Tuesday, April 28, 2020

ඔව්..මම ගුරුවරියක්


මම ගුරුවරියක්...

ඔව්...ගුරු පත්වීම් ලිපිය ගත්ත දවසටත්  වඩා සතුටින්  අද  මම ඒක කියනවා

එදා ගුරුවරියක් වුනේ උගන්නන්න ආසාවට, 

එත් අද සතුටු වෙන්නේ උන්  මට කතා කරලා, "ටීචර් නිසා මම ඒ ලෙවල් කරනවා" කියන වචන ටිකට.

2018 දී බොහොම කටුක ජිවන රටාවකට හුරු වුනු  සිසුන් පිරිසකගේ පාසලකට පළමු පත්වීම ලෙස ගුරු පත්වීම් ගත්ත මම 2019 මාර්තු ඉදන් සාමාන්‍ය පෙළ ගණිතය උගන්නන්න පටන් ගත්තා.ඒ උගන්නන්නේ සාමාන්‍ය 11 වසර ළමුන් පිරිසකට නෙවෙයි.10 වසරේදී ලකුණු 20 ට වඩා අඩුවෙන් ගත්ත සිසුන් පිරිසකට.හරියටම කිව්වොත් සිසුන් 40කට.

උගන්නන්න පටන් ගත්ත මුල් දිනයේම මම තේරුම් ගත්තා ඔවුන්ට ගණිතයට වඩා ඉගෙන ගන්න ජිවිත කරුණු තියෙන බව.අපි තාමත් තරුණ ගුරුවරියන් නිසා හෝ පාසලට අලුත් වූ නිසා ඔවුන් මා ගැන තැකීමක් කරේ නෑ.ගුරුවරියක් කියා ගරු කිරීමට ආචාර කරන්නවත් නැගිට්ටේ ගැහැණු ළමුන් විතරයි.පිරිමි ළමුන් නැගිට්ටවාගෙන පළමු දවසෙම හොද දේශනයක් දීමට මට සිදු වුනා.

ඊට පසු වුනත් ඒ සම්බන්දව මහා ලොකු හොදක් දකින්න තිබුනේ නෑ.රස්තියාදුකාර වචන භාවිතා කරමින් මුළු වෙලාවේම සිනා සෙමින් සිටි උන්ට පිට රත්වෙන්න හොද පාරවල් කිහිපයක් දුන්නත් එකෙන් සිදු වෙන්නේ මගේ හිත රිදීම පමණක් බව මම පළමු දින දෙකේදීම තේරුම් ගත්තා.

නමුත් මම ඒ සමගම තවත් දේ තේරුම් ගත්තා.ඔවුන්ට ගුටි කා හොද පුරුද්දක් තිබුනා.ගුටි කෑ විට ඔවුන් සද්ද නවත්වා හොදින් ඉගෙන ගන්නා බව පෙන්නුවත් ඇත්තෙන්ම ඔවුන් එසේ නොකළ බව මම තේරුම් ගත්තා.එය මගේ සිත රිදෙව්වා.ඒ වගේම ඔවුන්ගේ ගැටලුව වන්නේ සාමාන්‍ය පෙළ ගණිතය නොවන බවත් සාමාන්‍ය ගණිත සංකල්ප වන එකතු කිරීම අඩු කිරීම ගුණ කිරීම හා බෙදීම පවා උන්ට නොහැකි බවත් මා තේරුම් ගත්තා

ඒ කොහොම වුනත් මේ දරුවන් මෝඩයන් නොවන බව මම ඉක්මනින්ම වටහා ගත්තා.ඔවුන් සමහරක් කියූ දේ එසැනින් තේරුම් ගන්නට තරම් දක්ෂයන් වුනා.නමුත් ඔවුන් බැනුමට ගුටියට හුරු වී තිබුනා.

පසු කලක එක් ළමයෙක් මට මෙසේ කිව්වා...

"අපිට මිස් හැමෝම ගහනවා බනිනවා.හොදට ඉදලා මොකටද මිස්" 

ඔව් උන් එසේ සිතුවා..

