Wednesday, April 15, 2020

වසන්තය සිහිනයක් - 02



'ඔව් ඇත්තමයි...ඒ එයාමයි...එයා ආපහු ඇවිත්...හිතාගන්නත් බැරි විදියට යන්න ගියපු එයා ආපහු ඇවිත්...' 

ඒ ඇස් එදා වගේමයි.තාමත් දිලිසෙනවා ඒත් ඒ දිලිසෙන්නේ වෙනදා වගේ කළු පාටට නෙවේ.අමුතුම අළු පාටක් ඒ ලස්සන කළු පාට වහගෙන.මට ඕන වුනේ ඒ ඇස් ලගට යන්න.ඒවා ඇතුලේ තියෙන්නේ මොනවද බලන්න.ඉස්සර වගේම.මං ඔහු ලගට යන්න පියවර තිබ්බේ ඒ ඇස් මගේ ඇස් මත්තෙම තියාගෙනමයි.ඒත් නොහිතපු මොහොතක ඔහු මගෙන් ඇස් මුදාගත්තා.

"සර්, සර්ගේ කැබ් එක ඇවිත්..." සංචාරක නිවහනේ ලිපිකාරිණිය වුනු රොෂෙල් ගේ කටහඩ මට ඈතින් ඇහෙද්දී ඔහු තවත් වරක් මොහොතකට මං දිහාවට නෙත් හෙලුවා.ඒ ඇස් මගේ ඇස් වලින් අල්ලගන්න ඉඩක් නොතියාම ඔහු එතනින් යන්න ගියා.ඔහු ගිය දෙසටම පියවර කිහිපයක් තැබූ මම ඔහු කුලී රථයේ නැග යන අයුරු බලා සිටියේ කිසිම හැගීමකින් තොරවමයි.

ඔහු රැගත් කුලී රථය ගල් ඇතුරූ පාර දිගේ සංචාරක නිවහනේ ගේට්ටු කණු අතරින් යන තෙක්ම බලා හිටපු විනාඩි ගණනාවක් ගෙවෙද්දී ලගින්ම ඇසුනු කටහඩක් මාව පියවි සිහියට ගෙනාවා.

"මිස්...මිස්..." රොෂෙල් මගේ ලග ඉදන් බලාගෙන හිටියේ පොත් ගොඩකුත් බදාගෙනමයි.

"ආ...ඇයි රොෂෙල් ?"

" මිස්ට සනීප නැද්ද? මුනත් රතු වෙලා වගේ" රොෂෙල් අහද්දී මං අපහසුවෙන් වුනත් හිනා වුනා.

"නෑ රොෂෙල් එහෙම එකක් නෑ.ඔයාට යතුර ඕනේ නේද?"

" ඔව් මිස්, මිස්ගේ රුම් එකත් ඇරලා ඕනේ මේ පොත් ටික තියන්න.මං ඊයේ ගිය මාසේ ඔක්කොම අකවුන්ට්ස් සෙට්ල් කරා"

"ආ...හොදයිනේ.අන්න යතුර ඇති රන්බණ්ඩා මාමා ලග එයාගෙන් ඉල්ලගන්න.කබඩ් එකේ යතුරත් එයා ලගම තමා ඇත්තේ.ඊයේ රෑ ගෙස්ට් කෙනෙක් ආපු නිසා එයා ගන්න ඇති "

" ආ.. මිස් ඒ ගෙස්ට් තමයි දැන් ගියේ" රොෂෙල් කියද්දී මගේ හදවතේ ගැස්ම ආයෙමත් වැඩි වුනා.ඒ හිතේ ගැස්මත් තියාගෙනම පිළිගැනීමේ කවුන්ටරයට අමුත්තන්ගේ නාමලේඛනය දිගේ ඇස් යවද්දී එකේ අන්තිම නම ලගින් මගේ ඇස් නැවතුනා.

" කැලුම් නිසංසල බණ්ඩාර " අවුරුදු 3කට පස්සේ මං ඒ නම කියෙව්වා.ඒ මං ආසම නම.හැමදාමත් ආසම කරන නම.ඔව් එයා නිසංසලයි පන්සලක් වගේ.හිතට දැනුනු දැනෙන එකම නම.එයාටම විතරක් ගැලපෙන නම

"පුංචි නෝනේ මෙන්න ලොකු නෝනාගේ කෑම එක" විමලා නැන්දා කියාගෙන එන හඩින් මං ඔලුව උස්සලා බැලුවා.

"ඇයි මැණිකේ මේ...මුනත් එක්ක රතු වෙලා..සනීප නැද්ද?" කෑම පිගානකුත් අතේ තියාගෙන විමලා නැන්දා ඇහුවේ මගේ නලලෙනුත් අතක් තියන ගමන්

"ඒක තමා නැන්දේ මාත් ඇහුවා මිස්ගෙන්" රොෂෙල් කියද්දී මං අමාරුවෙන් හිනා වුනා.

