Tuesday, April 28, 2020

වසන්තය සිහිනයක් - 12



තරුල්‍යා ගේ මවගේ අවමංගල්‍ය උත්සවය අවසන්ව දින කිහිපයක් ගත වී ඇති මුත් තවමත් කැලුම් ට නිවසට යාමේ උනන්දුවක් ඇති බව නොපෙනීම මගේ හිතට කනස්සල්ලක් ඇති කර තිබුනා.මගේ මවත් කැලුම් ගේ මවත් මේ වද්දී අපගේ විවාහ මංගල්‍ය සදහා සුදානම් වෙමින් සිටියා.ඔවුන් මට අමතා නැවත පැමිණෙන ලෙස කිහිප වතාවක්ම කීවත් කැලුම් නොමැතිව එහි යාමට මගේ කැමැත්තක් තිබුනේ නෑ.මේ ගැන කිහිප වතාවක්ම කැලුම් සමග කිව්වත් ඔහුට ඒ ගැන කිසිදු උනන්දුවක් තිබුනේ නෑ.

මේ සියල්ල සිතමින් මම එළියේ සිටින කැලුම් දෙසට ගමන් කරේ නැවතත් ඔහුට මේ ගැන කියන අදහසින්.නමුත් ඒ වන විටත් කැලුම් සමග කතාබහක යෙදී සිටි ලෝචන දුටු මම ගමනේ වේගය අඩු කරා.

ලෝචන මා හදුනාගත්තේ මගේ හොදම මිතුරියගේ ක්‍රෂ් එක වශයෙනි.මා ඇමරිකාවේ කැලුම් සමග ඉගෙනුම ලබද්දී ඇය,එංගන්තයේ සිට ඔහුගේ පින්තුර එව්වේ ඇය සමග එකට ඉගෙන ගන්නා ක්‍රෂ් එක ලෙස කියමිනි.නමුත් ටික දිනකින්ම ඇය නැවතත් මා හට කිවේ ලොචනට ලංකාවේ පෙම්වතියක සිටින බවත් ඇය ද ඔහුගේ පාසලේ මිතුරියක බවත් ය.එමෙන්ම ඇය මට ඔවුන් දෙදෙනාගේ ජායාරුපද ඒවා තිබිණි.එසේ හෙයින් ලෝචන තරුල්‍යා විවාහ කරගන්නා කතාව මට මහත් පුදුමයක් වුයේ ඒ ලෝචනගේ පෙම්වතිය ලෙස ජායාරුප වල සිටි තැනැත්තිය නිසැකයෙන්ම තරුල්‍යා නොවූ නිසාවෙනි.

කැලුම් සහ ලෝචන අසලට ලගා වනවාත් සමගම ලෝචන කියූ වදනක් මගේ සිත නොසන්සුන කරා.

"මම මේක උබට කියන්නේ නෑ කියලා හිටියේ  මචන්.එත් මට තරුල්‍යා ට බෑ කියන්න බැරි නිසා කියන්නේ.තරුල්‍යා ට උබව හම්බෙන්න ඕනේ කිව්වා.තනියම.හෙට උදේ 9ට ඔරලෝසු කනුව ලග ඉන්නවා කිව්වා.උබේ වාහනෙන් පලයන්.යන්නේ නැත්තම් දැන්ම මට කියපන් මම තරුල්‍යා ට කියන්නම්"

ඔහුගේ වදනින් කැලුම්ගේ මුහුණ වෙනස් වනු දුටු මගේ හදවතේ ගැස්ම වැඩි වුනා.

"මම එන්නම්..." ඔහුගේ ඒ වදන් මා කම්පනය කරා.

එක් සැනෙකින් මට පෙර දිනයක තරුල්‍යා හා වූ සංවාදයක් මතකයට නැගුනා.

