Sunday, April 26, 2020

වසන්තය සිහිනයක් - 11


සංචාරක නිවහනේ කවුළුව තුලින් ඇතින් දිස්වෙන කදුපන්තිය මතින් හිරු බැස යද්දී හිරු කිරණ අවට පරිසරය කහ පැහැයෙන් ආලෝකමත් කර තිබුනා.කවුළුවෙන් ඇත් වූ මම පුටුවකට බර වද්දී මද සුළගක් මා වටා හමා යමින් තිබුනා.

" මට තවත් ආදරේ කරන්න එපා කැලුම්.ඔයා ඔයාගේ හිත පිළිගන්න.ඒ මම නෙවෙයි" ඇයගේ වදන් නැවත නැවතත් මගේ හිස තුල දෝංකාර දෙද්දී මම දෑස් පියාගත්තා

ඇය එසේ කීමේ අදහස කුමක්ද? නැවත ආපසු එන තෙක්ම මා දෙස නොබැලු ඇය මා හා වදනක්වත් පැවසීමද ප්‍රතික්ෂේප කරා.ඇයගේ වදන් තුල වූ ස්ථිරත්වය මට ඇයගෙන් කිසිවක් විමසීමද අවහිර කර තිබුනා.

"කැලුම් ඔයා මට තාමත් ආදරෙයිද? " ඇය එය අසද්දී මට දෙවරක් සිතන්නට ඕනේ වුනේ නෑ.

"ඔව්...මම ඒක එදත් කිව්වා.අදත් කියනවා.ඔයාට විතරයි මම ආදරේ" මගේ හදවතේ ඇයට හිමි තැන ඒ ලෙසින්ම අදටත් තිබුනා.නමුත් ඇයගේ ඊලග පැනය මා මොහොතකට නිසල කරා .

"අපට එකතු වෙන්න පුලුවන්ද කැලුම්" එය අසද්දී ඇයගේ ඇස් වල තිබු හැගීම් මතක් කරගන්නට මම උත්සහ කරා.ඒ හැගීම මට අමතක වන තරමට ඒ පැනය ඒ මොහොතේ මා සසල කර තිබුනා.උදේ පටන් හිතට දැනෙමින් තිබු අමුතුම නුහුරු හැගීම ඒ මොහොතේ උත්සන්නව දැනුනා.මෙත්සරාගේ රුව මනස පුරා සැරිසරද්දී මම පිළිතුරු දුන්නා.

"ඔව්..." මගේ ඒ වදන් සසලව තිබුනා.එය තරුල්‍යා ට වැටහුනා.

ඔව් ඇය තේරුම් ගත්තා.මගේ එක් සුසුමකින් පවා මා නොසන්සුන් බව ඇය වටහාගත්තා.ඒ මොහොතේ දිනයේ පළමු වරට ඇයගේ දෙනෙත්හි වෙනසක් තිබෙන බව මට පෙනුනා .ඇය මුවින් නොකියනා දෙයක් ඇගෙ දෑස් මට කිව්වා.ඒ දෑස් ආදරය, පසුතැවිම, ශෝකය මෙන්ම සැනසීම කැටි වූ හැගීම් සමග මුසු වූ මා නොදන්නා හැගීමකින් පිරි තිබුනා.

නමුත් ඇය මගේ දෙඅත් අල්ලාගනිමින් මට ලං වද්දී මට ඇයගේ දෙනෙතින් මෙත්සරා පෙනෙන්නට පටන් ගත්තා.උදෙ සිටම මා පෙළමින් සිටි නුහුරු හැගුමේ ආරම්භය මෙත්සරා බව මට වැටහෙමින් තිබුනා.

තරුල්‍යාගේ වදන් මා සසල කරද්දී ඇය මා තනිකර දමා එතනින් නික්මෙද්දී මගේ හදවත වේදනා දෙද්දී මගේ හදවතේ මෙත්සරා ඇදි මැකී ගියා.

