Tuesday, April 21, 2020

වසන්තය සිහිනයක් - 07


ඒ උදෑසන තවමත් යහන මත ගුලි වී නිදන මෙත්සරා දෙස මා බලා සිටියේ හැගීම් විරහිත දෙනෙතෙනි.තවමත්  ඇය ගැන සිතේ අනුකම්පාවකට වඩා යමක් නැති බව ඇය දන්නවද කියලා මම හිතපු වාර අනන්තයි.නමුත් කුමක්දෝ හේතුවකට ඇය මගෙන් මිදුනේ නෑ.මම වෙන කෙනෙක්ට ප්‍රේම කරන බව මම ඇයට කී මොහොතේ ඇය කිව්වේ එක දෙය යි.

"ඔයාට ඕනේ නම් එයා ලගට දැන්ම යන්න.පහු වෙලා යන්න ඉන්න එපා.මම යන්න දෙන්නේ නෑ"

නමුත් එදා මට යන්න වුනේ නෑ.යන්න ලැබුනේ නෑ.තරුල්‍යා මට එසේ එන්නට ඉඩක් තබා තිබුනෙත් නෑ.

මෙත්සරා දහනායක, මගේ මවගේ හොදම යෙහෙළියගේ දියණියයි.කුඩා කල මා සෙල්ලම් කල මගේ යෙහෙළියයි.ඔවුන් කොලබ පදිංචියට යන තෙක්ම මටත් මගේ එකම සොහොයුරාටත් සොහොයුරිය වුයේ ඇය යි.දියනියකම පතා සිටි මගේ මවට දියණියකගේ අඩුව සම්පුර්ණ කරේ ඇය යි.ඒ නිසාමදෝ මගේ මවට ඇය තම ලේලිය කරගැනීම තදබල අවශ්‍යතාවයක් විය.ඒ නිසා ඇය තරුල්‍යා ට මුල සිටම ලොකු අකමැත්තක් පෙන්නුවා.

මුලින් මුලින් ඇයගේ මේ අකමැත්ත අප දෙදෙනාම ඒ හැටි ගණන් නොගත්තත් විශ්ව විද්‍යාල අවසන් වසර වද්දී තරුල්‍යා ගේ පියා මගේ  දෙමාපිය අවසරය ගැන විමසා සිටිද්දී දිය යුතු පිළිතුරක් නොමැතිව මා මහත් අපහසුතාවයට පත් වුනා.නැවත නැවතත් මව තරුල්‍යා ට ඇති අකමැත්ත විවිධ ආකාරයෙන් පෙන්නුම් කරද්දී මවගේ විරෝධතාවය මා දරා සිටියේ තරුල්‍යා මා සමගම සිටි හෙයිනි.

එහෙත් අවසන් වසර නිබන්ධනයේ වැඩ කටයුතු සමග ඈ කාර්යබහුල වද්දී ඒ සමගම ඇගෙ පියා අසනීප වීමත් ඇය මගෙන් ඈත් වීමේ ආරම්භය වුනා.පළමුව ඒ ඇයගේ මානසික පීඩනය හේතුවෙන් සිදු වන්නක් බවට සිතු මා වඩ වඩාත් ඇයට සමීපව ඇගෙ පියා ගැනද සොයා බලමින් කටයුතු කරන්නට වූ නමුත් එය ඇයගේ බලවත් විරෝධයට ලක් වූ ආකාරය අදටත් මට පුදුමයක්.

නමුත් එය මානසික පීඩනය නොවන බව ත් ඇය මගෙන් වෙන් වීමට අධිෂ්ටානයෙන් පසු වන බවත් මා තේරුම් ගත්තේ ඇයගේ පියාගේ මරණයෙන් පසුවයි.

ඇයගේ ඒ වචන අදටත් මගේ මතකයේ එදා මෙන්ම අදටත් රැව් දෙනවා.

"මේක හරියන්නේ නෑ කැලුම්.ඔයා අම්මා කියන කෙනෙක් බදින්න.මට බෑ ඔයාව බදින්න"

"මොකක්ද ඔයාට වෙලා තියෙන්නේ? මම කීයටවත් වෙන කෙනෙක් බදින්නේ නෑ.ඇයි ඔහොම කතා කරන්නේ?" ඇයගේ ස්ථිර හඩින් තවදුරටත් ඇය විහිළුවක් නොකරන බව තේරුම් ගත් මම ඇහුවේ පුදුමයෙන්.