ඒ ඇයගේ මවගේ අවමංගල්‍ය උත්සවයේ අවසන් දිනයයි.උදෑසන සිටම පැමිණෙන අයටසංග්‍රහ කිරීමට උදව් කල මම තරුල්‍යා ගේ කාමරයට ගියේ හදිසියේ නගරයට යන නිසා ඇයට අවශ්‍ය යමක් තිබේදැයි ඇසීම ටයි.මා යන විට තරුල්‍යා ඇදෙ වැතිරී සිටියා.

"තරුල්‍යා අක්කේ..." මා අසද්දී ඇය සෙමින් ඔලුව ඔසවා බැලුවා

"එන්න නංගි.."

"අක්කට සනීප නැද්ද" මම ඇහුවේ ඇය ලගින් වාඩි වෙන ගමන්.

"එහෙම ලොකු අමාරුවක් නෑ නංගි.ඔලුව ටිකක් රිදෙනවා"

"මම මොනවද කරන්න ඕනේ" මා එසේ අසද්දී ඇය දෑස් විසල් කර මා දෙස බැලුවා.

"අතන පඩිය උඩ මගේ සිද්දාලේප එක ඇති.ඒක අරන් දෙනවද?" ඇය කිව් නිසා මම ඒ විසල් කාමරය හරහා ඒ දෙසට ගමන් කරා.

"ඔයා කැලුම් ට ආදරෙයි නේද?" එකවර ඇසුණු පැනය මා මොහොතකට නිසල කරා.ඇය දෙසට හැරුණු මම සිද්දාලේප කුප්පිය ඇය අතට දෙද්දීත් ඇය මගෙන් පිළිතුරක් බලාපොරොත්තුවෙන් මා දෙස බලා සිටියා.

" ඔව්..." මම එසේ පිළිතුරු දුන්නා.ඇය එය කෙසේ දැනගත්තා වුවත් සත්‍ය ඇයට සැගවීමට මට අවශ්‍ය වුනේ නෑ

"ඒත් කැලුම් ආදරේ මට..." ඇය කියද්දී මම ඇයගේ දෑස් දෙස බැලුවා.ඒ දෑස් කැලුම් ගේ ආදරය ගැන විශ්වාසයෙන් පිරි තිබුනා.

"ඔයා කොහොමද එහෙම කියන්නේ? දැන් අවුරුදු දෙකක්.කැලුම් අයියගේ හිත වෙනස් වෙලා වෙන්නත් පුළුවන්" සැලෙන කටහඩින් මා කියද්දී ඇය සියුම් සිනාවක් පෑවා.

"ඒ කියන්නේ තාම කැලුම් ඔයාට ආදරෙයි කියලත් නෑනේ නේද?"

"වචනෙන්ම කියන්න ඕනෙත් නෑ නේද?" එක්වරම මා අසද්දී ඇය නිහඩ වුනා.

"මම ඔයාට ඔප්පු කරොත් කැලුම් ආදරේ මටයි කියලා ඔයා මොකද කරන්නේ?" ඇයගේ ඒ බලාපොරොත්තු නොවූ පැනයෙන් මා සසල වුනා.

"මම එහෙනම් එයාව ඔයාට දෙනවා" මා එසේ කියද්දී ඇය මා දෙස හොදින බලා සිටියා

"එහෙම පුලුවන්ද?"

"පුළුවන්..කැලුම් අයියගේ සතුට ඒක නම් මං එක කරනවා" මම එසේ කියා ආපසු යන්න හැරෙද්දී ඇය නැවතත් මට කතා කරා.

"අපි බලමු නංගි කැලුම් අයියගේ සතුට තියෙන්නේ කොහෙද කියලා?" ඇය සිහින් සරින් කියද්දී මම කාමරයෙන් පිට වුනා.තව දුරටත් කාමරයට ගිය හෙතුවවත් අමතකව මා නාන කාමරයට වැදුණු අයුරුත් එහි සිට ඉකි ගසමින් හැඩු අයුරුත් මගේ මතකයට ආවා.