මෙත්සරා හා සිදු වූ විවාහයෙන් මාස දෙකකට පසු ඇය ද උසස් අධ්‍යාපනය සදහා ඇමරිකා එක්සත් ජනපදයටම පැමිණියා.එදා මට ඇගේ පැමිණීම වදයක් සේ දැනුනත් ඇය මගේ ජිවිතයෙන් හැකි තරම් ඈත් වී ජිවත් වීම නිසා මට ඇය අමතක වන්නට වැඩි කාලයක් ගියේ නෑ.නමුත් ඊට මද කාලයකට පසු මා රිය අනතුරකට මුහුණ දීම ඒ සියල්ල වෙනස් කරා.

හදිසියේ සිදු වූ ඒ අනතුර නිසාවෙන් මගේ මවගේ උපදෙස් පරිදි විශ්ව විද්‍යාල නේවාසිකාගාරයෙන් ඉවත් වූ මෙත්සරා මා සමගම වෙනම නිවහනකට ගියේ මටද ඒ වන විට කැඩුණු කකුලත් සමග විශ්ව විද්‍යාල නේවාසිකාගාරයේ සිටීම අපහසු වූ බැවිනි.නමුත් එහිදී ඇයගේ උපකාර ගැනීම මගේ සිතට වධයක් වූ අතර වෛද්‍ය උපදෙස් ඒ ආකාරයටම පිළිපැදීමට ඇය දැක්වූ උවමනාවද මා කුපිත කරවන්නට විය.තුවාල වේදනාවත් බිදුණු ප්‍රේමයත් උවමනාවට වැඩි සැලකිල්ලත් නිසා ඇති වූ ආවේගය දින දෙකක් අවසානයේ පිටාර ගලන්නට විය.

" මං ආපහු හොස්ටල් යනවා" රාත්‍රී ආහාරය ලෙස ඇය සකසා තිබු ලුණු වැඩි සුප් කෝප්පය පසෙක දැමු මා කියා සිටියේ කෝපයෙනි.

"එහෙම යන්නේ කොහොමද? තාම නැගිටගන්නවත් බැරුව" ඇය පැවසුවේ නොසලකිල්ලෙනි.

"එක මං කරගන්නම්.මෙහෙම මේ ලුණු වැඩි සුප් කෝප්ප බිබී ඉන්න බෑ මට" එවර ඇය දෙනෙත් ඔසවා මා දෙස බැලුවා.

"එහෙනම් ඉතින් ඔයා කෑම හදාගන්න.නැත්තම් ගෙන්න ගෙන කන්න.මට එකෙන් වැඩක් නෑ.යන්න දෙන්න බෑ" ඇය එක හෙලා කියා සිටිද්දී මගේ කෝපය තවත් වැඩි වුනා.

"ඒක පුදුම කතාවක්නේ ඔයා කවුද මට එහෙම කියන්න" 

"කසාද කොලේට ඔයාගේ ගෑනි" ඇය තදින් එසේ පවසමින් මේසයෙන් නැගිට්ටා 

" ආ...දැන් මේ අයිතිය ඉල්ලන්නද හදන්නේ?.බදින්න කලින් කියපුවා මතක නැද්ද? මම හැම...." මගේ කතාව ඇය මැදින් නවතා දැම්මා 

"ඔව් ඔව් මම දන්නවා.ඔයා හැමදාමත් ආදරේ තරුල්‍යා ට එකනේ කියන්න හදන්නේ.එක මට හොදට මතකයි.මෙතන මට ඒවගෙන් වැඩක් නෑ.ඔයාගේ අම්මා ඔයාව බලාගන්න කිව්වේ මට.කොලෙකට හරි මම ඔයාගේ වයිෆ්.එහෙම එකේ මේ වගේ වෙලාවක ඔයාව තනියෙන් තියන්න මම කොහෙත්ම ලැස්ති නෑ.කෑම නම් ප්‍රශ්නේ ගෙන්න ගෙන ගමු" මුලින් ස්ථිර හඩකින් පටන් ගත් ඇය අවසානයේ සෙමින් කතාව අවසන් කලේ මට කියන්න දෙයක් ඉතුරු නොකරමයි.

