගැහුවේ කට්ටියව ගනන් කරගන්න ගමන්.

"ආදි....යමූද" එතකොටම එතනට ආපු දේදුණු ආදිත්‍යගෙන් අහද්දි අසේලි අහක බලාගත්තා.

" අසේලි අපිත් යමු ඉස්සරහට.අන්න නෙහාරා ඔයා එනකම් බලන් ඉන්නවා" එතකොටම දෙනුවන් කිව්වේ ඉස්සරහ ඉදන් අත වනන නෙහාරාව පෙන්නන ගමන්.

"යමු යමු එතනට" අසේලි එහෙම කියාගෙන ඉස්සර වුනේ ආදිත්‍ය වයි දේදුණු වයි මග අරින්න හිතාගෙන.

******************************************
මේක ඇත්තටම ඊයේ කොටස.ඩේටා ඉවර වෙලා අප්ලෝඩ් කරගන්න බැරුවයි හිටියේ.අද තාත්තා ගෙදර එනකම්ම ඉන්න වුනා ඩේටා දාගන්න මොකද පාස්වර්ඩ් දන්නේ එයා විතරක් නිසා 

හෙටත් කොටසක් ගේනවා

ආදරෙන් ඉන්න..❤️

2 comments:

  1. මං ආසා නෑ දේදුනුට. අසේලිත් මොනවත් නොදන්න බබා වගේ රඟපාලා දැන් එනවා.
    K නැන්දා

    ReplyDelete
    Replies
    1. අසේලි ට කවදාවත් ආදිත්‍ය ආදරෙයි කියලා නෑ නේ.එකයි ප්‍රශ්නේ.අසේලි කැමැති නෑ එයාගේ හිතට දැනෙන දේ ආදිත්‍ය ට කෙලින්ම පෙන්නන්න.අසේලි හැගිම් කෙලින්ම පෙන්නන කෙනෙක් නෙවෙයි.එත් දේදුණු ඊට වෙනස්.එයා නුවරින් කොලබට ඇවිත් ආදරේ හොයන කෙල්ලෙක්.විසල් ලග දේදුණු හොයන ආදරේ නෑ .එකයි එයා ආදිත්‍ය ට කිට්ටු වෙන්නේ. අසේලි ට කවදාවත් ආදිත්‍ය ආදරෙයි කියලා නෑ නේ.එකයි ප්‍රශ්නේ.අසේලි කැමැති නෑ එයාගේ හිතට දැනෙන දේ ආදිත්‍ය ට කෙලින්ම පෙන්නන්න.අසේලි හැගිම් කෙලින්ම පෙන්නන කෙනෙක් නෙවෙයි.එත් දේදුණු ඊට වෙනස්.එයා නුවරින් කොලබට ඇවිත් ආදරේ හොයන කෙල්ලෙක්.විසල් ලග දේදුණු හොයන ආදරේ නෑ .එකයි එයා ආදිත්‍ය ට කිට්ටු වෙන්නේ. පොඩි කාලේ ඉදන් හුරතල් වෙලා හැදිලා දේදුණු හිතනවා එයා කැමති දේ එයාට ලැබෙන්න ඕනේ කියලා.ඒ වගේම එයා හිතන දේවල් හරි කියලා.මේ චරිත දෙකම මං දන්න අදුරන චරිත වලින් තමයි නිර්මාණය කරේ.

      Delete