දැන් මේ තරුල්‍යා සැරසෙන්නේ කැලුම් ගේ හිතේ ඇයට ඇති ආදරය ඔප්පු කිරීමටද මගේ හදවත එසේ අසද්දී මම සුසුමක් හෙලුවා.

තවදුරටත් කැලුම් සමග නිවසට යාමක් ගැන කතා නොකළ මම ඔහුට නොපෙනීම ආපසු හැරුනා.

එදා රෑ ඔහු මට නැවත නිවසට යන ලෙසත් ඔහු හෙට දිනයේ නැවතත් කච්චේරියේ වැඩ සදහා පිටත් වන බවත් පවසද්දී මගේ සිතේ පීඩනය පුපුරා හැලුනා.

"ඔයා ආපහු තරුල්‍යා අක්කා ලගට යන්නද හදන්නේ ?" මා එසේ අසද්දී ඔහුගේ දෙනෙත් විසල් වුනා

"මෙත්සරා මම..." ඔහු නොසන්සුන් වදනින් කතාව ආරම්භ කලත් මගේ පීඩනය ඊට වඩා ඉක්මන් වුනා.

"මම  ඔයාට යන්න දෙන්නේ නෑ තරුල්‍යා අක්කා ලගට..එයාට ඔයාව කොච්චර ඕනේ කිව්වත් මම දෙන්නේ නෑ ඔයාව එයාට" මම කියද්දී ඔහු පුදුමෙන් මා දෙස බලා සිටියා.

"මෙත්සරා...ඇයි එහෙම කියන්නේ? " ඔහු පුදුමයෙන් අසද්දී මගේ දෙනෙතින් කදුළු ගලන්නට පටන් ගත්තා.

"එහෙම තමයි.අවුරුදු දෙකක් පුරා ඔයා මාත් එක්ක හිටියේ.දැන් මේ එක පාරට කොහොමද එහෙම යන්න දෙන්නේ? නෑ කියටවත් එක වෙන්නේ නෑ.එයා කවුද එහෙම මගෙන් ඔයාව ගන්න.එයා හිටපු කෙල්ලනේ.මම ඉන්න වයිෆ්"

"ඔය ඇති මෙත්සරා.මොනවද මේ කියවන්නේ? පිස්සුද ඔයාට" මගේ කියවීම වැඩි වී දෝ ඔහු තරහෙන් අසද්දී මගේ සිත තවත් වේදනාවේ පිරි ගියා

"ඔව් ඔව් මට තමා පිස්සු.මට පිස්සු තමා හොදටම" මම ඇද මතින් වාඩි වද්දී ඔහු මා අසලින් වාඩි වුනා.ඔහු මා සමීපයේ පසු වීමත් මට මා ගැනම මහත් අනුකම්පාවක් ඇති කරා.

"මං ඔයාට ආදරෙයි කැලුම් අයියේ...දුක නැද්ද ඔයාට මං ගැන" මා ගැනම දැනුනු  අනුකම්පාවෙන්ම මම මගේ සිතේ හැගීම් වචන කරද්දී ඔහු මගේ හිස අතගෑවා.කොපමණ වෙලා එසේ සිටියා දැයි අමතක මුත් එක් මොහොතක මට නින්ද ගොස් තිබුනා.

පසුදා උදෑසන මා නැගිටිනවිටත් ඔහු යන්න ගොස් තිබුනා.මා කලබලයෙන් සුදානම් වී සංචාරක නිවහනෙන් එලියට ආවා.කැලුම් තරුල්‍යා මුණ ගැසීමට ගිය බව මට විශ්වාස වුනා.ඔහුන් ගියේ කොහිදැයි කතා කරේ මොනවාදැයි දැනගැනීමට මට අවශ්‍ය වුනා.

තරුල්‍යා කීවාක් මෙන් ඔහුගේ සිතේ මා ගැන සියුම් හැගීමක් හෝ නැද්දැයි දැනගැනීමට මට ඕනා වුනා.

