Sunday, June 24, 2018

ආදරණීය නපුරා - තිස් එක් වන කොටස


පහුවදා උදේ සජිනි නැගිටිනකොට සහන් ඇදේ හිටියේ නෑ.ඇදෙන් බැහැපු සජිනි සාලෙට ගියේ සහන් කොහෙද බලන්න.එත් සහන් සාලේ හිටියෙත් නෑ.සමහර දවසට සහන් උදේ ඇවිදින්න යන නිසා එහෙනම් එහෙම යන්න ඇති කියලා හිතුව සජිනි උදේට උයන්න ගත්තා.නදිනිගේ සද්දයක් නැති නිසා සජිනි හිතුවේ නදිනි නිදි කියලා.ඒ නිසා සජිනි නදිනිව ඇහැරවන්න ගියෙත් නෑ.

සජිනි කුස්සියේ උය උය ඉන්නකොට තමයි ඉස්සරහ දොර ඇරෙනවා ඇහුනේ.ඒත් එක්කම සාලෙන් කවුරු හරි කතා කරන සද්ද ඇහෙන්න ගත්තා.

"මං වොශ් එකක් දාගෙන එන්නම්" ඒ සහන් 

"සජිනි නැගිටලද?" ඒ ඇහුනේ නදිනිගේ කටහඩ.නදිනිත් එහෙනම් නැගිටලා වෙන්න ඇති කියලා සජිනිට හිතුනා 

"ඔව් මං හිතන්නේ....සජිනි...." සහන් කතා කරා 

"මං කුස්සියේ...." සජිනි සාලෙට නොගියේ එතකොටත් උයන්න පරක්කු වෙලා නිසා 

"මං ගිහින් බලන්නම්...." නදිනි කියනවා ඇහුනා 

ටිකකින් කුස්සියට එබුනේ නදිනි.ට්‍රැක් බොටමට සුදූ ටී ශර්ට් එකක් ඇදන් හිටපු නදිනි ඇත්තටම හරිම ලස්සනයි 

"ඔයා උයනවා නේද? මේ අපි පාන් ගෙනාවා උදේට.ඔයාට කියන්න අමතක වුනානේ.ෆෝන් අරන් ගියේ නෑ" නදිනිගේ කතාවට සජිනිට උඩ බිම බැලුනා 

"ඔයා කොහෙද ගියේ?"

"ඇවිදින්න ගියා...මං උදේ නැගිටලා එනකොට සහන් ඇවිදින්න යන්න හදනවා.මටත් යමු කිව්වා"නදිනි කිව්වේ ශීතකරණය ලගට යන ගමන්.නදිනිගේ කතාවට සජිනිගේ හිත කීරී ගැහිලා ගියා.ඇවිදින්න යනවා තියා සහන් ගෙදරින් යනකොට කියලා යන්නෙත් ඉදලා හිටලා දවසක.

"ඔයා උදේට කන්න හදලද? නැත්තම් මං බටර් ගාලා පාන් ලෑස්ති කරන්නද?" නදිනි ඇහුවේ ශීතකරණෙන් බටර් එක ගන්න ගමන් 

"මං නූඩ්ලස් හදන්න හිතුවේ නම්, එහෙනම් පාන් කමු" සජිනි කිව්වේ නූඩ්ලස් පැකට් එක ආපහු ඇතුලට දාන ගමන් 

"හරි එහෙනම් මං පාන් ලෑස්ති කරන්නම්.අපිට රෑට පුලුවන්නේ නේද නූඩ්ලස් කන්න" 

"හ්ම්..එහෙම කරමු" සජිනි කිව්වේ ලිප බලන ගමන් 

"පාන් නම් හරි....මොනවා හරි කරලා දෙන්න දෙයක් තියෙනවද සජිනි" නදිනි ඇහුවේ පාන් මේසෙන් තියලා ඇවිත්.

"නෑ නදිනි...මේ සම්බොලේ හදන්න විතරයි තියෙන්නේ.මං ඒක කරගන්නම්"

"එහෙනම් මං නාගෙන එන්නම්කෝ" එහෙම කියලා නදිනි යනකොට සජිනිට දැනුනේ හරි අසරණ බවක්.නදිනි කොච්චර හොද වුනත් නදිනි ආපු වෙලාවේ ඉදන් තමන් පිට කෙනෙක් කියලා සජිනිට දැනෙන්න අරන් තිබුනේ.