"කැලුම් අයියා...ඔයා මේ කසාදෙට කැමති නෑ මට තේරෙනවා.මම වුනත් කැමැත්තෙන් හිටියේ නෑ.ඒත් අපි ඉස්සර හොද යාළුවොනේ නේද? අඩු ගානේ මේ ප්‍රශ්නේ විසදෙනකම් වත් අපට හොදින් ඉන්න බැරිද? තරහා අරන් මුරණ්ඩු වෙන එකෙන් වෙන්නේ ඔයා සනීප වෙන්න පරක්කු වෙන එක විතරයි" මද වෙලාවකින් ඇය මා පසුපස සිට සෙමින් කිව්වේ මගේ සිතේ ඇය ගැන අනුකම්පාවක් ඇති කරමින්.

ඇය කිවේ සැබෑවක් බව ඒ වෙද්දී මට වැටහෙමින් තිබුනා.හිතේ පීඩනය ඇය මතින් පිට කිරීම වරදක් බව මට පෙනී යද්දී මා ඇය හා සුහදව සිටීමට උත්සහා කරා.ඇය හා මා හොද මිතුරන් වුනා.

එක්තරා දවසක තරු පිරි අහසක් යටදී මම ඇයට තරුල්‍යා ගැන සියල්ල පැවසුවා.තරුල්‍යා ගේත් මගෙත් ප්‍රේමය වචන කොට මා ඇය හමුවේ තැබුවා.සියලු දේ අසා සිටි ඇයගේ දෙනෙතේ කදුලක් දිලිසෙමින් තිබුනා.ඒ කදුල අතරින් ඇය මා සැනසුවා.

"දවසක තරුල්‍යා අක්කා ඔයා ලගට ඒවි අයියේ.එදාට මම ඔයාට යන්න දෙනවා" ඇයගේ වචන වල මා කෙරෙහි සෙනෙහසක් පිරි තිබුනා.

ඒ සෙනෙහස ටිකෙන් ටික ප්‍රේමය වන වග මට දැනෙද්දී ඇය එය මගෙන් සැගවීමට අසාර්ථක උත්සාහයක යෙදුනා.මම එය නොදන්නා වග හගවා සිටියා.

වසර දෙකක් පුරාවට කිසිවක් නොකියා මා ලගින්ම සිටි ඇය,එක් දිනක් ඇය සිපගත් විට පවා එය ඇගෙ වරදක් ලෙස පවසා මා සැනසූ ඇය, ප්‍රේමය සිතේ තබාගෙන මගේ ප්‍රේමය වෙනුවෙන් මා සැනසූ ඇය, අවසානයේ ඊයේ රාත්‍රියේ පළමු වරට ඇයගේ හැගීම් මා හමුවේ කියමින් හඩා වැටුනා.

"මම  ඔයාට යන්න දෙන්නේ නෑ තරුල්‍යා අක්කා ලගට..එයාට ඔයාව කොච්චර ඕනේ කිව්වත් මම දෙන්නේ නෑ ඔයාව එයාට" ඇය කියද්දී මම පුදුම වුනේ ඇය කිසිදිනක එසේ නොකියා තිබු හෙයිනි.

"මෙත්සරා...ඇයි එහෙම කියන්නේ? " ඇයගේ මෙම එක්වරම සිදු වූ වෙනස හිතාගන්න බැරිව මම අසද්දී ඇය හඩන්නට පටන් ගත්තා.සුළු සුළු දේටත් ඇයගේ හැඩි වැලපීම් පුරුදු මට එහි වෙනසක් දැනුනේ ඇයගේ රතු වූ මුහුණ කෝපයෙන් පිරි තිබුණු හෙයිනි.

"එහෙම තමයි.අවුරුදු දෙකක් පුරා ඔයා මාත් එක්ක හිටියේ.දැන් මේ එක පාරට කොහොමද එහෙම යන්න දෙන්නේ? නෑ කියටවත් එක වෙන්නේ නෑ.එයා කවුද එහෙම මගෙන් ඔයාව ගන්න.එයා හිටපු කෙල්ලනේ.මම ඉන්න වයිෆ්" ඇය තවත් කියවගෙන ගියා.

