Saturday, April 18, 2020

වසන්තය සිහිනයක් - 05


වසර 3කට පසු කැලුම් දුටු දින රෑ මට නින්දක් නොවිය.පරණ දිනපොත් අතරේ ඔහුගේ මතකයන් මට මුළු රෑ පුරා මට වද දෙන්නට විය.

එදා කැලුම් දුටු විට වැඩි වූ හද ගැස්ම අදද එලෙසිම ඔහු හමුවේ වැඩි වන ආකාරය පුදුම සහගතය.ඔහු මට පන්ති කාර්ඩ් එක අරන් දුන් දිනයේ සිට මා ඔහු දෙස වැඩිපුර බැලීමට පටන් ගත් අතර ඔහුද මගේ දෙස දෑස් යොමන බව මට වැටහෙන විට මගේ හදවත අමුතුම සතුටකින් පිරී යන්නට විය.

2009 අප්‍රේල් 4 

"විසල් අද අපේ ගෙදර ආවා.එයා අහනවා ලෝචන එක්ක යාලුයි ද කියලා.පිස්සුද මන්දා.ඔච්චර තේරෙන්නේ නැද්ද .විසල් එහෙම අහන්නේ එයාලා හිතන් ඉන්නේ මම ලෝචන එක්ක යාලුයි කියලද දන්නේ නෑ.අනේ ඒකද එතකොට අද කැලුම් මං දිහා හරියට නොබැලුවේ.හයියෝ...මේ ඔක්කොම අර මගුලේ ලෝචන නිසා තමා.ආයේ කතා කරන්නේ නෑ.හිටපන්කෝ මං හොද දෙකක් කියනවා කතා කරන්න අවොත්" 

විසල් අප නිවසට පැමිණීම බොහෝ සාමාන්‍ය කරුණක් විය.පවුලේ එකම ළමයා වූ මා තම දෑස් මෙන් පරිස්සම් කල තාත්තා විශ්වාස කල පිරිමි ළමුන් කිහිප දෙනාගෙන් කෙනෙකු විසල් විය.එදා විසල් මගෙන් ලෝචන ගැන ඇසු දිනය අදද මගේ මතකයේ ඇත.

"දැන් උබ කියන්නේ ලෝචන ගැන එහෙම දෙයක් උබේ හිතේ නෑ කියලද ?" විසල් ඇසුවේ උනන්දුවෙනි 

"නෑ නෑ දෙයියනේ..පිස්සුද? ලෝචන මට වඩා බාලත් එක්ක.එයා නොවැම්බර් බර්ත් ඩේ එක.මේ අපේ මාමගේ පුතාගේ.මගේ හොද යාලුවෙක් ඉතින්.වෙන දෙයක් නෑ " 

"ආ...එහෙනම් කමක් නෑ" සැනසීමකින් වගේ එහෙම කියපු විසල් පුටුවේ හොදට පිටිපස්සට හේත්තු වුනා.

"මොකෝ ඉතින් මේ අහන්නේ ඕවා?" මම ඇහුවේ කුතුහලෙන්.කැලුම් මේ ගැන අහන්න විසල්ව එව්වද කියලත් මේ වෙලාවේ මට හිතෙමින් තිබුනා.

"ඇයි බන් මට එහෙම අහන්න බැරිද? උබ මගේ බොක්කනේ"

"පුළුවන් පුළුවන්.මං මේ බැලුවේ එක පාර මොකද කියලා"

"නෑ බන් එදා උබ බිග් මැච් බලන්න ආවේ ඌ එක්කනේ ඒකයි නිකමට හිතිලා ඇහුවේ"

"ආ...." මම කිව්වේ මගේ තේ එක අතට ගන්න ගමන්මයි 

"ඒක නෙවේ බන් හදිස්සියෙවත් කවුරුහරි කොල්ලෙක් උබෙන් කැමැත්ත ඇහුවොත් උබ කැමති වෙනොද?" ඔහුගේ මේ ප්‍රශ්න ඇසීම මහා අරුම පුදුමය 

"කවුද අහන්නේ ඉතින්?"

" කවුරුහරි කොල්ලෙක්...නිකමට හිතමු මේ මම කියලා..හා උබ මොකෝ කියන්නේ?" විසල් එහෙම අහද්දී පුදුමයෙන් මගේ දෑස් විසල් වුනා.මගේ ඇස් වල පුදුමය දැකලදෝ මන්දා මම උත්තරයක් දෙන්න කලින්ම විසල් ආයෙමත් කතා කරා.

"මම නෙවේ මම කියන්නේ...මම කියන්නේ නිකමට හිතන්න කියලා.නැතුව මේ මට උබ එක්ක යාලු වෙන්න ඕනෙකමක් නෑ" ඔහු එය කියූ නොසන්සුන් විලාසයට මට ඉබේටම හිනාවක් ගියා.

"මම බෑ කියනවා" මම ඒක කිව්වේ සැහැල්ලුවෙන් 

"ඇයි ඒ ? කැමති නෑ කොල්ලෙක් එක්ක සෙට් වෙන්න.අනේ බොරු නොකිය හිටපන් "

"ඉස්කෝලේ කාලේ මම කාත් එක්කවත් යාලු වෙන්නේ නෑ විසල්.ඒක මම අම්මට වුනු පොරොන්දුවක්.එංගලන්තේ කුමාරයා ඇවිත් ඇහුවත් ඒක තමා උත්තරේ" මගේ එම පිළිතුරෙන් සෑහීමකට පත් විසල් නිශ්ශබ්ද වුනා.

එදා විසල් ඒ අහපු ප්‍රශ්න කැලුම් අහන්න කියපුවද කියන ප්‍රශ්නේ මට නිතරම තිබුනා.ඒත් කැලුම් වත් විසල් වත් ඒකට කවදාවත් හරි උත්තරයක් දුන්නේ නෑ.

දිනපොතේ කැලුම් ගැන වූ කෙටි සටහන් ගොඩකට පස්සේ මගේ ඇස් ගියේ විශේෂ සටහනකට.

2009 නොවැම්බර් 24 

"අද මම මගේ කුඩේ කැලුම් ට දුන්නා...ඒ ඇස් දිලිසුනා...."

එපමණක් ලියා තිබුණු ඒ කෙටි සටහන මගේ මුවගට සිනාවක් ගෙනාවා.අද වගේම තාමත් ඒ දවස මට මතකයි.

එදා වැහි සමයක මහා අදුරක් අවට වසාගෙන තිබුණු හැන්දෑවක්.ජීව විද්‍යා පන්තිය අවසන් වෙන්න වෙනදාටත් වඩා පරක්කු වුනේ මගේ හිත නොසන්සුන් කරමින්.සවස් වන විට නිවසට යන පාර පාලුවට යාමටත් වඩා එදා මගේ මිතුරියන් දෙදෙනාම පන්ති නොපැමිණිමත් විසල්ගේ නිවසේ අය වන්දනා චාරිකාවක යාම නිසා විසල් පන්ති නොපැමිණිමත් මාව අසරණ කරලා තිබුනා.

"උබ දැන් කොහොමද යන්නේ" නිමාෂා අහද්දී මම ඔලුවේ වැනුවේ ඒ අසරනකමින්මයි 

"යනවා ඉතින් පයින්.මොනවා කරන්නද?" 

"තනියම?"

"වෙන කවුරුවත් නෑනේ ඒ පාරේ යන අය" මම එසේ කියද්දී නිමාෂා මම දිහා කරදරයෙන් වගේ බලන් හිටියා.

"බය වෙන්න එපා අනේ.මම සුටුස් ගාලා යන්නම්" මම හිනා වෙන්න උත්සහ කරමින් කිව්වේ ඇයත් මා නිසා කරදර වෙන බව පෙනුණු නිසා.

"අනේ මන්දා.එහෙනම් ඉක්මනට පලයන්.කුඩයක් තියෙනවනේ නේද? ගිහින් මට කෝල් එකක් දීපන්" නිමාෂා එසේ කියමින් නික්මෙද්දී මම හැකි ඉක්මනින් නිවාස කරා යන්න පිටත් වුනා.

එක් මාර්ග සන්දියක් වන තුරු ළමුන් බොහොමයක් මා සමග ගමන් කරන නමුත් අපේ නිවසට යන පාර කදුකර පාරක් වීම නිසා නිවාස පිහිටා තිබුනේ ඉතා අඩුවෙනි.ඒ පාරේ සම වයස් ළමුන් ප්‍රමාණය සීමිත වූ අතර පාර කෑලෑ ප්‍රදේශ වලින් බහුල පාලු පාරක් විය.එසේ හෙයින් සවස් වන විට තනියම ගමන් නොකරන සේ වැඩිහිටියන්ගෙන් කොපමණ අවවාද ලැබී තිබුනද මෙවැනි දවසකට තනියම නිවසට යනවාට වඩා විසදුමක් නොවිණි.

මද දුරක් පාරේ තනියම ගමන් කරන මට පිටුපසින් කිසිවෙකු එන බව දැනුනු නමුත් පිටුපස බැලීමට තරම් දිරියක් තිබුනේ නෑ.නමුත් එක් වන්ගුවකදී හොරැහින් පිටුපස බැලු මා හට සුපුරුදු රුවක් දකින්න ලැබීම පුදුමයක් වගේම සතුටක් වුනා.

'කැලුම්...එයා...එයා ඇයි මෙහෙ...විසල්ගේ ගෙදර යනවද? එත් විසල්ලා ට්‍රිප් එකක් ගිහින් නේ.එක නොදන්නවා වෙන්න බෑනේ.එහෙනම් එයා මේ එන්නේ මං නිසාද?' මගේ සිත තුල හැගුම් දෝංකාර දෙද්දී මම නැවතත් පිටුපස හැරී බැලුවේ ඔහු එන බව සහතික කරගන්න.නමුත් ඔහු මා නොදුටුවා සේ මගේ දෑස් මග අරිමින් ඉදිරියට ඇදෙමින් සිටියා.

මද දුරක් යද්දී ඉදිරියෙන් පැමිණෙන මිනිසුන් දෙදෙනෙකු මගේ නෙතට හමු වූ අතර ඔවුන් මම මිට පෙර දැක තිබුනෙත් නෑ.කිසියම් නිවසක ඉදිකිරීම් කටයුතු නිම කර යන ආකාරයක් ඔවුන්ගෙන් පෙනුණු අතර ඒ පෙනුම මාව බියපත් කරා.ඔවුන් ලං වනවාත් එක්කම මගේ පිටුපස ඇසෙමින් තිබු කැලුම් ගේ අඩි ශබ්දයද වඩාත් ලං ලංව ඇහෙන්නට වුනා.

මිනිසුන් දෙදෙනා මා පසු කර යද්දී මම වෙනතක් බලාගෙනම ඉක්මනින් ඔවුන්ව පසු කරා.එත් සමගම කැලුම් ගේ පියවර හඩ මදක් දුරස් වෙන්නට ගත්තා.තව තවත් වැහි අදුර අප වටා පැතිරෙද්දී මම ඉක්මන් ගමනින් නිවස කරා ගමන් කරන්නට ගත්තා.විසල්ගේ නිවස අසලදීම එකවර වැස්ස කඩා හැලෙන්නට ගත්තේ හිතාගන්නවත් වෙලාවක් නොදීමයි.

වැස්ස කඩා හැලෙනවත් සමගම බෑගයෙන් කුඩය ගන්නට පිටුපස හැරුණු මම පොත් වලින් හිත ආවරණය කරගනිමින් සිටි කැලුම් දැක මොහොතක් නැවතුනා.එක් තත්පරයක සිතුවිල්ලකින් කුඩයත් රැගෙන ඔහු කරා දිව ගිය මම කුඩය ඔහුද ආවරණය වන සේ කුඩය ඉහලා ගත්තා.එක්වර සිදුවූ සිද්දියෙන් ඔහුද වික්ෂිප්ත වූ අතර මෙතරම් ලගින් ඔහුව කෙදිනකවත් දැක නොමැති මගේ හද ගැස්ම වැඩිවී හදවත නොසන්සුන්ව තිබුනා.

"මම මේ...විසල් බලන්න ආවේ" ඔහු වචන පටලමින් කිව්වා

"ආ...විසල් ට්‍රිප් එකක් ගිහින් ගෙදර අයත් එක්ක..මේ ඔය කුඩේ ගෙනියන්න" මා ඔහුගේ දෙනෙත් මග හරිමින් කියද්දී ඔහු මා දෙස බලනු මට දැනුනා.

"එතකොට ඔයා?"

"අපේ ගෙදර අර තියෙන්නේ.ලගයි .මම දුවන්නම්" මම කිව්වේ ඔහුට නිවස පෙන්නන ගමන්

"මම ඔයාව ගෙදර ලගට දාන්නම්" ඔහු කියද්දී මොහොතකට මගේ දෙනෙත් ඔහුගේ දෙනෙත් හා පැටලුනා.ඒ සමගම විදුලියක් අවට පරිසරය එලිය කරද්දී මම ඔහුගෙන් දෑස් මුදාගත්තා.

එත් සමගම ඇසුණු ගේට්ටුවක හඩකට ඒ පැත්ත බලපු මම දැක්කේ කුඩයකුත් සමග එලියට බහින මගේ පියාව.ඔහු සමග එක කුඩයක් යටින් යාමේ ආසාව පරයා පියාට ඇති බිය ඉස්මතු වුනා.

"අපේ තාත්තා එනවා" රහසින් ඔහුට කෙදිරු මම තත්පරක ඇසිල්ලකින් කුඩය යටින් මෑත් වී පියා කරා දිව ගියා.මා දුටු පසු අවට පරිසරය ගැන තැකීමක් නොකළ මගේ පියා කුඩය යටින් මා නිවසට රැගෙන යද්දී මා එක්වරක් ආපසු හැරී බැලුවා.කුඩයත් සමග ඔහු දිලිසෙන් දෑසින් මා දෙස බලා සිටියා.

******************************************************************************************************

ඒ කුඩය හැමදාමත් අපේ මතක සටහනක් වුනා.

පරණ වෙලා කැඩිලා යනකම්ම අපි දෙන්නගේ ආදර කතාව කුඩේ අහගෙන හිටියා.

අදටත් ඒ කුඩයෙන් මට ඔහුගේ උණුසුම සුවද එදා මෙන්ම දැනෙනවා.

ඒ කැඩුණු කුඩේ අපේ බිදිලා ගිය ආදර කතාවේ මතකයන් සුරකිනවා 💖

No comments:

Post a Comment