" දැන් තාත්තා නෑ කැලුම්.දැන් මම මේ දේවල් බලාගන්න ඕනේ" ඇය කිව්වේ මගේ ඇස් දිහා තියුණු බැල්මක් හෙලන ගමන්මයි 

"ඉතින්...මම උදව් කරන්නම්.මොකක්ද ප්‍රශ්නේ තරු...ඇයි ඔයා මට කිසි දෙයක් නොකියන්නේ? මට තේරෙනවා මෙතන ප්‍රශ්නයක් තියෙන බව.ඇයි මට නොකියන්නේ?" මට එවර තදින් අහද්දී ඇය අහක බලාගත්තා.ඔව් ඒ ඇය තරහ ගියාම කරන දේ.වසර ගණනාවක් පුරා ඇය ගැන මම තරම් දන්නා වෙන කෙනෙක් නෑ.

"ඔයාට මෙතන මට කරනන උදව්වක් නෑ කැලුම්.මම මෙතනින් එහාට මගේ ජීවිතය තීරණය කරලා ඉවරයි.එකේ ඔයා නෑ" 

"තාත්තා නැති වුනා කියන්නේ ජිවිතේ මෙතනින් නතර වුනා කියන නෙවේ තරු...අපි එකතු වෙලා මේක කරමු.අම්මව බලාගමු.ඒක එහෙම නෙවේද වෙන්න ඕනේ වුනේ" මම කතා කරද්දී ඇය දිගටම මගෙන් ඉවත බලා සිටියා. මදකින් ඇය මා දෙස දෙනෙත් ඔසවා බැලුවා.ඒ දෙනෙත්වල වෙනදා මා වෙනුවෙන් පිරි ඇති ප්‍රේමය වෙනුවට හිත රිදවනා කුමක්දෝ අමුතු හැගීමක් සැගවී තිබුනා.

" මේ මගේ ජිවිතේ කැලුම්.මම පොඩි කෙල්ලෙක් නෙවේ දැන් ආදරේ ආදරේ කිය කිය ඒ මත්තේ ජිවත් වෙන්න.ඔයාලගේ ගෙදරින් මට කැමති නෑ.අම්මා අසනීපෙන්.මේ ගෙවල් තාත්තගේ බිස්නස් ඒවා ඔක්කොම මම බලන්න ඕනේ.මට මේ වෙලාවේ වෙන දෙයක් හිතන්න බෑ"

"මම උදව් කරන්නම් ඒ හැමදේකටම.මට ඉඩ දෙන්න උදව් කරන්න.අපේ අම්මව මම කැමති කරගන්නම්.මම ඔයා බදින්න ලැස්ති වෙනකම් ඉන්නම්.මට හදිස්සියක් නෑ" මම කියද්දී සුසුමක් හෙලපු ඇය ආපසු නිවසට යන්න හැරුනා.කතා කරා 

"දැන් ඒවගෙන් වැඩක් නෑ කැලුම්.මම හිත හදාගෙන ඉවරයි.මම ඔයාව බදින්නේ නෑ" එසේ කියපු ඇය ආපසු නිවසට යන්න හැරෙද්දී මම ඇය දිහා හොදින් බැලුවා.ඒ ඇස් වේදනාවකින් පිරි තිබුනා.

"ඔයා මේ බොරු කියන්නේ තරු...ඔයාට වෙන හේතුවක් තියෙනවා.මම දන්න තරුල්‍යා මෙහෙම යන්නේ නෑ.ඔයා මොනවා කිව්වත් ඔයා තාම මට ආදරෙයි" මම ස්ථිර හඩකින් කියද්දී ඇය නිවසට යන්න පියවර තැබුවා.

"මම හොයාගන්නම් මොකක්ද හේතුව කියලා.එදාට ඔයාට ඕවා කියලා බේරෙන්න වෙන්නේ නෑ" මම දිගින් දිගටම කියද්දීත් ඇය දිගටම නිවස කරා පියවර තැබුවා.

නමුත් කෙතරම් උත්සහ කරත් ඇය මා මග හැරීමට හේතුවක් සොයා ගත නොහැකි වුවා මෙන්ම ඇය මා මග හැරීමටත් අවසානයේ මා හමුවීම හා කතා කිරීම පවා ප්‍රතික්ෂේප කරන්නටත් වූනා.මේ සියල්ල අතරවාරයේ එවකට විශ්ව විද්‍යාලිය තාවකාලික කථිකාචාර්ය ධුරයේ සිටි මට  ඇමරිකා එක්සත් ජනපදයේ විශ්ව විද්‍යාලයක පශ්චාත් උපාධිය සදහා අධ්‍යාපනය අවස්තාවක් ලැබීමත් සමග මම රැකියාව සහා ප්‍රේමය අතර සිර වුනා.