"ඔය ඇති මෙත්සරා.මොනවද මේ කියවන්නේ? පිස්සුද ඔයාට" මා ඒවර තරමක කෝපයෙන් කියද්දී ඇය මා දෙස නෙත් විදහා බැලුවා

"ඔව් ඔව් මට තමා පිස්සු.මට පිස්සු තමා හොදටම" ඇය එක්වරම ඇද මතින් වාඩි වී මුහුණ වසාගනිමින් හඩා වැටෙද්දී මා ඇය අසලින් වාඩි වුනා.

"මං ඔයාට ආදරෙයි කැලුම් අයියේ...දුක නැද්ද ඔයාට මං ගැන" ඇය ඉකි බිදිමින් කියද්දී කිසිවක් නොකී මම ඇයගේ  හිස අතගෑවා.

ඇයගේ මේ එකවර සිදු වූ හැගීම් ප්‍රකාශය මගේ සිත කම්පනය කරා.ඒ කම්පනයම අද දිනයේම මට ඇය ව සිහිපත් කරා.ඇය මට ප්‍රේම කරන වග දැන සිටියත් ඇය මේසේ එය කියාවි යැයි මා කිසි දිනක සිතුවේ නෑ.ඇයගේ ප්‍රේමය මා සසල කර තිබුනා.

සුසුමක් හෙලු  මා වාඩි වී සිටි පුටුවෙන් නැගිට්ටේ මෙත්සරා තවමත්  නොපැමිණීම ගැන සිතමින්.මා දහවල් තරුල්‍යා සමග ගමනින් පසු කාමරයට පැමිණෙන විටත් කාමරයේ නොසිටි ඇය නගරයට ගිය බව මට පැවසුවේ හෝටල් සේවිකාවක විසිනි.හිරු අවරට යමින් තිබියදීත් ඇය තවත් නොපැමිණීම නිසාවෙන් මම දුරකථනය අතට ගත්තේ ඇයට දුරකථන ඇමතුමක් දීමේ අදහසින්.

එත් සමගම සංචාරක නිවහනේ ගේට්ටුවෙන් ඇතුලට පිවිසෙන කාරයකුත් ඒ තුල සිටින මෙත්සරා ත් මගේ සිත කුතුහලයට පත් කරා.කාරයෙන් බැස ගත් මෙත්සරා එහි සිටි අනිත් පුද්ගලයා බසින තුරු සිටි අතර මමද මහත් උවමනාවෙන් ඒ දෙස බලා සිටියා.ලෝචන කාරයෙන් බසිද්දී හා ඔහු ඉතා ලෙන්ගතු ආකාරයෙන් මෙත්සරාට සමු දෙද්දී මම තව තවත් පුදුමයට පත් වුනා.

"මෙත්සරා ලෝචන අදුරන්නේ කොහොමද" මම මටම කියාගත්තේ ඒ පුදුමය නිසාමයි.

සුළු මොහොතකින් මෙත්සරා කාමරයට ආවා.

"කොහෙද ගියේ?" මා ඇසුවේ ලෝචන ගැනත් දැනගැනීමේ උවමනාවෙන්

"කැලුම් අයියා...." ඇය මගේ ප්‍රශ්නයට උත්තර දෙනු වෙනුවට මා දෙස හොදින් බැලුවා.

ඒ දෙනෙත් වේදනාවකින් පිරි තිබුනා.ඒ මුහුණ රතු වී තිබුනා.

"අපි වෙන් වෙමු.ඔයාට පුළුවන් ඔයාගේ තරුල්‍යා ලගට යන්න"

ඇයගේ වදනින් මා සසල වුනා.

************************************************************************************************************************************

හදවත සසලව ගොසිනි...

මගේ ප්‍රේමය නොදන්නා තැනක නතර වී ගොසිනි...

මගේ ජීවිතය මා හැර යන්නට සුදානිමිනි....

ප්‍රේමයත් ජීවිතයත් අතර තැනක මා අතරමංව ගොසිනි 💖

No comments:

Post a Comment