Thursday, April 16, 2020

වසන්තය සිහිනයක් - 03



ඇය පඩිපෙළින් බැහැගෙන එන දිහා මං බලන් හිටියේ හැගීම් ගොන්නකින් හිත පිරෙද්දී.ඇයගේ හැගීම් විරහිත මුණ ඇයත් මං වගේම නොසන්සුන්තාවයකින් පෙලෙන බව මට ඉගි කරා.සෙමින් සෙමින් මං ලගට ආපු ඇය මගේ ලගින් නැවතුනා.ඉස්සර වගේම ඇගෙ ලග රෝස මල්  සුවදක් පැතිරෙමින් තිබුනා.

"ම්ම්ම්... තරු...නෑ මේ තරුල්‍යා... ගුණවර්ධන අන්කල් කිව්වා එයාගේ ෆයිල් වගයක් ඔයා ලග ඇති කියලා.මට පොඩ්ඩක් බලන්න පුලුවන්ද ?" නිතරම කියවලා පුරුදු වුනු නම එක පාරම කියවෙද්දී ඇය මගේ මුහුණ දිහා තියුණු බැල්මක් හෙලුවත් මගේ නිවැරදි කිරීමත් එක්කම නැවත මගෙන් ඇස් ඉවතට හරවා ගත්තා.

අවුරුදු 3කට පස්සේ වුනත් අවුරුදු 5කට වැඩි කාලයක ආමන්ත්‍රණයක් එක පාර කොහොම වෙනස් කරන්නද?  ඇයට තරම් ඉක්මනට මට ඒ සියල්ල අමතක කල නොහැකි බව ඇයට තේරෙන්නේ නැතුවද? තත්පර ගානක් තුල මගේ මනස සිතුවිලි වලින් පිරෙද්දී ඇය කතා කරා.

" ඔෆිස් රුම් එකේ තියෙන්නේ.එන්න මං පෙන්නනම්" එහෙම කියාගෙනම ඇය ඉස්සර වෙද්දී මං ඒ පිටිපස්සෙන් ගියා.

කාමරේ අල්මාරිය ඇතුලෙන් ලිපිගොනු ගොඩක් අරගෙන මේසේ උඩ තියපු ඇය මං දිහාවට හැරුනා.

"මේ ටික තමයි තියෙන්නේ.බලලා ආපහු ඇතුලට දාන්න" මා දෙසවත් නොබලා එසේ පැවසු ඇය ඉක්මන් ගමනින් කාමරෙන් එලියට ගියා.ඇය යන දෙස බලන් හිටි මට ඉබේටම සුසුමක් හෙලුනා.

' මේ තරමටම දුරස් වෙන්න තරම් සිදු වුනේ මොකක්ද? එහෙම වුනේ කොහොමද? මං අදටත් හිතනවා.අදටත් ඇය ලගදී මගේ පපුවේ ගැස්ම වැඩි වෙනවා.තාමත් ලෝකේ ලස්සන හිනාව මට ඇගෙන් පේනවා.තාමත් ඇය ලග මට මං ආසම රෝස සුවද දැනෙනවා.තාමත් ඒ හැගීම් ඒ විදියමයි.ඇය මට තවමත් ඒ වගේමයි  ' හදවතට දැනෙන හැගීම් මැඩගනිමින් මම මේසය මත තිබුණු ලිපිගොනු අතට ගත්තා.

ගුණවර්ධන අන්කල් රටේ ප්‍රධාන පෙලේ නීතිවේදියෙක් වගේම පවුලේ ලගම හිතවතෙක් වුනු නිසාම අපේ මේ වෙද්දී ඉතුරු වෙලා තියෙන ඉඩම් වල වැඩකටයුතු බාර ගත්ත එක ලොකු සැනසීමක් වුනේ අවුරුදු 2ක් පිටරටක උසස් අධ්‍යාපනය හදාරලා ආපු මට මේ දේවල් වල ලොකු උවමනාවක්වත් තෙරුමක්වත් නොතිබුණු නිසා.ඒත් මේ ඉඩම් ගැන බලන්න ආපහු යන්න වෙනවා කියද්දී මං බොහොම කැමැත්තෙන් ඒකට එකග වුනේ....තරුල්‍යා නිසා....මට එයාව බලන්න ඕනේ නිසා..

