Monday, April 20, 2020

වසන්තය සිහිනයක් -06



වසර ගණනාවක් පැරණි අතීත මතකයන් සිත රිදවන තරමටම සිත සුවපත් කරන ආකාරය පුදුම සහගතය.වසර 10කටත් වඩා පැරණි මුත් තවමත් ඔහුගේ ඉතා සියුම් මතකයන් පවා මගේ සිත තුල ඉතා පැහැදිලිව තැම්පත්ව ඇත.

2010 වසරේ දිනපොත මා අතට ගත්තේ මුවේ මද සිනාවක් ඇදෙද්දීමයි. ඒ 2010 වසර අප දෙදෙනාටම අප ජිවිත වල වැදගත්ම වසරක් වූ නිසාවෙනි.වසරේ සෑම දිනයක්ම කැලුම් ගැන වූ කුමක් හෝ කෙටි සටහනකින් පිරි තිබෙද්දී මා දිගින් දිගටම පොත පෙරලුවේ එක් සුවිශේෂී දිනයක් සොයමිනි.

2010 පෙබරවාරි 08 

"මම අද කාර්ඩ් එක එයාගේ බෑග් එකට දැම්මා.වෙලාවට කවුරුවත් හිටියේ නෑ ඒ වෙලාවේ.කෙල්ලෝ ටික නම් මාව ඇති වෙන්න බයිට් කරා කේක් ඕනේ කියලා.මල්මි කිව්වා වගේ එයා එකට මොනවා කරාවිද දන්නේ නෑ නේද? විසි කරාවිද දන්නෙත් නෑ.නම ලියන්න තිබ්බේ.අඩු ගානේ මුල් අකුරවත් ලියන්න තිබ්බේ"

එදා කැලුම්ගේ උපන්දිනය යි.එදා උපන්දිනය බව මා දැනගත්තේ ඊට දින දෙකකට පෙර බව මට මතකය.එය ද දැනගත්තේ මගේ මිතුරියක වූ අරුනිගේ පිහිටෙනි.ඇය පාසලේදීම මා සොයා පැමිණ එය කියූ ආකාරය තවමත් මතක ඇත.

"තරු...තරු..." පාසල් විවේක කාලය අවසන් වනවාත් සමගම කෑගසාගෙන පන්තියට පැමිණි ඇය මිතුරියන් සමග හිනා වේවි කියවමින් සිටි මගේ මුනට එබුනා.

"මොකද බන් කෑගහන්නේ" විමාෂා ඇසුවේ තාමත් හති දාමින් සිටි අරුනිගෙනි 

"තරු...මේ අහපන්.." එසේ කියමින් අරුණි මා අසලට රහසක් කියන සේ ලං වෙන්නකොට හැමෝම එයා ලගට එකතු වුනා.

"උබ දන්නවද අනිද්දා කවද්ද කියලා" අරුණි හොරෙන් වගේ ඇහුවා 

"අද 6 නේ..එහෙනම් අනිද්දා 8.ඇයි?" ඇය කියන්නට යන දේ හිතාගන්න බැරිව මම ඇහුවේ කුතුහලයෙන්

"හරියට හරි..එතකොට පෙබරවාරි 8 කාගේ හරි උපන්දිනයක් තියෙනවා කියලා උබ දන්නවද ?" ඇය ඇසුවේ උනන්දුවෙනි 

"ම්ම්ම්..නෑනේ.උබේ එකත් තියෙන්නේ මාර්තු නේ.මගේ එක ලග දවසකනේ" මම කිව්වේ ටිකක් වෙලා කල්පනා කරලා 

"අනේ ගොනෝ..මගේ එකක් ගැන උබෙන් අහන්න මට පිස්සු කියලා හිතුනද? එදා...එදා තමයි කැලුම් ගේ උපන්දිනේ" ඇය කිව්වේ මගේ ඇස් ලොකු වෙද්දී.

"උබ කොහොමද දන්නේ?" 

"මම ගියා චරිතා හම්බෙන්න කැලුම්ගේ පන්තියට.ඒ වෙලාවේ එයාගේ යාලුවෝ ටික කතා වෙනවා ඇහුනේ.එයාලා එදා රෑ පාර්ටියක්ලු කැලුම් ලගේ ගෙදර" අරුණි එක හුස්මට කියාගෙන ගියා.

"හරි දැන් උබ මොකක්ද මේකිට කරන්න කියන්නේ" නිමාෂා අහද්දී මම හුස්මක් හෙලුවා.

'ඇත්ත...මම මොකක් කරන්නද? පාර්ටි දාන්නද? තෑගී දෙන්නද? අඩු ගානේ විශ් කරන්නවත් පුළුවන් වෙයිද?'හිත ඇතුලේ සිතුවිලි තෙරපෙද්දී පන්තියේ උගන්නන පටන් ගත්ත නිසා හැමෝම තම තමන්ගේ තැන වලින් වාඩි වුනා.

එදා රෑ වෙනකම්ම මගේ හිතේ තිබුනේ කැලුම් ට උපන්දිනයට සුබ පතන විදියක් ගැන.ඔහුගේ  මුනට කෙලින්ම  සුබ පතාගන්න තරම් ශක්තියක් මට තියේවිද කියන එක ගැන මටත් විශ්වාසයක් නැති නිසා අවසානයට ඔහුට සුබපැතුමක් දෙන්න තීරණය වුනා.පහුවදා හවස් වරුවම උපන්දින සුබ පැතුම හදන්න මහන්සි වුනු මම පෙබරවාරි 8 දින සවස පන්තියට ගියේ සුබ පැතුමත්  අරගෙනමයි.

"දැන් මේක උබ ගෙනාවා හරි.දෙන්නේ කොහොමද?" නිමාෂා ඇහුවේ හැමෝම සුබ පැතුම බලලා අගය කරාට පස්සේ.

"ඒක තමා මට හිතාගන්න බැරි.මම හිතුවේ එයාගේ බෑග් එකට දාන්න කියලා ඒත් විදියක් තමා නැත්තේ" මම කිව්වේ සුසුමක් හෙලන ගමන්.

"නැත්තේම නෑ බන්.අද එයාලගේ ටියුට් ක්ලාස් එක නේද? එකේ පේපර් එක ලියලා පැයක ඉන්ටර්වල් එකක් දෙනවනේ ආයේ පටන් ගන්න කලින්.ඒ වෙලාවට කොල්ලෝ ඔක්කොම හන්දියේ කඩේට යනවා.ඒ වෙලාවේ පන්තියට ගිහින් දාමු ඕක" මල්මි යෝජනාව කරා වගේම මාත් එක්ක පන්තියට යන්නත් ඉදිරිපත් වුනා.

ඒ කියපු විදියටම විවේක කාලයේදී ඒ පන්ති කාමරය හිස් වෙලා ළමයි එලියට යනවා පෙනුණු ගමන්ම වැසිකිලියට යන්න සර්ගෙන් අවසර අරන් ඇවිත් හොරෙන්ම සුබ පැතුම කැලුම් ගේ බෑග් එකට දාපු විදිය මට අදටත් මුවගට හිනාවක් ගෙනාවා.

ඒත් මල්මි කිව්වා වගේ ඒ  සුබ පැතුම කැලුම් කවදාවත් විසි කරලා තිබුනේ නෑ.මගෙන් ලැබුණු බවක් ගැන කිසිම හෝඩුවාවක් නොතිබුනත් ගෑනු ළමයෙක්ගෙන් හමු වුනු පලවෙනි සුබ පැතුම විදියට ඔහු එය ලග තබා ගත් බව මට පසු කලක දැනගන්න ලැබුනා.ඒ වගේම ඒක මගෙන් ලැබුණු බව දැනගත්ත ඔහු පුදුමයට පත් වුනු හැටි මට තාමත් මතකයි.

 නමුත් මට අවශ්‍ය වූ සුවිශේෂී දවස එය නොවුයෙන් මම දින පොතේ තවත් පිටු පෙරලාගෙන ගියා.ටිකෙන් ටික දින පොතේ හිස් පිටු වැඩි වුනා.ඒ අපේ උසස් පෙළ විභාගයේ අවසන් මාස කිහිපයයි.දින පොත ලිවීමට තබා හරි හැටි හුස්මක් ගැනීමට තරම්වත් කාලයක් ඒ කාලයේ තිබුනේ නෑ.

එක් පන්තියකින් තව පන්තියකට මාරු වුනු පොත් පාඩම් කරපු ගණන් හදපු පන්තිය මැදත් නින්දට වැටුණු කාලයක්.ඒ කාලයේ දිනපතා කැලුම් දැකගනිමටත් නොහැකි වුනේ එක් එක් පන්ති වේලාවන් වෙනස් වූ නිසා වුනත් එක් තත්පරයකටවත් ඔහු මගේ මනසින් ඈත් වුනේ නෑ.පිරිමි ළමුන් පිරිසක් දකින සෑම විටකම මම ඒ අතරින් කැලුම් හෙව්වේ ඒ නිසාමයි.

සෑහෙන දවසකට පස්සේ දින පොතේ සටහනක් තිබුනේ අගෝස්තු 28 වන දිනයි.ඒ උසස් පෙළ විභාගයේ අවසන් දිනයයි.

"අද විභාගේ ඉවර වුනා.වැස්සක් වැහැලා පෑව්වා වගේ.එත් හිතට හරි බරක් දැනෙනවා.කැලුම් නිසා.ගොඩක් දවසකින් දැකලා නෑ.ආයේ දකින්න වෙයිද දන්නෙත් නෑ...." 

ඒ දින සටහන ලිව්වේ කොපමණ දුකකින්ද කියා අදටත් මතක් වෙනවා.නමුත් කැලුම් ට අපි වෙන් වෙන එක නවත්තන්න සැලසුමක් ඇති බව මම ඒ වෙලාවේ දැන සිටියේ නෑ.තවත් දුක්බර දින සටහන් කීපයකට පස්සේ මට මේ දින සටහන හම්බුනා. 

2010 සැප්තැම්බර් 10 

"විසල් ආවා.එයාගෙන් කැලුම් ගැන අහන්න ලොකු උවමනාවක් තිබුනත් ඒක අහන්න තරම් පුළුවන්කමක් තිබුනේ නෑ.ඒත් විසල් මට ෆේස්බුක් අකවුන්ට් එකක් හදලා දුන්නා.කට්ටිය කියනවා අහලා තිබ්බත් මට කලින් මෙහෙම එකක් තිබ්බේ නෑනේ.විසල් තමා ඔක්කොම කියලා දුන්නේ.එයා එයාගේ අකවුන්ට් එකට රික්වෙස්ට් එකකුත් දැම්මා.දැන් එයත් මගේ ෆේස්බුක් යාලුවෙක්.කැලුම් ඉන්නවද දන්නේ නෑ ෆේස්බුක්.ඒත් එක හොයන්නේ කොහොමද?"

ඒ විදියට විසල් ව එවලා මට ෆේස්බුක් ගිණුමක් හැදෙව්වේ කැලුම් කියලා මම දැනගත්තේ අපි ආදරේ කරන්න අරගෙනත් කාලෙකට පස්සේ.ඊට පහුවදාම කැලුම් ගෙන්  මගේ ෆේස්බුක් ගිණුමට ඇරයුමක් එන එකම සැක කරන්න තරම් කාරණයක් වුනාට ඒ කාලේ ඕවා ගැන ලොකු තේරුමක් මට තිබුනේ නෑ.

පොඩිම පොඩි "Hi" එකකින් පටන් ගත්තු අපේ කතාව රෑ දවල් වරු පුරා ඇදිලා යද්දී ඔහු ගැන හිතේ ඇල්මකින් සිටි මම ඔහුට ආදරේ කරන්න පටන් ගත්තා.පරිගණක තිරයකින් එහා පැත්තේ ඉදගෙන හිතේ ඇති දේ අකුරු කරන එක මුණ බලාගෙන කියනවට වඩා පහසු නිසාමදෝ ඔහු මට ඔහුගේ හැගීම් කිව්වෙත් අකුරෙන්මයි.

2010 ඔක්තොම්බර් 08,

මගේ ජිවිතේ ලස්සනම දවස.තාමත් මතකයි ඒ ඔහු මට එවපු හැම අකුරක්ම,

"මම ඔයාට කැමතියි කිව්වොත් ඔයා මොකද කියන්නේ" 

අදටත් ඒ වචන මගේ හදගැස්ම වේගවත් කරනවා.අදත් ඒ වචන කියවූ මොහොතේ දැනුනු හැගීම් මට ඒ විදියටම දැනෙනවා.දැනුත් මගේ ඇගිලි ඒ පිළිතුරු වචන ගලපන වෙලාවේ වගේම ගැහෙනවා.

"මමත් කැමතියි කියනවා" 

ඔව් ඒ මගේ වචන...අපි දෙන්නාව එකතු කරපු වචන,අදටත් මගේ හදවතේ පන ගැහෙන වචන 

ඒදා මගේ දින පොතේ තිබුනේ පොඩි සටහනක් විතරයි.

"ආදරෙයි මම නුබට...මේ ජීවිතය අවසන් වන තුරාවටම...."

ඒ වචන අදටත් මාව ජිවත් කරවනවා.ඒ වචන වෙනුවෙන් මම ජිවත් වෙනවා.

ඔව් අදටත් මම නුබට ප්‍රේම කරනවා 

ඒ ප්‍රේමය හෙටටත් මා ජිවත් වන තුරු හැමදාටමත් මගේ හදවතේ නුබ වෙනුවෙන්ම රැදී තියේවි..

ඔහු පිළිබද සිතිවිලි ගොඩක් අතරේ හවස සංචාරක නිවහනේ දොරටුව තුලින් ඇතුලට පිවිසුණු  මෙත්සරාගේ රුව මගේ මනසේ ඇදී ගියා.මම සුසුමක් හෙලුවා.

"ඔව් නුබ වෙන කෙනෙකුගේ වුවත් එය එසේම වේවි...." මගේ හදවත දෝංකාර දුන්නා.

*****************************************************************************************************

"ආදරේ හැමදාම එක විදියද?" මම කැලුම් ගෙන් ඇහුවා 

"නෑ" ඒ ඔහුගේ පිළිතුර 

"එහෙනම්.."

"අපි කාලෙත් එක්ක වෙනස් වෙනවා.ආදරෙත් එහෙමයි.ඒත් හැමදාමත් මම ආදරේ ඔයාට විතරයි"

ඒ වචන මාව ආදරෙන් සැනසුවා 💖

No comments:

Post a Comment