ශිෂ්‍යත්වය ලැබීම මගේ මව මා හා මෙත්සරා අතර විවාහය ඉක්මන් කිරීමට හේතුවක් කරගත්තේ මේ අවධියේ.මට ඒ සදහා බලපෑම් වැඩි වද්දී මම ශිෂ්‍යත්වය බාර ගැනීමට තීරණය කලේ නිවසේ බලපෑමෙන් මිදීමටත් ඒ වසර දෙක අවසානයේ නැවත තරුල්‍යා කරා පැමිණීමේ බලාපොරොත්තුවත් ඇතුවයි.තරුල්‍යා මා මිස වෙනත් කෙනෙකුට ආදරය නොකරන බවට මා තුල හොද විශ්වාසයක් තිබුනා.

නමුත් එක් දිනක අනපේක්ෂිත ලෙස පැමිණි තරුල්‍යා ගේ දුරකථන ඇමතුම මගේ ජීවිතය වෙනස් කළා.

"ඔයා ඇයි මෙත්සරා බදින්න අකමැති?" වෙනදා මෙන් දුක සැප කිසිවක් නොඅසා  ඇය කෙලින්ම මේසේ ඇසීම මගේ මහත් විමතියටත් කනගාටුවටත් හේතු වුනා.

"ඔයා කොහොමද මෙත්සරා ව දන්නේ?"  කිසිදු වෙනසක් නොපෙන්වා මම අසද්දී ඇය මොහොතකට නිහඩ වුනා.

"ඔයාගේ අම්මා මට කතා කරා" ඇය සිහින් හඩින් කිව්වා 

"අම්මා? මොකද කිව්වේ?" 

" ඔයා මෙත්සරා බදින්න බෑ කියනවා කිව්වා.ඇයි කැලුම් ඒ? මම නිසාද ?" 

" ඔව් ඔයා නිසා තමයි"

"විකාර කියවන්න එපා කැලුම්.ඔයා එයාව බදින්න.මම කොහොමටවත් ඔයාව බදින්නේ නෑ"

"විකාර කියවන්නේ මම නෙවේ ඔයා.ඔයා මාව බදින්නේ නැත්තම් පාඩුවේ ඉන්න මෙතන මම බදිනවද නැද්ද කියන එක ගැන කරදර වෙන්නේ නැතුව" දිගින් දිගටම සිදුවූ ඇගෙ ප්‍රතික්ෂේප කිරීමත් නිවසේ පීඩනයත් මගේ සිත විඩාවට පත් කර තිබුනා.නමුත් මගේ එකවර පිටවූ කෝපය ඇය ව නිහඩ කරා.

" තරු...ඔයා එක පාරක් හා කියන්න.මම මේ දැන් මේ ගමන නවත්තලා ඔයා ලගට එනවා.එක පාරක් කියන්න "  මදක් සන්සුන් වූ මම කියද්දී ඇගෙ සුසුමක හඩ මට දුරකථනය තුලින් ඇහුනා 

"ඔයාට තේරෙන්නේ නෑ කැලුම් ඔයාගේ අම්මගේ හිත.ඒත් මට තේරෙනවා.මම ඔයාව බදින්නෙත් නැත්තම් අඩු ගානේ අම්මා කියන දේ කරන්න.අඩු ගානේ අම්මගේ හිත හැදේවි "

"මෙතන තියෙන්නේ..." මම කියන්න ගත්තත් ඇය තමන්ගේ කතාව නවත්තලා තිබුනේ නෑ.

"මම කරපු පෙර පවකට තමයි තාත්තා එක පාර මෙහෙම මට නැති වුනේ.දැන් මට තව අම්මා කෙනෙක්ගේ හිතක් රිදෙන එකට හේතුවක් වෙන්න බෑ.ඔයා කියනවා නේද ඔයා මට ආදරෙයි ආදරෙයි කියලා.එහෙනම් මෙත්සරාව බදින්න.ඔයාගේ ජිවිතේ මම විනාස කරා කියන පසුතැවීම මට ඉතුරු කරන්න එපා" එක දිගටම කියාගෙන ගිය ඇය සුසුමක් හෙලුවා.