අන්කල් කියපු විදියට අදාළ ලිපිගොනු කිහිපයක  ජයාරූප කිහිපයක් ගත්තට පස්සේ මම ලිපිගොනු ටික ආපහු තියද්දීම මට සේවිකාවක් විසින් ගෙනත් දීපු දොඩම් යුෂ වීදුරුවක් ලැබුනා.දොඩම් යුෂ වීදුරුව පානය කරන අතරතුරේදී මේසය මත තිබුණු පෑන් රදවනයකට එකපාරම ඇස් යොමු වුනේ එහි තිබුණු හුරුපුරුදු  පෙනුම නිසාමයි.

'මේ..මේක....' වසර ගණනාවකට පෙර විදුහලේ වාණිජ උත්සවයට ආධාර පිණිස නිර්මාණය වුනු මෙය තවමත් මෙතන තිබීම ගැන එක පාරටම ඇති වුනේ පුදුමයක්.ඒත් එතන සිට එය බලමින් සිටීමට තරම් කාලයක් නොවුයෙන් ඉක්මනින්ම මම කාමරයෙන් පිට වුනේ නැවත කච්චේරියට යාමට පෙර එක් ඇසිල්ලකට හෝ තරුල්‍යා දැක ගැනීමේ අරමුණින් යුක්තවයි.

ඒ නමුත් ආලින්දයේ කොහෙවත් ඇයගේ සලකුණක්වත් නොමැති තැන මම පිළිගැනීමේ කවුන්ටරය දෙසට හැරුනා.

"තරුල්‍යා මිස්...." 

"මිස් පුස්තකාලෙට ගියා සර් " 

"ආ..එහෙනම් මම ගියා කියන්න.ෆයිල් ටික තිබ්බ විදියටම දැම්මා මම " මම කිව්වේ තරුල්යාව දැක ගන්න නොහැකි වීමේ පසුතැවීමෙන් 

එතනින් පිට වුනු මම කැබ් රථයේ ඉදිරිපස අසුනට බර වුනා.කැබ් රථය ඉදිරියට ඇදෙනවත් එක්කම සුපුරුදු මංමාවත් කුඩා දිය පහරවල් සොදුරු මල් ගොමු මගේ දර්ශන පථයට ගෙනාවේ සුන්දර හැගීමක්.ඒ සොදුරු දසුන් මට නැවතත් තරුල්‍යා, නැත්තම් මං හැමදාමත් එයාට කිව්වා වගේ මගේ තරු කැටය මගේ මතකයට ගෙනාවා.මේසේ උඩ තිබුණු ඒ පෑන් රදවනය අපේ මුල්ම දිනවල සැමරුමක්.ඒ දිනය මගේ මතකයේ රැදුණු සොදුරුතම දිනයක්.

එකම පාසලේ වෙනස් විෂයන් හැදෑරුවා වුනත් අවුරුදු ගානක ඉදන් පාසලේදී තරුල්‍යා ව දැකලා කතා කරලා තිබුනා වුනත් උසස් පෙළ අමතර පන්ති යාමත් එක්ක ඇයගේ දසුන මට තවත් සාමාන්‍ය දසුනක් වුනේ නෑ.සම්පුර්ණ වෙනස් විෂයන් වුනත් ඇය සහභාගි වූ සෑම පන්තියක්ම මගේ පන්ති තිබුණු තැන් වලම ඒ වෙලාවල් වලටම යෙදිලා තිබීමත් මේකට ප්‍රධානම හේතුවක් වුනා.

ඒ මගේ වයස නිසා ඇති වුනු හැගිමක්ද.., හැමදාම පාසල් නිල ඇදුමෙන් විතරක්ම දැකපු ඇයව වෙනස් ස්වරූපයකින් දුටු නිසාද...., එහෙමත් නැත්තම් පාසලේදී දකින්න නොලැබෙන දගකාරකමක් අමතර පන්ති අසලදී දුටුවා නිසාද කියලා මට හිතාගන්න බැරි වුනත් ටිකෙන් ටික ඇය මටත් නොදැනීම මගේ හිතට ලං වෙලා තිබුනා.

ඒ 2009 වසර, මාර්තු 23....., මට ඒ දිනය හොදින් මතකයි.මොකද ඒ තරුල්‍යා ගේ උපන්දිනයට පහුවදා.මම ඇයට පෑන් රදවනය දීපු දවස...