උදේ කෑම මේසෙත් නදිනි ලෑස්ති කරපු නිසා සජිනිට තිබුනේ සහන්ට ගෙනියන්න දවල් කෑම එක ලෑස්ති කරන්න විතරයි.සජිනි සහන්ගේ දවල් කෑම එක අරන් එනකොටත් නදිනියි සහනුයි මේසේ වාඩි වෙලා උදේ කෑම කනවා.

දෙන්නා හරි සන්තොසෙන් කතා කර කර කනවා දැක්කම සජිනිට දුක හිතුනා තමන් ගැනම.සහනුයි සජිනියි කවදාවත් ඔහොම මේසේ ඉදන් වාඩි වෙලා කතා කර කර කෑම කාලා නෑ.සජිනි අහල දේකට සහන් උත්තර දුන්නොත් ඇරෙන්න සහන් කතා කරන්නෙත් එයාට ඕනේ නම් විතරයිනේ.

"ඔයා කන්නේ නැද්ද සජිනි?" නදිනි ඇහුවේ සහන්ගේ කෑම එක අරන් ආපු සජිනිගෙන් 

"පස්සෙ කන්නම් නදිනි,ඔයාලා කන්නකෝ" සජිනි උත්තර දුන්නේ දුකෙන්.ඒ දෙන්නම උදේ නාලා නිසා හරි පිරිසිදුයි ලස්සනයි.ඒත් සජිනි තාමත් රෑ නිදාගත්ත ඇදුමෙන්.නැගිටලා කලබලේට උයලා නිසා දාඩියත් දාලා කොන්ඩෙත් අවුල් වෙලා.

'ඒ දෙන්නා නම් හැම අතින්ම ගැලපෙනවා.මං නාලා මේකප් දැම්මත් නදිනි තරම් ලස්සන නෑ.සහන් ඒ නිසා වෙන්න ඇති නදිනිට එච්චරම ආදරේ' සජිනි හිතුවේ දුකෙන්.

සහන්ලා කෑම කනකම් සජිනි ගේ අතු ගාලා අස් කරන්න ගත්තා.

"මං එහෙනම් යනවා නදිනි,කම්මැලි නම් මගේ ලැප් එකත් ඇති කාමරේ.අරන් මොනවා හරි බලන්න"

"හරි හරි මට මොන පාලුවක්ද සජිනි ඉන්නවනේ" නදිනි හිනා වෙලා කියද්දි සහන් බැලුවේ සජිනි දිහා.සජිනි ඒ දිහා බලන්නේ නැතුව හිටියේ ඇඩේවි කියලා බයට

"හරි එහෙනම් මං යනවා" එහෙම කියාගෙන සහන් ගියාට පස්සේ නදිනි දිහා බලන්නෙවත් නැතුව සජිනි කෙලින්ම ගියේ කාමරේට.

සහන්ගෙයි සජිනිගෙයි ප්‍රශ්නයක් තියෙනවා කියලා නදිනිට තේරුනේ ඊයේ ආපු වෙලාවෙමයි.ඒත් එයාලගේ පවුල් ප්‍රශ්න ගැන කතා කරන එක හරි නැති නිසා නදිනි ඒ ගැන කතා කරන්න හිතුවේ නෑ.ඒ නිසා නදිනි සජිනි තියලා ගියපු කොස්ස අරගෙන ගේ අතුගාලා අස් කරන්න ගත්තා.

කාමරේට ආපු සජිනි කෙලින්ම ගියේ නාන කාමරේට.අඩන්න ඕනේ වුනත් සජිනි ඇඩුවේ නෑ.පැයක් විතරම නාන කාමරේ හිටපු සජිනි එළියට ආවේ හිත හදාගෙන.නදිනි මෙහේ ඉන්නකම් මේ වෙන දේවල් ඉවසගෙන ඉන්නවා කියලා සජිනි තීරණයක් අරන් තිබ්බේ.

'සැරින් සැරේට අඩන්න බෑනේ.අනික මොකටද අඩන්නේ? අඩන්න දෙයක් වෙලා නෑනේ'සජිනි කල්පනා කරා.