"ඔලුව ටිකක් කැක්කුමයි නැන්දේ.වෙන දෙයක් නෑඒ.කෝ දෙන්නකෝ කෑම ඒක.මං අම්මට කවලා එන්නම් "

"අනේ..මේ ඔලුව කැක්කුම් තියාගෙන ලොකු නෝනාට කවන්න ගියොත් ඔලුව කැක්කුම් වැඩි වෙයි.මැණිකේ ගිහින් ටිකක් ඇලවෙන්න.මං ලොකු නෝනාට කවන්නම්" විමලා නැන්දා කියද්දී මෙච්චර වෙලාවක් දරාගෙන හිටපු කදුළු බින්දුවක් කම්මල දිගේ බේරිලා ගියා.

"කමක් නැද්ද?" කදුළු බින්දුව අතින් පිහිදමින් මං අහද්දී විමලා නැන්දා මගේ ඔලුවට අතක් තිබ්බා.

"අනේ කමක් නෑ මැණිකේ.ලොකු නෝනා මොකෝ මාව නොදන්න එකක්ද? මං කවන්නම්.මැණිකේ කාමරේට ගිහින් ටිකක් ඇලවෙන්න" විමලා නැන්දට මුළු හිතින්ම ස්තුතිවන්ත වෙන ගමන් මං ආපහු හැරුනේ කාමරේට යන්න.මට ඕනේ වුනේ ටිකක් තනි වෙන්න.එත් පියගැට පෙළ ලග වැටිලා තිබ්බ කොලේ මාව මොහොතකට එතනම නැවැත්තුවා.

'මට...මට හිතන්න තිබුනා ටිකක්.මේ වැහි කාලේ එක පාරටම වැස්ස නවතිද්දී, අවුරුදු දෙකකින් මලක් නාපු එයා ගෙනත් දීපු රෝස පැලේ මල පිපෙද්දී, කාලෙකින් එලියට නොගත්ත මගේ මතක වලින් මේ කොලේ එලියේ වැටිලා තියෙද්දී...මට හිතන්න තිබුනා මොකක් හරි වෙනවා කියලා..ඔව් මට මේක දැනගෙන ඉන්න තිබුනා...' මගේ හිත දෝංකාර දෙද්දී මං බිම වැටිලා තිබුණු කොලය අතට ගත්තා.

කාමරේට ආපු මගේ ඇස් ගියේ මගේ අල්මාරියට.වසර ගානකින් අල්ලලාවත් නැති එත් මගේ මුළු හදවතම පුරවපු දිනපොත් ගොන්නක් අල්මාරියේ පිරිලා තිබුනා.ඒත් මගේ ඇස් ගියේ ඒ අවුරුද්දට....

2009 අවුරුද්ද.... මේ හැමදේම පටන් ගත්ත අවුරුද්ද.හිතුවෙවත් නැති වෙලාවක එයා මගේ හිතට ආපු අවුරුද්ද..

දිනපොතේ දවස් පෙරලිලා ගියේ මාර්තු 22 වෙනකම්.ඔව් එයා තමයි දවස.මගේ උපන්දිනය.එයා මුලින්ම මගේ මතකයට ආපු දවස...

ඒ මගේ 18 වෙනි උපන්දිනය...

හැමදාම උදේ පාන්දරම ටියුෂන් එකට පේලි අල්ලගන්න යන මම පරක්කු වුනු එකම දවස...

"කෝ කාර්ඩ් එක..." කාර්ඩ් මාර්ක් කරන අයියා අහද්දීත් මං කලබලේ මගේ බෑග් එක අවුස්සනවා.

"මගේ පර්ස් එක..පර්ස් එක හොයාගන්න නෑ" මං බිදුණු හඩකින් කිව්වේ තවත් බෑග් එක ඇතුලට එබෙන ගමන්.

"හොයාගන්න නෑ නෙවේ.ගෙනැල්ලා නැතුව ඇති.කෝ එහාට වෙලා හොයනවා ඕක මේ තව ළමයි පෝලිමේ..." ඔහුගේ සැරෙන් කියද්දී මං පෝලිමෙන් එහාට වුනේ තරමක නොසන්සුන්කමකින්

මගේ හිතට ලොකු බයක් දැනෙද්දී මං අත්ඔර්ලොසුව දිහාට බැල්මක් හෙලුවා.ඒ වෙද්දීත් වෙලාව උදේ 8.10යි.සර් ඇවිත් ද දන්නෙත් නෑ.ආයේ ගෙදර ගිහින් එන්නත් වෙලා නෑ.අනේ... අදම මේක වුනානේ..මං මටම හිතින් බැනගන්න ගමන් කාර්ඩ් මාර්ක් කරන අයියා දිහා හොරෙන් බැලුවා.