පාසල් වාර්ෂික ක්‍රිකට් තරගාවලිය සදහා පුහුණුවීම් නිමා කරපු මම වෙනදාටත් කලින්ම ආර්ථික විද්‍යා පන්ති භූමියට ආවේ අද ඇය හමුවන බව දැනසිටිය නිසා.එහෙම හමුවන්න තරමට ඒ  වෙද්දී කිසිම සබදකමක් නොතිබුණු අපේ තිබුණු එකම අවශ්‍යතාවය වුනේ ඊට පෙරදා ඇයට මම අරන් දීපු පන්ති කාර්ඩ් එකක මුදල් නැවත ලබාගැනීම  පමණයි.මම කෙසේ වුනත් ඇය සිතුවේ එහෙමයි.

ඒ වෙද්දීත් පන්ති භුමිය පුරා ළමයි පිරිලා හිටියේ හවස 3ට පටන් ගන්න පන්ති ගණනාවක් තිබුණු නිසා.මං සුපුරුදු ජම්බු ගස ලගට යන විටත් මගේ මිතුරන් එතන එක්රැස් වී සිටියා.

"ආ...වරෙන් වරෙන් කැප්ටන්..උබේ දැන් හේන ලොකු සීන් නේද මැච් එකත් ලග නිසා" මාව දැකපු ධනුෂ්ක කියද්දී මං හිනා වෙලා උගේ කරට අතක් දාගත්තා.

"මේ දවස් වල දාන්නේ නැති ලොකු සීන් වලින් වැඩක්ද බන්" මං කියද්දී ධනුෂ්ක හිනා වුනා.

"මේ දවස් වල? අනේ පලයන්...උබේ කොහොමත් ලොකු ලයින් වැඩියි.බලහන් වෙන ඉස්කෝලෙක ක්‍රිකට් කැප්ටන් කියන්නේ කෙල්ලෝ වැහි වැහැලා.කොටින්ම ඒකට වැඩි කෙල්ලෝ රන් කරන්නේ උගේ යාළුවො.එකටත් එක්ක මු...මු කරගන්නෙත් නෑ.අපට කරලා දෙන්නෙත් නෑ " මුදිත කියද්දී සෙට් එකම හිනා වෙන්න ගත්තා.

"කවුද යකෝ ඉතින් උබට කරගන්න එපා කිව්වේ...උබ කරගනින් අපි සප් එක දෙන්නම්" මං කියද්දී අනිත් එවුනුත් ඔලුව වැනුවා.

"ඔව් මේ උබට කරගන්න බැරි වුනු එකේ වැරැද්ද කැලුමාගේ පිටින් දාන්න හදන්න එපා.උබට කෙල්ලෝ කැමති නෑ..ඒකයි මෙතන ඇත්තම කතාව.අන්න ඒක පිලිගනින් " චමෝද් කියද්දී සේරම එකතු වෙලා මුදිතව බයිට් එකට ගන්න අතරතුර මගේ ඇස් ගියේ යාළුවොත් එක්ක කියව කියව ඉන්න තරුල්‍යා දිහාවට.කීප සැරයක්ම ඒ දෑස් මගේ දිහාවට යොමු වෙනවා දැක්කත් මං හිතාමතාම ඒ ඇස් මග ඇරියා.

ටික වෙලාවකින් යාලුවෙකුත් එක්ක අපේ පැත්තට එන තරුල්‍යා ව ඇස් කොනින් පෙනුණු මගේ හද ගැස්ම කවදාවත් නැතුව වැඩි වෙන්න ගත්තේ හදවත මහත් නොසන්සුන්කමකින් පුරවලා.

"ආ..තරුල්‍යා හැපී බර්ත් ඩේ..ඊයේ අපටත් නොදීම කේක්  කෑවා නේද ?" තරුල්‍යා ලගට එද්දිම විසල් අහද්දී මට දැනුනේ ලොකු පුදුමයක් .

'ඒ කියන්නේ ඊයේ තරුල්‍යා ගේ බර්ත් ඩේ එක.ශිකේ...මං දන්නේ නෑනේ එක.අපරාදේ ශෝක් එකට විශ් කරන්න තිබ්බා.උබ නම් මහා ගොනෙක් කැලුම්' මගේ හිත ඇතුලෙන් කෑගහද්දී තරුල්‍යා ලස්සනට හිනා වුනා.

"තැනක් යු විසල්" 

"මු කියවන්නේ හරියට මුගේ බර්ත් ඩේ එකට අපට කේක් දෙනවා වගේ නේ " තරුල්‍යා එක්ක එතනට ආපු නිමාෂා කියද්දී තරුල්‍යා මං දිහාවට හැරුනා.

"මෙන්න...." ඇය  සල්ලි මං දිහාවට දික් කරා.සල්ලි අතට ගත්ත මම මගේ බෑග් එක ඇරලා මෙවර පාසලේ වාණිජ උත්සවයට ආධාර පිණිස විකුණන පෑන් රදවනය අතට ගත්තා.