පාරෙන් කුලී රියකට ගොඩ වූ මා පෙම්වතුන් හමුවන ස්ථානයකට මා රැගෙන යන ලෙස පැවසුවේ මෙහි එවැනි තැන ගැන මට කිසිම අවබෝධයක් නොතිබුණු නිසා.කුමක්දෝ හේතුවකට තරුල්‍යා කැලුම් රැගෙන ඔවුන් පෙරදා මුණගැසුණු තැනකට යාවි යැයි මගේ සිතට දැනෙමින් තිබුනා.

මගේ පියාගේ වයසේ රියදුරෙකු වූ කුලී රථයේ රියදුරු මහතා මගෙන් ප්‍රශ්න නොවිමසීම මට මහත් සැනසිල්ලක් වුනා.පළමුව නගරයේ ඇති පෙම් උයනකට ගිය මුත් එහි කොතනකවත් කැලුම් දකින්නට නොසිටි හෙයින් අප නැවතත් පිටත් වුනා.අතරමග පන්සල් දෙකක පවා මා නැවතී බැලුවේ අහම්බයකින් හෝ ඔවුන් එහි සිටීදැයි සිතමිනුයි.

අවසානයේ අප වැව කණ්ඩියක් අසල වාහනය නවත්ද්දී ඒ අසල නවතා තිබු කැලුම්ගේ වාහනය මගේ සිත නැවතත් නොසන්සුන් කළා.වැවේ සුන්දරත්වයත් හමා යන මද සුළගත් අතරින් ඈත අතිනත් පටලා ඇවිද යන පෙම් යුවල හදුනාගන්නට මට වැඩි වෙලා ගියේ නෑ.

ඒ දසුන මගේ හදවත කම්පනය කරා.

"ඔව්..කැලුම් ආදරේ තරුල්‍යා ටයි..මගේ හදවත කෑගසද්දී මම නැවතත් වාහනයට නැග්ගා.

තරුල්‍යා ගේ කීම ඇත්තය..කැලුම් වෙනස් වී නැත.ඔහු වෙනස් වන්නේද නැත.තරුල්‍යා ට තරමට තියා ඉතා කුඩා ඉඩක්වත් ඒ හදවත තුල මට නැත.ඇත්තය..මා මේවා දැන නොසිටියා නොවේ.ඔහු මට ආදරය නොකරන බවත් අනුකම්පාවෙන් සලකන බවත් මා දැනසිටියේ පෙර සිටමයි.එහෙත් හිතේ එක් කොනක ඔහු කෙරෙහි බලාපොරොත්තුවක් තිබිණි.ඕනෑම පෙම්වතියක මෙන් ඕනෑම බිරිදක මෙන් මගේ සිතේද පෙරලා ලැබෙන ආදරයක බලාපොරොත්තුවක් තිබුනා.ඒ බලාපොරොත්තුව සුන් වී යද්දී  මම දෑසින් ගලන කදුලැලි පිසදා ගත්තා.

අඩන්නේ මොකටද..ඔහු සතුටින්.එසේ නම් මමත් සතුටින්.එසේ සිතුවත් ඒ සිතන සිතුවිල්ල පවා මගේ හදවත වේදනාවට පත් කරා.

ඒ අතර හදිසියේ කුලී රථය මග නතර වද්දී මම රියදුරු දෙස බැලුවා.

"මේකේ පොඩි ලෙඩක් මිස්..ඉන්න මම බලන්නම්" ඔහු එසේ කියමින් වාහනයෙන් බැස ගත් අතර මමද වාහනයෙන් බැස්සා.

මද වෙලාවක් ගත වද්දී පැමිණි වාහනයක් මා පසුකර ගොස් නැවත මා අසලට පැමිණියේ මා කුතුහලයෙන් බලාසිටියදිමයි.ඒ තුල සිටි ලෝචන මට කතා කරා.

"නංගි කොහෙද මෙහෙ?"

"මේ පොඩි ගමනක් ගියා අයියේ.මේක කැඩුනා නේ" මා කියද්දී ඔහු සුහදව සිනා සුනා.

"ඒ මනුස්සයට සල්ලි දීලා එන්න.මාත් එක්ක යන්න පුළුවන්" ඔහු කියද්දී මම මදක් බලා සිටියා.

"යන්න නංගි" ඔහු නැවතත් කියද්දී මම රියදුරුට මුදල් දී පැමිණ ඔහුගේ වාහනයට නැග්ගා.

ඔහුගේ වාහනයේ ඉදිරිපස ඔහුගේ පෙම්වතියගේ ජායාරුපයක් තබා තිබුනා.ඇය මල් වත්තක් මැද සොදුරු සිනාවකින් සිටියා.මා ඒ දෙස බලා සිටිනු දුටු ලෝචන සිනාසුනා.

"ඒ තරු..තාරකා අත්තනායක.මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්" ඔහු කියද්දී මම මද සිනා පෑවා.මා ඔහු ගැන පෙර සිට දැන සිටි බව ඔහුට කියන්නට මට ඕනේ කරේ නෑ.

"ලගදි බදිනවද?" මම සිහින් සරින් අසද්දී ඔහු සිනා සුනා.

"ඔව්.මම කැලුම් ටත් කියනවා වෙඩින් එක.නංගිත් එන්න" ඔහු කියද්දී මම සිනා සුනා.

ටිකකින් අප සංචාරක නිවහනට ලගා වුනා.මම ඔහුට සමු දී නැවතත් කාමරයට ආවා.ඒ එද්දී කැලුම් කාමරයේ සිටීම මට  පුදුමයකට වඩා සිතට වේදනාවක් ගෙන දුන්නා.ඔහු මගෙන් ඇසු පැනය නොසලකා හරි මම ඔහුට මගේ තීරණය පැවසුවා.

"අපි වෙන් වෙමු.ඔයාට පුළුවන් ඔයාගේ තරුල්‍යා ලගට යන්න" මගේ ප්‍රකාශයෙන් ඔහුගේ මුහුණ වෙනස් වුනා.මම ඒ මුහුණේ වේදනාවක් හෙව්වා.මුහුණ පුරා කම්පනයක් ලියවී තිබුනා.

"ඔයා ඇයි මෙහෙම එක එක පාර එක එක දේවල් කියන්නේ ?" ඔහු විස්මයෙන් අසද්දී මම සුසුමක් හෙලුවා

"ඔයා එයාට ආදරේ නිසා..බය වෙන්න එපා.ලෝචන තරුල්‍යා අක්කා බදින්නේ නෑ ඔයා එහෙම නම් හිතන්නේ" මගේ ඒ කතාවට ඔහුගේ දෙනෙත් විසල් වුනා

"ඒ..ඒ කිව්වේ?.එයාලාගේ වෙඩින් එක තියෙනවනේ" ඔහු ගොත ගසමින් අසද්දී මම අපහසුවෙන් සිනා සුනා.

"ඒ තරුල්‍යා අක්කා නෙවේ.තාරකා අත්තනායක කියලා වෙන ගර්ල් කෙනෙක්" 

"තාරකා..තාරකා අත්තනායක ද  බදින්නේ?" ඔහු විස්මයෙන් අසද්දී මගේ සිත ත කුහුහලයට පත් වුනා .

***********************************************************************************************************

සැබෑය...

වෙන් වීම දුකකි...

එහෙත් ඔබ සතුටින් නම්.... 

ඔව්.. ඔබ වෙනුවෙන් මා වෙන් වන්නම්..💖

2 comments:

  1. කෝ මිසී අර ගණන් මිස්ගේ කතාව.
    කොමෙන්ට් එකක් දාන්ඩ බලන කොට ඒක නෑ නේ. විනාඩි දෙකක් යන්ඩ ඇති ඕනෙමනං.

    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. ඒක පොඩි කාර්මික දෝෂයකින් වෙලා තියෙන්නේ.සමාවෙන්න.දැන් ආපහු දාලා තියෙන්නේ.

      ස්තුතියි

      Delete