"අයියේ අනේ මං කාර්ඩ් එක ගෙනත් නෑ.මං මොකද කරන්නේ.ආපහු යන්න වෙනවද ?" පුළුවන් උපරිම දුක්ඛිත ස්වභාවයෙන් මං අහද්දී අයියා රැව්වා.

"නැතුව ඉතින්.කාර්ඩ් නැතුව පන්තියට ගන්න එපා කියලා තියෙන්නේ .යන්න යන්න.දැන් සර් පන්තිය පටන් අරගෙනත් ඇති" ඔහුගේ සැරපරුෂ වදන් මගේ හිතට ගෙනාවේ ලොකු වේදනාවක්.

'හයියෝ අනේ උපන්දිනේ දවසෙම වෙච්ච දේ..දැන් මේ ගෙනාපු කේක් දෙන්නේ කාටද මං? හපෝ මගෙත් ඔලුව කොහේ තියෙනවද මන්දා.පර්ස් එක ගෙදර තියලා පන්ති එන්නේ මොන මෝඩයෝද?' මං ගැනම දැනෙන තරහෙන් ටියුෂන් පන්ති ගොඩනැගිල්ලෙන් පහලට බහින්න ගත්තත් එකපාර ඇහුනු කටහඩක් මාව එතනම නැවැත්තුවා.

"තරුල්‍යා..." ඒ ඇහුනු කටහඩ දිගේ ඔලුව උස්සලා බලපු මගේ ඇස් ඉර එළියකින් ආලෝකමත් වුනා.ඉර එලිය නිසා බොද වෙලා පේන ජායාව හදුනාගන්න උත්සහ කරන ගමන් මං ඇස් මදක්  ආවරණය කරගත්තේ ඉර එළියෙන් බේරෙන්න.එත් ඒ ජායාව මට මදක් ලං වෙනවත්  එක්කම මුනට වැටුණු  තද හිරු එලිය මැකිලා ගියා.

ඒත් එක්කම පෙනුණු නළලට වැටුණු කෙස් රොදත් ඒ දිලිසෙන කළු ඇස් දෙකත් එක මොහොතකට මගේ සිතුවිලි හොරකම් කරා.

"තරුල්‍යා... ප්‍රශ්නයක්ද ?" ඒ කටහඩ ආයෙත් කතා කරද්දී මං ඔහු සමග හිනා වුනා.

"මේ...කාර්ඩ් එක ගෙනත් නෑ මම" මං කිව්වේ ඔහුගේ ඇස් මග අරින ගමන්.ඔහුගේ ඇස් දිහා කෙලින් බලන්න බැරි මොකක්දෝ බයක් මගේ හිතට දැනෙමින් තිබ්බා.

"ඉතින් මේ ගෙදර යනවද ?" ඔහු අහද්දී මං බිම බලාගෙනම ඔලුව වැනුවා.

"අලුත් කාර්ඩ් එකකින් යන්න පුළුවන් පන්තියට"

"මං ලග සල්ලි නෑ" මං හෙමිට මුමුනද්දී ඔහුගේ ඒ දිලිසෙන දෑස් මගේ දිහා බැලුවේ අමුතුම විදියකට.

"මං ලග තියෙනවා.මං අරන් දෙන්නම්.යමු "

"අනේ...ඒත්...එපා..එකට කමක් නෑ." මෙච්චර වෙලා ඔහුගේ දෑස් මග ඇරපු මං ඔහු දිහා කෙලින් බැලුවා.ඒ ඇස් ඉර එලියටවත් වඩා සැරට දිලිසෙමින් තිබුනා.

"ඇයි මොකද? මට සල්ලි ආයේ ගෙනත් දෙන්න.මේ පින්කමක් නෙවේ කරන්නේ " ඔහු තරමක අමනාපෙකින් වගේ කියද්දී මට තවත් එකට විරුද්ද වෙන්න පුළුවන්කමක් තිබුනේ නෑ.

එතනින් මට පන්ති කාඩ්පත අරන් දීපු ඔහු ඔහුගේ පන්තිය දෙසට ඇති කොරිඩෝව පැත්තට හැරුනා.ඒ වෙද්දීත් ඔහුගේ පන්තිය පටන් ගෙන තිබුනා වුනත් මට ආයෙත් ඔහුට කතා කරන්න ඕනේ වුනා.

"කැලුම්..." ඔහු හැරිලා බැලුවේ ප්‍රශ්නාර්තනයක් මුහුණේ තියාගෙනමයි.