ආ...මේක ගන්න" මම දීපු පෑන් රදවනට ඇය ගත්තේ පුදුමයෙන්.

"මේක මේ..අපේ ඉස්කෝලේ එකක්නේ" ඇය කිව්වේ ඒ පුදුමයෙන්මයි 

"ඔව් මේ තාම අනිත් සෙක්ෂන් වලට දාලා නෑ.ලගදීම දානවා.නේද බන් ?" එහෙම කියන ගමන්ම මම ධනුෂ්ක දිහා බලද්දී ඉගිය තේරුම් ගත්ත ධනුෂ්ක හිනා වුනා.

"ඔව් ඔව් හෙට අනිද්දම දානවා සේල් එකට" ධනුෂ්ක කිව්වේ කටකොනකින් මං දිහා බලන් ඉගි කරන ගමන්.

"මේකට සල්ලි එතකොට..." තරුල්‍යා ඇහුවේ පෑන් රදවනය හොදින් පරික්ෂා කරන ගමන්මයි.

"සල්ලි එපා...සල්ලි එපා..මේක අපි ගානේ..." මුදිත හරි ඉක්මනින් කිව්වා.

"අපෙන් කිව්වට...මේක අපෙන්මත් නෙවෙයි.නේද මචන් " විසල් මගේ කරට අතක් දාගෙන මගේ මුනට එබෙද්දි ඊළගට වෙන්න යන දේ නම් එච්චරම හොද දෙයක් නොවන බව මට දැනෙමින් තිබුනා.

"තැනක් යු...අපි යනවා එහෙනම්...." එහෙම කියලා යන්න හැරුණු තරුල්‍යා ගේ මුහුණ ලා රතු පැහැයකින් වර්ණ ගැන්විලා තිබුනා 

ඒත් එක්කම ඇහුනු උගුර පාදන හඩක් නිසා හැරිලා බලපු මම දැක්කේ අමුතුම හිනාවකින් මං දිහා බලාගෙන ඉන්න කොල්ලෝ කණ්ඩායම.මුන් ටික දැන් මාව අමුවෙන්ම අනුභව කරන බව තේරුනත් ඒකට කරන්න දෙයක් තිබුනේ නෑ.

"මොකද මචන් මල් පිපෙනවද?" විසල් කට කොනකින් හිනා වෙලා අහද්දීම යන්න ගියපු තරුල්‍යා ආපහු එතනට ආවේ හිතාගන්න බැරි විදියට.

"මේ...මේක ඔයාට" එක පාරට පොඩි බෑග් එකක් මගේ අතට දීපු තරුල්‍යා එතනින් ගියේ හිතාගන්නත් බැරි වේගෙකින්.

"යකෝ...ඒ මොනවද?"

"දීපන් බලන්න..."

"කේක් යකෝ..කේක්...බර්ත් ඩේ කේක්..."

"මෙච්චර දෙයක් වුනේ කොහොමද බන් අපි දන්නේ නැතුව .." කොල්ලෝ ටික කියවන ඒවාට හිනා වෙන අතරේ වුනත් මගේ ඇස් තිබුනේ පන්තියට ඇතුල් වෙන පෝලිමේ ඉන්න තරුල්‍යා ලග...

"සුපෙම් සුවදක් අරන්...ඇවිත් සුවදක් ලෙසින්...."

එක් වරම ඇහුනු ජංගම දුරකථනය නාද වෙන හඩ මාව නැවතත් පියවි ලෝකයට ගෙනාවා.

දුරකථන තිරය දුටු මට සුසුමක් පිට වුනා.

තරුල්‍යා සමග ඇති හදවතේ බැදීමට පිටතින් මට නීතිමය බැදීමක් තියෙන බව මට සිහිපත් වුනා..

ඔව්..ඒ මගේ අනාගත පතිනිය...වසර දෙකකටපෙර නීතියට අනුව මගේ බිරීද වූ ඇය මෙත්සරා දහනායක...

*****************************************************************************************

අයිති කරගැනීම ආදරය නොවන කල ඇයගේ කැමැත්තට ජිවත් වීම ආදරය ලෙස නිර්වචනය විය..

මේ ,
පිටතින් අත්හල 
හදවතින් බැදුණු 
මගේ කතාවයි...

මගෙත් ඇයගේත් ආදර කතාවයි 💖

No comments:

Post a Comment