සජිනි ආයෙත් සාලෙට එද්දි නදිනි බැල්කනියේ කල්පනා කරනවා.සජිනි හෙමීට එතනට ගියා.

"මොකද කල්පනාව"සජිනි අහද්දි නදිනි උත්සහ කරේ ඇස් වල තිබ්බ කදුලු පිහිදගන්න 

"ආ මේ ඉන්නේ..මං මේ බලන්න එන්න හැදුවේ? පැයක් මොනා කරාද අනේ" නදිනි හිනා වෙන්න හැදුවත් ඇස් වල නම් තාමත් කදුලු තිබ්බා.

"මොකද මේ අඩන්නේ?" සජිනි ඇහුවේ ඇත්තටම දුකෙන් 

"නෑ අනේ මුකුත් නෑ"

"මේ මෙහෙ ඉන්නකම් අඩන්න බෑ..අපි ඉන්නවනේ....ඔයාව හස්බන්ඩ්ට බාර දීලා මිසක් මෙහෙන් යවන්නේ නෑ" සජිනිගේ කතාවට නදිනි හිනා වුනා 

"හරි හරි..ආයේ අඩන්නේ නෑ.කෝ ඔයා තාම කෑවෙත් නෑ නේද? යමු යමු කමු"

"ගේ අතු ගාලා ඉවර කරෙත් නෑ අනේ"

"මං අතු ගෑවා...ඔයා දැන් යමුකෝ කන්න.මං ඉන්නම් ඔයා කනකම්" නදිනි කිව්වේ සජිනිගේ අතින් අදින ගමන් .

එදා දවසම සජිනිට පාලුවක් තිබුනේ නැත්තේ නදිනි හිටපු නිසා.ඉස්කෝලේ කාලේ විස්තරයි පරණ යාලුවන්ගේ විස්තරයි කතා කර කර හිටපු නිසා දවස යනවා තේරුනේ නෑ.

හවස දෙන්නා එක්ක නූඩ්ලස් හදන්න ලෑස්ති වෙනකොටමයි සහන් ගෙදර ආවේ 

"ආ මේ දෙන්නා උයනවා වගේ" සහන් කුස්සියට එබුනෙම එහෙම කියාගෙන.

"ඔව් අපි නූඩ්ල්ස් හදනවා නේද සජිනි?" සජිනි උත්තරයක් දුන්නේ නැති තැන නදිනි කතා කරා 

"ශා...ශෝක්නේ..හදලා තියන්න එහෙනම්.මං නාගෙන එන්නම්" 

සහන් ගියාට පස්සේ සජිනි පළතුරු යුශ එකක් ශීතකරණයෙන් ගත්තේ සහන්ට දෙන්න කියලා.ඒක වීදුරුවකට දාපු සජිනි නදිනිට කතා කරා 

"නදිනි මේක සහන්ට ගිහින් දෙනවද?" සජිනි නදිනිට ගෙනියන්න කිව්වේ සහන්ගේ මූන බලන්න බැරිකමක් හිතට දැනුන නිසා.උදේ සිදුවීම් තාමත් සජිනිගේ හිතට වද දුන්නා.

"අහ් හා..." නදිනිත් වැඩේ බාරගත්තේ සජිනිට බෑ කියන එක හරි නැති නිසා 

"මෙන්න..." නදිනි ගිහින් සහන්ට පළතුරු යුශ එක දෙද්දී සහන් මැච් එකක් බලනවා.

"ලයිව් ද යන්නේ?" නදිනිත් එතනම වාඩි වුනේ එයත් මැච් පිස්සියෙක් නිසා 

"ඔව්..දැන් පටන් ගත්තේ..ඒකනේ මං කලින් ආවේ"

"අනේ අනේ කියන ලස්සන විතරක්..වෙනදට මීට වඩා පරක්කු වෙනවද?'