"මං හෙට ඉස්කෝලෙට ගේන්නම් සල්ලි"

" මං හෙට ඉස්කෝලේ නෑ.ක්‍රිකට් ප්‍රැක්ටිස්.හවස පන්තියට ගෙන්න" එහෙම කියපු ඔහු පන්තිය තුලින් අතුරුදහන් වුනේ මට හිතන්නවත් වෙලාවක් නොතියාමයි.

'ඒත් හෙට මට කෙමිස්ට්‍රි පන්තිනේ තියෙන්නේ.එකත් මෙතන නෙවේ තියෙන්නේ.එයා කොමර්ස් නේ කරන්නේ.කොහොමද හවස පන්තියේ දෙන්නේ" ප්‍රශ්න ගොඩක් හිත ඇතුලේ නලියද්දි මං උද පන්තියට යන්න පඩිපෙළ නැගපු විදිය අදටත් මගේ හිතට ගෙනාවේ හිනාවක්.

"මං ඒ කාලේ පුදුම මොඩියක් තමයි " මටම කියාගත්ත මම දිනපොතේ මාර්තු 22 දින  සටහන බැලුවා.

' කැලුම් මට අද උදව් නොකරා නම් මං අද එළියේ...ඒත් මට එයාට බර්ත් ඩේ කේක් කෑල්ලක් වත් දෙන්න බැරි වුනානේ..හෙට එයා සල්ලි ගෙන්න කිව්වනේ.කේක් කෑල්ලකුත් අරගෙනම යන්න ඕනේ'

කැලුම් ගැන මුල්ම සටහන ලියවුනු ඒ දින සටහන මාව අතීතයේ දවසක අතරමන් කරා.

"එක්ස්කියුස් මි මිස්..." රොෂෙල් ගේ කටහඩට මං ඔලුව උස්සලා බැලුවා.

"මිස් අර ඊයේ ආපු ගෙස්ට් මිස්ව අහනවා "රොෂෙල් ගේ වදන් මාව තිගැස්සුවා.

"කවුද?" මං ඇහුවේ ගැහෙන හදවතින්

"අර මිස් උදේ කැබ් එකකින් ගියේ.කැලුම් නිසංසල බණ්ඩාර"  රොෂෙල් ගේ මුවින් ඔහුගේ නම පිටවෙනවත් එක්කම මං වාඩි වෙලා හිටපු පුටුවෙන් නැගිට්ටුනා.

"ඇයි ඇයි ඒ ? " මගේ කටහඩ වෙව්ලන්න අරන් තිබුනා.

"දන්නේ නෑ මිස්.ඒ සර් පහල බලාගෙන ඉන්නවා.මිස්ට අමාරු නම් මං කියන්නම්.පස්සේ කතා කරන්න කියලා" රොෂෙල් කිව්වේ මං දිහා පරීක්ෂාවෙන් බලන ගමන්.හැමදාමත් ශක්තිමත්ව හිටපු මම දුර්වල වීම ඔවුන්ට පුදුමයක් වුනාට සැකයක් නෑ.

 "නෑ නෑ...මං එනවා.මං එනවා.ඉන්න කියන්න" කලබලෙන් එහෙම කියපු මම කන්නාඩියට නැබුරු වුනා.මේ තරම් ඉක්මනට මුණ සොදපු දවසක්වත් කොන්ඩේ පිරපු දවසක්වත් මෑත අතීතයේ දවසක නොතිබුණු බව මතක් කරමින්ම මං කලබලයේ පියගැට පෙළ බහින්න ගත්තා.

ඒත් පියගැට පෙළ පහලට යනවත් එක්කම මගේ වේගය අඩු වුනා.හදවත වඩාත් වේගයෙන් ගැහෙන්න ගත්තා.පියගැට පෙළ පාමුල ඔහු ජංගම දුරකථනය දිහා බලාගෙන හිටගෙන හිටියා.

'ටිකක් මහත් වෙලා.චුට්ටක් සුදු වෙලා..' මගේ හිත කියන්න ගත්තා.

ඒත් එක්කම නොහිතපු මොහොතක ඔහු දෑස් ඉහලට එසෙව්වා.ඒ දෑස් එදා පන්ති ගොඩනැගිල්ලේදී වගේම දිලිසෙමින් තිබුනා..

***********************************************************************************************

ආදරේ පාට රතු කියලා හැමෝම කියනවා... එතකොට පාට නොපෙනෙන මිනිස්සු ආදරේ කරන්නේ නැද්ද? මං හැමදාමත් ඒක හිතුවා.ඒකට උත්තරේ මට හොයලා දුන්නේ කැලුම්

අපේ ආදරේට එක පාටක් තිබුනේ නෑ...

තිබුනේ ලස්සන පාට ගොඩක එකතුවක්.... හදවත ඒ පාටින් පිරිලා තිබුනා... 💖

2 comments: