Tuesday, April 14, 2020

වසන්තය සිහිනයක් - 01



දවස් ගානක් අකුණු ගහමින් ඇද වැටුණු වැස්ස උදේ වෙද්දී නැවතිලා තිබ්බේ හරි පුදුම විදියට.ජනෙල් වීදුරුවේ බැදිලා තිබුණු මිදුම් වලාවක් දිගේ මගේ ඇගිලි යවද්දී දැනුනු අමුතුම සීතලක් මුළු ඇග ම හිරිවට්ටද්දී මම දිගටම ජනෙල් වීදුරුව දිගේ රටා ඇන්දා.මගේ ඇගිලි තුඩු වලින් ඇදෙන රටා වලින් වීදුරුව දිගේ ජල බින්දු බේරෙද්දී ජනේලෙන් එහා පැත්තේ තිබුණු රතු රෝස පැලේ මගේ දෙනෙතට අහු වුනේ අහම්බයකින් වගේ.

"මලක්...ඒ මලක්ද?" හිතට දැනුනු අමුතුම හැගීමක් එක්ක ඇදෙන් නැගිටගත්තු මම  පාන්දර හීතලට ගල් වෙලා තිබුණු දෙපතුල් වලින්ම රෝස පැලේ දිහාවට පය  තිබ්බේ කියාගන්න බැරි සිතුවිලි ගොඩක් හිත ඇතුලේ තෙරපගෙනමයි.   

පිනි වැටිලා තිබුණු තණ පියස උඩින්  අඩිය තියද්දි දැනුනු ඇග පිච්චිලා යන සිතල පරදවන උණුසුමක් දෙන අලුතෙන් පිබිදෙන රෝස පොහොට්ටුව මගේ සිතට එකතු කරේ මොන වගේ හැගිමක්ද කියලා මට හිතාගන්නත් අමාරුයි.

'ඔව් මට සතුටුයි මල පිපුනට.මේ වත්තේ තියෙන සිය ගානක් මල් පිපෙන රෝස ගස් වලට වඩා අවුරුදු දෙකකින් ආපු පොහොට්ටුව ලස්සනයි මට, ඒත්... ඒත් ඇයි මෙහෙම එක පාරටම..මට හිතාගන්න බෑ..' හිතින් එක එක උත්තර දෙද්දී මම දිගටම පොහොට්ටුව ඇගිලි වලින් සීරුවට පිරිමැද්දා.

"පුංචි නෝනා...ගුඩ් මොර්නින්ග්" සුපුරුදු ආදරණිය කටහඩ දිහාවට මං හැරුනේ මුනේ හිනාවක් එක්කමයි.

"ගුඩ් මෝර්නින් මාමේ.වැස්ස නැවතිලා නේද? " මගේ ප්‍රශ්නෙත් එක්ක ඒ වියපත් දෑස් දිලිසුනේ පුරුදු ලෙන්ගතුකමෙන්මයි.

"ඔව් මැණිකේ.මහා පාන්දර අර මහත්තයා එනවත් එක්කමයි වැස්ස නැවතුනේ" රන්බණ්ඩා මාමා කියද්දී මගේ හිතට දැනුනු කුතුහලේ මගේ ඇස් වලින් පෙනිලදෝ මන්දා රන්බණ්ඩා මාමා හිනා වුනා.

"අර ගුණවර්ධන මහත්තයා කියපු ඉඩම් වැඩ වගේකට එනවා කියපු මහත්තයා" රන්බණ්ඩා මාමා කියද්දී මගේ මතකය අවදි වුනා.මිට සති දෙකකට කලින් ගුණවර්ධන අන්කල් කතා කරලා එයාගේ ලගම හිතවතෙක් සදහා නවාතැන් දෙන ලෙස කරපු ඉල්ලීම ගැන මට ලොකු මතකයක් නොතිබුනේ සංචාරක අවාරයේ අපේ සංචාරක නිවහනෙත් ලොකු කලබලෙකින් තොරව කාමරයක් දෙන්න පුළුවන් කම තියෙන බව දැනගෙන හිටපු නිසාමයි.

"අනේ මට ඒක අමතකම වෙලානේ තිබුනේ.වෙලාවට මාමාට මතක තිබුනේ" මං කියද්දී රන්බණ්ඩා මාමා හිනා වුනා.

"මටත්  මතක තිබ්බේ නෑ නෝනේ.ඊයේ ඒ මහත්තයා කෝල් කරා මෙහෙට නෝනා පුස්තකාලෙට ගිය වෙලේ."

"අනේ මැණිකේ මෙතනද? මං හැමතැනම හෙව්වා" එත් එක්කම ඇහුනු කටහඩට මං හැරිලා බැලුවා.

"මං මේ වැස්ස පායලා නිසා එලියට ආවා විමලා නැන්දේ" එහෙම කියාගෙනම මං ඇතුලට යන්න හැරුනේ මගේ රතු රෝස පොහොට්ටුව දිහා තවත් පාරක් බලලමයි.

"ඔය හැටි හොයන්න අපේ පුංචි නෝනා බබෙක් කියලද උබ හිතන් ඉන්නේ" මාත් එක්ක කතා කරන එක නැවතුනු හිතේ අමාරුවට රන්බණ්ඩා මාමා කියවද්දී මං ආයෙමත් හැරුනා.

"බබෙක් තමා මට නම්.මේ මගේ මැණිකේ නේ " විමලා නැන්දාකියද්දී මං හිනාව නවත්ත ගත්තේ මේ පොඩි පොඩි රණ්ඩු වලින් පෙන ආදරේට මං ආස නිසාමයි.

"අයියෝ හරි හරි අද රෑට ඔයාලා දෙන්නත් එක්ක තමා මං කන්නේ.හරිද දැන්? එතකොට ඇති වෙන්න කතා කරමු. මාමාට පුළුවන් නම් ඉස්කෝලේ මහත්තයලගේ ගෙදරටත් කිරි බෝතලයක් ගිහින් දීලා එනවද? ඊයේ කිව්වා අද එවන්න කියලා " මං කියද්දී රන්බණ්ඩා මාමා ඔලුව වැනුවේ හිනා වෙන ගමන්මයි.

"විමලා නැන්දේ අම්මා නැගිටලාද?" ඇතුලට යන්න හැරෙන ගමන් මං ඇහුවේ අම්මා ගැන බලන්නෙත් නැතුව පහලට දුවලා ආපු පසුතැවිල්ලෙන්මයි.

"ඔව් නෝනා.ලොකු නෝනා නැගිටලා ටීවී බලනවා.දත් මැදලා මුනත් හෝදලා ඉන්නේ" විමලා නැන්දා කියද්දී හිතට දැනුනේ ලොකු සැනසීමක්.

"එහෙනම් අද හොදින් වගේ නේද?" මං අහද්දී විමලා නැන්දා ඔලුව වැනුවා.

මහා ලොකු සෙනගක් නැති නිසාම පාලුවට ගියපු සංචාරක නිවහනේ පැති දොරින් ඇතුළු වෙන අපේ පෞද්ගලික නිවහන පැත්තට මං පිය නැගුවේ අම්මව බලන්න හිතාගෙන.

තාත්තගේ මහා ගෙදර වුනු මේ ලොකු බංගලාව සංචාරක නිවහනක් කරේ තාත්තා ජිවතුන් අතරේ ඉන්න කාලෙදිමයි.තාත්තගේ අභාවයත් එක්කම අසනීප වුනු අම්මා නිසා අවුරුද්දක් විතරම නවත්තලා තිබුණු අපේ සංචාරක නිවහන ආයෙම මෙහෙම කරගෙන යන්න උදව් කරේ තාත්තගේ හොදම යාලුවා වුනු ගුණවර්ධන අන්කල්.එදා ඉදන් දැන් අවුරුදු 3ක් තිස්සේ මේක කරගෙන යන්නේ මම.විශ්ව විද්‍යාල උපාධියක් අරගෙන සම්පුර්ණ වෙනස් ජිවිතයක් ප්‍රාර්ථනා කරපු මගේ ජිවිතේ මෙතන නැවතුනේ මොකක් නිසාද කියලා මං වෙලාවකට කල්පනා කරනවා.ඒ තාත්තා නැති වුනු නිසාද අම්මා අසනීප වුනු නිසාද එහෙමත් නැත්තම්....හිතාගන්න බෑ.එත් මේ වෙද්දී මං මේ ජිවිතේ බාර අරගෙන ඉවරයි.

"අම්මා......" මං අම්මට කතා කරේ දොර අරගෙන අම්මගේ කාමරේට යන ගමන්මයි.

"ආ... මේ ඉන්නේ දූ..මං ඇහුවා කෝ කියලා " අම්මා අහිංසක තාලෙට කියද්දී හිතට දැනුනේ පුදුම දුකක්.

තාත්තා නැතිවෙන්නත් කලින් ඉදන්ම ඇවිදින්න අමාරුවෙන් හිටපු අම්මා තාත්තගේ මරණෙන් පස්සේ මානසිකව ගොඩක් දුර්වල වුනේ මට හිතාගන්නත් බැරි ඉක්මනට.අවුරුදු 4කට පස්සේ මේ වෙද්දී අම්මා තවත් දුර්වල වෙලා පොඩි දරුවෙක් ගානටම පත් වෙලා තිබුනා.මාව උස්මහත් කරලා මාව බලාගත්ත ඒ විශාල පෞර්ෂය අද පොඩි දරුවෙක් වගේ හැසිරෙන එක මට ලොකු වේදනාවක් වුනත් කාලය විසින් මට එක දරාගෙන ජිවත් වෙන්න පුරුදු කරවලා තිබුනා.

"මං පහල වත්තේ හිටියේ අම්මා.අද උදේම ඇහැරුනාද? මට සද්දේ ඇහුනෙත් නෑනේ නැගිටිනවා" අම්මා ලග පුටුවකින් වාඩි වෙන ගමන් මං කියද්දී අම්මා හිනා වුනා.

"ඔයා හිටියේ නෑ මං නැගිටිනකොට"

"අම්මා මුණ සේදුවද? දත් මැද්දද? " 

"ඔව්.මං හොද ළමයෙක්නේ.ඒ ඔක්කොම කරා" පොඩි ළමයෙක් වගේ අම්මා කටත් උල් කරගෙන කියද්දී මං හෙමිට අම්මගේ ඔලුව අතගෑවා.

"ආ..ශෝක්නෙ අම්මා.මේ දූ කොන්ඩේ පිරන්නද ?"එහෙම කියන ගමන්ම මං පනාව අරන් අම්මගේ බහුතරක් සුදු පාට වුනු කොන්ඩේ පිලිවලට පීරලා කොන්ඩ කට්ටකුත් ගැහුවා.

"ආ...මේ ඉන්නේ ලස්සනට " මං කිව්වේ අම්මගේ මුණ දිහා බලලා හිනා වෙන ගමන්.

"මෙන්න මෙන්න බලන්නකෝ ශෝක් බල්ලෙක් " එක පාරටම අම්මා ටීවී එකට අත දික් කරලා කියද්දී මටත් ඉබේටම ඒ පැත්ත බැලුනා.

ලොකු බල්ලෙක් බෝලයක් පෙරලගෙන යන දිහා හිනා වේවි බලන් හිටපු අම්මා දිහා බලද්දී හිතට දැනුනු වේදනාව ඉබේටම වගේ සුසුමකින් පිට වෙද්දී මං එතනින් නැගිට්ටා.

"අම්මා මං පහලට ගිහින් කෑම අරන් එන්නම් හොදේ.එතකම් ඔහොම ඉන්න" එහෙම කියාගෙනම පහලට යන්න හැරෙද්දී දැකපු බිම වැටිලා තිබුණු කොලය මාව එතනම නතර කරා.

සමහර දේවල් මොනවද කියලා තේරුම් ගන්න අපට ඒක අතට ගන්නවත් ඕනේ නැති තරමට ඒ දේ අපිව අදුරනවා අපි එක අදුරනවා.ඒ තරමටම අපි එකිනෙකාට සමීපයි.මේ කොළෙත් එහෙමයි.අවුරුදු ගානකින් අතින් අල්ලලා නැතත් මේක මෙතනට ආවේ කොහොමද කියලා හිතාගන්න බැරි වුනත් ඒ කොලේ මාව මොහොතකට එතනම නතර කරා.

අම්මගෙන් ඒ කොලේ එතන බිම වැටුනේ කොහොමද අහන්න හැරිලා බැලුවත් අම්මා උනන්දුවෙන් රුපවාහිනිය නරබනවා පෙනෙද්දී මං ඒ අදහස අමතක කරලා ඒ කොලේ අහුලගත්තා.කොලේ දිග ඇරලා බලන්න හිතට දැනෙන ඕනෑකම අමතක කරන්න හිතාගෙන කොළෙත් අතේ ගුලි කරගත්ත මං පහලට බැස්සා.

පහල තට්ටුවට කිට්ටු කරනවත් එක්කම පෙනුණු ජායාව මගේ ගමන ප්‍රමාද කරා.පුරුදු පෙනුමක් තිබුණු ඒ පිරිමි ජායාව මගේ හිතේ ඇති කරේ බයක්.හදවත මහා හඩින් ගැහෙද්දි  මං පඩිපෙළ බැහැගෙන ඒ පිරිමි ජායාවට තවත් ලං වුනා.ඒ පුරුදු ජායාව කාගේද කියලා හදවත කෑගහලා කියද්දී මං එතනම නතර වුනේ ඒ දැනෙන හැගීම දරාගන්නම බැරි තැනයි.

ඒත් එක්කම හිතා ගන්න බැරි මොහොතක ඔහු මගේ පැත්තට හැරුනා.දෙයියනේ...ඒ ඇස්...එහෙමමයි.ඒ ලස්සන කළු පාට ඇස්. මාවම විතරක් පෙනුණු, පැය ගණන් බලාගෙන හිටපු ඒ ලස්සන ඇස්..

ඒ නළලට වැටුණු කොණ්ඩේ.මං නිතරම අතින් හදන, නළලට හාදුවක් දෙද්දී බැන බැන අතින් උස්සලා ආයෙත් තිබ්බ විදියටම හදන ඒ කොන්ඩේ..

ඒත් කෝ ඒ හිනාව...ඒක නෑනේ..ඒ හිනාව නැතුව ඒ එයා වෙන්න පුලුවන්ද? මාව නිතරම හිනස්සවපු මාව දකිද්දී ඉබේටම ආපු ඒ හිනාව කෝ?  මේ වෙන කෙනෙක් වෙන්න බැරිද?

මහා සිතුවිලි ගොඩක් එක තත්පරෙකින් හිත පුරා යද්දී මගේ අතේ ගුලි වෙලා තිබුණු කොළය ඉබේටම අතින් ගිලිහිලා වැටුනා.

' සුලගක්ව ලගම දැවටෙන...
සුසුමක්ව හිතම පුරවන...
මලක් සේ සුවද දෙන...
ජීවිතය එලිය කල...
මගේ තරු කැටය ;
වසන්තය නුබයි මගේ සිහිනය සැබෑ කල....'

ඇගිලි අතරින් ගිලිහිලා වැටෙන කොලයේ තිබුණු වචන හිත පුරා දිව යද්දී මං ඒ ඇස් දිහා බැලුවා.

ඒ දිලිසෙන ඇස් අවුරුදු 11කට කලින් විදියටම මං දිහා බලන් හිටියා.

' ඔව් ඇත්තමයි...ඒ එයාමයි...එයා ආපහු ඇවිත්...හිතාගන්නත් බැරි විදියට යන්න ගියපු එයා ආපහු ඇවිත්...' 

*****************************************************************************

ආදරය වසන්තයක් නම් මට ඒ වසන්තය සිහිනයක්ම පමණයි...
ඔව් මේ මගේ කතාවයි...
අත්හැරපු....
අත්හරින්න ඉඩ දීපු....
මගෙත් ඔහුගේත් ආදර කතාවයි 💖


5 comments:

  1. හරි ...මේක කියවන්න ඇගිලි ගනිමින්
    ආදරෙයි දම්මි ඒ අකුරු වලට

    ReplyDelete
    Replies
    1. හැමදාමත් වගේ ස්තූතියි ප්‍රභෝ ❤️❤️

      Delete
  2. ලස්සනයි දම්මි....කාලෙකින්...මඟ බලන් හිටියෙ😍😍😍

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ❤️ දිගටම කියවන්න 😘

      Delete