Friday, April 24, 2020

වසන්තය සිහිනයක් - 09



"අනේ..කැලුම්...." දුරකථන  රැහැන දිගේ ආපු කටහඩ මගේ නිදිමත නැති කරා.

"තරු..." එහෙම කියන ගමන්ම මම ඇදෙන් නැගිට්ටේ මේසය මත තිබු ඔරලෝසුව දෙස බැල්මක් හෙලන ගමන්මයි.එහි වෙලාව උදෑසන 4.45  ලෙස සටහන්ව තිබුනා.

"අම්මා නැති වුනා කැලුම්..." ඇයගේ අසරණ හඩ මගේ හදවත කම්පා කරා.

"මම එනවා..." එපමණක් කියු මම දුරකථනය විසන්ධි කරා.මේසය මත තිබු වාහන යතුරු අතට ගත් මම තවමත් නින්දේ පසුවන මෙත්සරා දෙස එක් බැල්මක් පමණක් හෙලා කාමරයෙන් පිට වුනා.

මා රෝහලට යන විටත් හඩා වැටෙමින් සිටි ඇය අසල ලෝචන සිටගෙන සිටියේ වෛද්‍යවරයා සමග කතාවක යෙදෙමිනි.මා දුටු ඇය සෙමින් සෙමින් මා අසලට ආවා.

"කැලුම්...අම්මා...එයා...ගියා...මට එයා යනවා කියලා ගියා..." හඩා වැටීමෙන් රතු වී තිබු කම්මුල් දිගේ තවත් කදුළු බින්දුවක් බේරී වැටෙද්දී මම ඒ කදුළු බින්දුව මගේ අතින් අල්ලාගත්තා.සෙමින් ඔලුව උස්සා මා දෙස බැලූ ඇයගේ දෙනෙත් මගේ දෙනෙත් හා හමුවන තැනදී ඉකි ගැසුම් හඩක් සමගින් ඇය මගේ පපුවට වාරු වුනා.ඇයගේ උණුසුම් කදුලින් මගේ කමිසය තෙත් වද්දී  සිත සැනසීමට වදනක් සොයා ගත නොහැකිව මා සෙමින් සෙමින් ඇයගේ හිස පිරිමැද්දා.

ටිකකින් ලෝචන ඒ දෙසට එනු දුටු මා ඇයගේ හිසින් අත ඉවතට ගත්තා.

" තරුල්‍යා ඔයා කැලුම් එක්ක ගෙදර යන්න.මම අප්පච්චිටත් කෝල් කරා.එයත් දැන් ඒවි." ලෝචන මා අසල නතර වී පවසද්දී තරුල්‍යා සෙමින් ඔලුව ඔසවා බැලුවා.

"අනේ...මම කොහොමද අම්මා දාලා යන්නේ" ඇය හැඩුම් ස්වරයෙන් කියද්දී ලෝචන ඇයගේ හිසින් අත තිබ්බා.

"ඔයා මෙහෙ හිටියා කියලත් වැඩක් නෑනේ.ගෙදර ගිහින් එහෙ වැඩ ටිකක් බලන්න.මම මල්ලිවත් එවන්නම්" එසේ කියන ගමන්ම ලෝචන මට ඇය ව රැගෙන යන සේ ඉගි කරා.

අවමංගල්‍ය උත්සවය සංචාරක නිවහන සමගම තිබු ඔවුන්ගේ පෞද්ගලික නිවහනේ සුදානම් කෙරුනා.තරුල්‍යා ගේ නෑදෑ පිරිවර එහි පිරෙද්දී පාසල් සමයේ අපගේ මිතුරන්ද එහි පැමිණුනා.එදා රෝහලින් පසු මා බොහෝ දුරට මග හැර සිටි තරුල්‍යා මෙත්සරාගේ උදව් උපකාර බොහෝ කැමැත්තෙන් පිළිගත්තා.මෙත්සරා ද ලගම යෙහෙළියකට මෙන් ඇය අසලම රැදෙමින් උදව් උපකාර කරේ මගේ සිතට සැනසීමක් දෙමිනි.

මේ අතර මරණයේ අවසන් දිනයේදී මගේ පාසල් මිතුරෝද මල ගෙදරට සහභාගී වෙන්න ආවේ ලෝචන ගෙන් ලැබුණු පණිවිඩයකිනි.එසේ හෙයින් ඔවුන්ට මා දැකීම මහත් පුදුමයක් විය.

"උබ කවද්ද ආවේ?" විසල් එසේ අසමින්ම මා අසලින් වාඩි වුනා.වටේටම අනිත් කොල්ලෝ ටිකත් වාඩි වුනේ මාත් එක්ක හිනා වෙන ගමන්මයි

"දැන් මාසයක් විතර බන්"

"උබ නිකන්වත් අපට කතා කරේ නෑ නේද?" මුදිත අසද්දී මම හිනා වුනා.

"හෙමිට කතා කරන්න හිටියේ බන්"

"කවද්ද වෙඩින් එක කියන්නද?" ධනුෂ්ක අසද්දී මම ඒ දිහා බැලුවා

"නෑ බන් එහෙම නෙවේ..." මම ධනුෂ්කගේ කරට අතක් දාගනිද්දී ඔහු මම දිහා කෙලින් බැලුවා.

"එහෙනම් මොකක්ද බන්.උබ එක පාර එන්ගේජ් වුනා.රට ගියා.දැන් ආයේ අපට හම්බෙනවා මල ගෙදරකදී.එකත් තරුල්‍යා ගේ අම්මගේ මල ගෙදරදී.තරුල්‍යා උබ අවුරුදු ගානක් පිස්සෙක් වගේ ආදරේ කරලා දාලා ගියපු කෙල්ල" ධනුෂ්ක කියවාගෙන යද්දී මට දැනුනේ ලොකු පසුතැවීමක්.

"කැලුම් අයියා..." එක්වරම ඇසුණු මෙත්සරා ගේ හඩට මම හැරී බැලුවේ කලබලෙන්.මෙත්සරාට ධනුෂ්කගේ වදන් අසුනාදෝ දැයි හිතට දැනෙන නොසන්සුන්කම  මැඩගනිමින් මම පිළිතුරු දුන්නා,

"ඇයි?"

"මම ටවුන් එකට යනවා චන්ද්‍රා නැන්දා එක්ක.මොනවා හරි ගෙන්න ඕනෙද?"

"ම්ම්ම්... නෑ..සල්ලි තියෙනවද?"

"ඔව්.මේ ඔයා සුදු ෂර්ට් එකක් ගෙනාවද?"ඇයගේ පැනය මට ගෙන ආවේ කුතුහලයක්

"මේ ඇදගෙන ඉන්න එක තමයි ගෙනාවේ"

"ඕක ඇදගෙනද සොහොනට යන්න හදන්නේ "

"ඇයි මේකේ මොකක්ද වරද?" මම විමසුවේ කමිසය දෙස හොදින් බලන ගමන්මයි.දවසක්ම ඇද සිටීමෙන් මද කහට ගතියක් ගැවී තිබීම හැරෙන්නට වෙන වරදක් මට පෙනුනේ නැත.

"නෑ නෑ වරදක් නෑ.මම ගිහින් එන්නම් එහෙනම්"  ඇය එසේ පවසා හැරෙද්දීම හිතේ එකවර ඇති වූ සිතිවිල්ලක් මට ඇය ව නවත්තන්න පෙළබුවා.

"මෙත්සරා, පොඩ්ඩක් ඉන්න, මේ..මේ..මගේ ඉස්කෝලේ යාළුවො ටික" එසේ පැවසු මම නැවත හොද හුස්මක් ගත්තේ ඇය ව මිතුරන්ට හදුන්වා දීම සදහා යි.

"මේ මගේ වයිෆ්,මෙත්සරා " මගේ ඒ හදුන්වා දීම ඔවුන්ට පුදුමයක් බව ඔවුන්ගේ මුහුණේ හැගීම් වෙනසින් පෙනුනත් ඔවුන් සියලු දෙනා ඇයට වෙනසක් නොපෙනවා ආචාර කල පසු ඇය පිටත්ව ගියේ පරක්කු වන බව පවසමින්.

" මොකක්ද මචන් මේ වෙන්නේ? " විසල් ඇහුවේ ඒ කුතුහලෙන්මයි

"එයා මේ ඔක්කොම දන්නවද?" මුදිත අසද්දී මම ඔලුව වැනුවා.

"ඔක්කොම දැනගෙනත් මෙහෙම ඉන්නවා කියන්නේ නම් එකී ලේසි කෙල්ලෙක් නෙවේ බන්" චමෝද් කතාවට එකතු වුනා.

"දැන් මොකෝ ඒ සීන් එක? උබගේ වෙඩින් එක ප්ලෑන් කරනවා කියලා මට උබලගේ මල්ලි ලගදි හම්බෙලා කිව්වා" ධනුෂ්ක අසද්දී මම සුසුමක් හෙලුවා.

"ඔව් බන්.අම්මලා ලැස්ති වෙනවා"

"එහෙනම් උබ මෙහෙ මොකක්ද මේ කරන්නේ? පාඩුවේ බැදගෙන හිටපන් බන් මේ කෙල්ලට ඉන්න දීලා." විසල් එවර මදක් තදින් කිව්වේ මට රවන ගමන්මයි

" මම මුකුත් කරන්නේ නෑ බන්.ඉඩම් වැඩ වගේකට ආවේ.ඒ නැතත් එයානේ මාව එපා කිව්වේ.උබලා නිකන් ඒක නොදන්න ගානට කතා කරන්න එපා" මා එසේ කියද්දී ධනුෂ්ක එතනින් නැගිට්ටා.

"මචන් මෙතන වැරැද්ද කාගේද නෙවේ දැන් ප්‍රශ්නේ.ප්‍රශ්නේ උබ ආයෙත් ඒ කෙල්ලගේ ජිවිතේ ලග මොකද කරන්නේ කියලා" ධනුෂ්ක එසේ කියද්දී චමෝද් කතා කරා

"ඒක ඇත්ත මචන්.උබ මේ හදන්නේ කසාදෙ කඩලා ආයේ තරුල්‍යා ලගට එන්නද නැත්තම් නිකන් තරුල්‍යා හදාගෙන ඉන්න හිත කඩලා යන්නද කියලා උබම හිතලා බලපන්.යමල්ලා අර පැත්තට උදව්වක්වත් කරන්න මෙතන ලගින්නේ නැතුව " එසේ කියමින්ම චමෝද් එතනින් යද්දී අන් අයත් එතනින් පිට වුනේ තනි වුනු මට සිතන්න බොහෝ දේ ඉතිරි කරලා.

ඇත්තෙන්ම මේ මා මෙහි කුමක් කරන්නේද?....මට ඇය බැලීමට අවශ්‍ය වුවත් මේසේ පැමිණීමට තරම් මා නොසැලකිලිමත් වුයේ කෙසේද?

ඇත්තෙම මට අවශ්‍ය මේ විවාහය කඩා දැමීමටද?....මට එසේ අවශ්‍ය වුවත් මෙත්සරා එයට කැමති වේවිද?...මේ වන විට සුදානම් කරමින් පවතින විවාහ උත්සවය ගැන හෝ ඉන් පසු සිදු වන දේ ගැන මා නොසිතුවේ මන්ද?... සිතුවිලි රාශියකින් සිත පිරෙද්දී මට කතා කරන හඩක් මාව පියවි ලෝකයට ගෙනාවා.

"කැලුම් අයියා..." ඒ මෙත්සරා ගේ හඩයි

"මේක ඔයාට ..."මගෙන් පිළිතුරක් නැති තැන එසේ කියමින් පුටුව උඩ බෑගයක් තැබූ ඇය නැවතත් අවමංගල්‍ය උත්සවය දෙසට යන අයුරු මා බලා සිටියා.පුටුව උඩ තිබු බෑගය තුල සුදු පැහැති කමිසයක් මා වෙනුවෙන් රැදී තිබුනා.

අවමංගල්‍ය උත්සවය අවසන්ව දින ගණනක් ගත වන තුරුම තරුල්‍යා කාමරයෙන් එලියට නොපැමිණිම මගේ හිත විඩාවට පත් කර තිබුනා.එසේ වුනත් තවමත් නිවස තුල ගැවසෙමින් සිටි ඇයගේ නෑදෑයන් නිසා මට ඇයට කතා කල හැකි ක්‍රමයක් තිබුනේ නෑ.

"උබ තාම මෙහෙ නේ.." ඉදිරිපස ආලින්දයේ වාඩි වී සිටි මා අසලින් සිටගත් ලෝචන අසද්දී මම සිනා සුනා.

"ඔව් තාම වැඩ ඉවර නෑ"

"හ්ම්ම්..අපේ කට්ටිය යන්න හදන්නේ.තරුල්‍යා අපි එක්ක යන්න කැමතිත් නෑනේ" ඔහු කියද්දී මට දැනුනේ කුතුහලයක්

"මෙහෙ තනියෙන් තියන්න බෑනේ බන්.අපි ඉතින් කිව්වා එහේ යමු කියලා.මහා දුරක් නෑනේ.උදේ මෙහෙට ඇවිත් බලලා ආයේ හවසට එහෙ යන්න පුළුවන්නේ .අඩු ගානේ මාස 3 යනකම්වත්" ඔහු කිව්වේ මගේ පිළිතුරක් බලාපොරොත්තු නොවීමයි.

"හ්ම්ම්..." එපමණක් කි මා දෙස මදක් බලාසිටි ඔහු යන්නට හැරී නැවතත් මා දෙසට හැරුනා.

"මම මේක උබට කියන්නේ නෑ කියලා හිටියේ  මචන්.එත් මට තරුල්‍යා ට බෑ කියන්න බැරි නිසා කියන්නේ.තරුල්‍යා ට උබව හම්බෙන්න ඕනේ කිව්වා.තනියම.හෙට උදේ 9ට ඔරලෝසු කනුව ලග ඉන්නවා කිව්වා.උබේ වාහනෙන් පලයන්.යන්නේ නැත්තම් දැන්ම මට කියපන් මම තරුල්‍යා ට කියන්නම්" ඔහු එසේ කියද්දී මා මොහොතකට නිසල වුනා.

තරුල්‍යා....වසර තුනක් පුරාවට මා මග හැරී ඇය...මේ කුමක් සිදුවේද?

සිත තුල මෙත්සරා එක් ක්ෂණයකින් ඇදී මැකී යද්දී මම කතා කරා .

"මම එනවා කියන්න..."

***************************************************************************************

අත්හැර දැමු ප්‍රේමය...

නැවත සොයා ආ ප්‍රේමය....

සිත සසල කල ප්‍රේමය......

ඇය යි මගේ ප්‍රථම ප්‍රේමය...............💖 

No comments:

Post a Comment