"එහෙමත් නෑ.අද සිකුරාදනේ.සිකුරාදට පරක්කු වෙනවා.ඒ නිසා අද විනාඩි 20ක් කලින් පැන්න මං" සහන් හිනා වෙවි කියද්දි නදිනිටත් හිනා ගියා 

"හොරට පැනලා මදිවට ඒක කියන ලස්සන"

"වැරදි වැඩකට නෙවෙයිනේ..මෙන්න මේක අරන් යන්න.මේ ගෑනු නම් ඔක්කොම එකයි" සහන් බීලා ඉවර වුන වීදුරුව නදිනිට දුන්නා 

මේ මුලු කතාවම සජිනි කුස්සියේ ඉදන් අහගෙනයි හිටියේ 

'අනේ සහන් මාත් එක්කත් මේ තරම් නිදහසේ කතා කරනවා නම්,හිනා වෙනවා නම් කොච්චර දෙයක්ද? මං කරපු පවක්ද කොහේ මේ' සජිනිට හිතුනා 

රෑ කෑම කද්දිත් නදිනිටයි සහන්ටයි කතා කරන්න ඕනේ තරම් දේවල් තිබ්බේ දෙන්නම තොරතුරු තාක්ශන අංශයේ නිසා.සහන් අලුතෙන් කරන ව්‍යාපෘති ගැන දෙන්නා එක්ක කතා කරද්දි සජිනි තනියෙන් කෑම කෑවා.

'කුස්සියේ ඉදන් කෑවා නම් මීට වඩා හොදයි' සජිනි කන ගමන් කල්පනා කරා.

කෑම කාලා අස් කරලා නදිනිත් නිදාගන්න ගියාට පස්සෙයි සජිනි කාමරේට ආවේ.ඊයේ වගේම සජිනි කෙලින්ම නාන කාමරේට යන දිහා සහන් ඇදේ ඉදන් බලන් හිටියා.

'උදේ ඉදන් මූණ වත් බැලුවේ නෑ.හවසත් අහක බලාගෙන හිටියේ.ඒ පාර මොකටද දන්නෙ නෑ තරහ වෙලා තියෙන්නේ' 

'මං බැන්නෙත් නෑනේ..වෙන මොකක් හරි වැරැද්දක් වුනාද මගෙන්? නෑ එහෙම වෙන්නත් මං ගෙදර හිටියේ නෑනේ..දැන් ආවම අහන්න ඕනේ බලන්න' සහන් දිගටම කල්පනා කරේ සජිනි ඇයි කතා නොකරේ කියලා 

ටිකකින් සජිනි ඇවිත් පුරුදු විදියටම නිදා ගන්න ලෑස්ති වුනා.ඒත් අද සජිනි මුකුත්ම අහන්නේ නැතුව ඇදට නැගලා පුරුදු විදියටම සහන්ට පිටුපාලා ඇලවුනා.

ඒ දිහා ටිකක් බලන් හිටපු සහන් ලයිට් එකත් නිමලා ඇවිත් සජිනි ලගින් ඇලවුනා.

"මොකද වෙලා තියෙන්නේ" සහන් ඇහුවේ ටිකක් සැරෙන්.

"ඇයි?"

"ඔහොම ඉන්නේ?"

"කොහොමද ඉන්න ඕනේ?" 

"මොකක්ද සජිනි වෙලා තියෙන්නේ? දවසෙම මූණ නරක් කරගෙන.එක්කො වෙච්ච දෙයක් කියන්න ඕනේ.අනේ මන්දා මට නම් මේ ගෑනුන්ව තේරුම් ගන්න බෑ" සහන් තරහෙන් කියලා අනිත් පැත්ත හැරුනේ නිදා ගන්න 

'ඔව් මාව තමයි ඔයාට තේරෙන්නේ නැත්තෙ,නදිනි වුනා නම් හොදට තේරෙනවා'සජිනි හිතුවේ  කම්මුල දිගේ කදුලක් බේරිලා යද්දි'

*********************************************************************************

සමාවෙන්න ලමයි..ටිකක් පරක්කු වුනා...

ඔයාලගේ මැසේජ් ගොඩක් තිබ්බා.කතාව ලියන්න පරක්කු වෙන නිසයි රිප්ල්යි නොකරේ 

මැසේජ් වලට ස්තූතියි හැමෝටම 

හෙට හම්බෙමු 

ආදරෙන් ඉන්න 💖



4 comments:

  1. මට කියන්න තියෙන්නෙ කරුනාකරලා නදිනි go away තමයි

    ReplyDelete
  2. පුපුරන සුළුයි , පුපුරන්න ලඟයි

    ReplyDelete
    Replies
    1. පුපුරගෙනයි එන්නේ ;)

      Delete