"ඔයා කොහොමද ඔහොම කියන්නේ..."ඇගෙ වදනින් වික්ෂිප්තව සිටි මම ගැහෙන වදනින් ඇසුවේ ඇය මා අතහැර දැමු බව හොදින්ම හදවතට දැනෙද්දී 

"මෙත්සරා වුනත් නරක කෙල්ලෙක් නෙවේ කැලුම්.ඔයා නොදන්නවට මම එයාව දන්නවා.එයාගේ අයියා විහග මගේ සීනියර් බැච් එකේ.කැම්පස් එකේදී එක පාරක් මට හම්බෙලා තියෙනවා මෙත්සරා ව.එයා ඇත්තටම හොද ගර්ල් කෙනෙක්.ඔයා එයාව බදින එක මට සැනසිල්ලක් කැලුම්.මට දවසක් හරි ආදරේ කරා නම් මට ඒ හිතේ සැනසීම දෙන්න කැලුම්" ඇය කියද්දී මම මොහොතකට ගොළු වුනෑ.

'මම නවතිනවා කැලුම්.හොද තීරණයක් ගන්න.මම ආයේ කවදාවත්ම ඔයා ලගට එන්නේ නෑ කියන එක විතරක් මතක තියාගන්න.බුදු සරණයි " මට පිළිතුරක් ලබා දීමට තරම්වත් වෙලාවක් නොදුන් ඇය එක්වරම දුරකථනය විසන්ධි කරා.

තරුල්‍යා ගේ වදන් එදා මගේ හදවත කම්පනය කල ආකාරය මට අදද සිහිපත් වේ.ඒ වෙලාවේ දැනුනු දහසකුත් හැගීම් අතරේ මා මෙත්සරා විවාහ කරගන්නට තීරණය කරේ මගේ මව ඉතා සතුටට පත් කරමිනි.කුමක්දෝ හේතුවකට මාගේ තීරණය තරුල්‍යා නැවත මත ගෙන්වාවී යැයි සිතුවිල්ලක් අවසාන මොහොත තෙක්ම මගේ සිත තුල තිබු මුත් අවසානයේ මා මෙත්සරා හා විවාහ ගිවිස ගන්නා තෙක්ම ඇය ගේ සලකුණක් නොවිය.විවාහ ගිවිස ගැනීමට පසු දින මා දිවයිනෙන් පිට වද්දී ඇය ගෙන් ලැබුණු කෙටි පණිවිඩය ඇය තවදුරටත් අප අතර සම්බන්ධයක් නොමැති බව තහවුරු කරා.

"මගේ උණුසුම් සුබ පැතුම් කැලුම්.මෙත්සරාටත් විශ් කරා කියන්න.සුබ ගමන්" එපමණක් තිබු කෙටි පණිවිඩය ඇය මාව පිටස්තරයෙක් බවට පත් කර තිබුනා.

ඇය වසර ගණනනාවක බැදීමක් එලෙසින් අමතක කල විදිය මට අදටත් පුදුමයක්.මම තවමත් ඇය ගැන සිතමින් සිටිද්දී ඇයගේ එක් දසුනකින් පවා සැනසෙන්නට මෙහි එද්දී ඇය මා මග හැර සිටිනා සැටි සැබවින්ම පුදුමය.

එක් වරම ඇසුනු ඇම්බියුලන්ස් හඩක් මාව පියවි ලෝකයට ගෙනාවා.වාඩි වී සිටි පුටුවෙන් නැගිට ගත් මම ජනේලෙන් එලිය බැලුවේ කුතුහලයෙන්.වත්තට ඇතුළු වූ ඇම්බියුලන්ස් රථයෙන් බැස ගත් සේවකයන් කඩිමුඩියේ සංචාරක නිවහනට ඇතුළු වුනා.ටික වෙලාවකින් තරුල්‍යා ගේ මව රෝහල් ඇදක් මතින් ගෙන එනවාත් ඊට පසුපසීන් එන තරුල්‍යා ත් මාව මොහොතකට නිසල කරා.

"ඒ... තරුල්‍යා අක්කා නේද?" පිටුපසින් ඇසුණු මෙත්සරාගේ හඩ මාව පියවි ලෝකයට ගෙනාවා.

******************************************************************************************************

ඔව්...ආදරේ  පරිත්‍යාගයක්, 

ඔයා වෙනුවෙන් මම ඒකත් කරා තරු...

මුළු හිතින්ම ඔයාවම පතමින් වෙන කෙනෙක්ගේ වෙලා ඉන්නවා මම..

ඔව්...ආදරේ පරිත්‍යාග කරා මම..ඔයා වෙනුවෙන් 💖

**********************************************************************************************
ගෙදර ඩේටා අවසන්ව ඇත.ඒ හේතුවෙන් සිදුවන ප්‍රමාද දෝෂයන්ට මාගේ බලවත් මෙව්වා එක 👀😀

No comments:

Post a Comment