මේ සියල්ල මැද පළමු වාර විභාගය තිබුනා.සිතු ලෙසම ප්‍රතිපල වෙනසක් වී තිබුනේ නෑ.උන් මගෙන් කිසිවක් ඉගෙන ගෙන තිබුනේ නෑ.ඒත් දෙවන වාරය පටන් ගනිද්දී මම තිරණයක් ගත්තා උන් වෙනස් වන්නේ නැති නම් මා වෙනස් විය යුතු බවට.

පළමු දිනයේම මම ඔවුන්ගේ ප්‍රශ්න පත්‍ර අගය කරා.ලකුණු අඩු වී ඇත්තේ පාඩම් නොකළ නිසා බවත් ඒ හැරෙන්නට හොදින් පිළිතුරු ලියා ඇති බව මට පෙනෙන බවත් මම පැවසුවා.ඉන් පසු සරල ගණිතයෙන් පාඩම ආරම්භ කල මම සරලම ගණිත ගැටළුවක් පවා නිවැරදි වූ විට අගය කරන්නට පටන් ගත්තා.

"හරියට හරි උත්තරේ...මටත් වඩා ඉක්මනට හදලා කිව්වනේ"

"ශා..හරි දක්ෂයිනේ"

"මෙච්චර ගණන් පුළුවන්කම තියාගේනනේ හදලා නැත්තේ" 

"මේ වගේ ගණන් තමා විභාගෙට එන්නෙත්.බලන්න ඉතින් අමාරු නෑනේ"

"ඔයාට පුළුවන් පුතේ..මම කියන නිසා විශ්වාස කරන්න.මේක හදන්න ඔයාට පුළුවන් "

"මගේ දරුවන්ට ගණන් බැරි වෙන්න බෑ.හදන්න හදන්න.ඔයාලට පුළුවන්"

එසේ අගය කිරීමේ දිරි ගැන්වීමේ ප්‍රතිපල එන්නට මහා ලොකු කාලයක් ගියේ නෑ .සතියක් යද්දී උන් මගෙන් හොදක් අහන්නට මග බලන්න පටන් ගත්තා.කාටත් කලින් ගණන හදා මට පෙන්නන්නට උනන්දු වුනා.පන්තිය පුරා " ටීචර්..." හඩ රැව් දෙන්නට වුනා.පීරියඩ් එකක එක විනාඩියක් මට හුස්ම ගැනීමටවත් කාලයක් නැති වුනා.එක එක්කෙනා ලගට වෙන වෙනම ඇවිදීමෙන් කකුල් වෙහෙස වද්දී සිත සතුටෙන්  පිරුනා.

උන් උන්ගේ ජිවිත මා සමග බෙදා ගත්තා.විභාගය අවසන්ව ජිවන අරමුණු ගැන මට කිව්වා.විභාගයට පාඩම් කරන්නට කාලසටහන් සාදවා ගත්තා.උන් මට ගෙදර සිදුවීම් පමණක් නොව උන්ගේ සිත් ගත් කෙල්ලන් ගැන පවා මට කිව්වා.ඔය වයසට කොල්ලෝ කෙල්ලෝ යාලු වෙන එක නවත්තන්නට බැරි බව දැන සිටි මම උන්ට මොන කෙල්ල කොල්ලා සිටියත් විභාගය කර ගත යුතු බවත් වැදගත් ළමයෙකු සේ ජිවත් විය යුතු බවත් කියද්දී උන් එක හඩින් මා සමග එකග වුනා.උන්ගේ ජිවිත අරමුණු,අනාගතය වැනි බොහෝ දේ ගැන මට වඩා වෙනස් අදහස් තිබු ඔවුන් මා සමග තර්ක කරා.සමහරවිටක මගේ තර්කය උන් පිළිගත් අතර තවත් විටක උන්ගේ තර්කය මා පිළිගත්තා.

මම උන් මගේ දරුවන් ලෙස හදවතින්ම පිළිගත්තා.අසීමිතව උන් සදහා කැපවුණා.මා මෙන්ම උනුත් මට ආදරය කරා.මා දුටු තැන දිව එන දරුවන්, කමිසය යට කරගන්නා දඩබ්බර කොල්ලන්,සාරියේ එතෙන කෙල්ලන් උන්ගේ ආදරය එලෙසින් මට පෙන්නුවා.

වසර අවසාන වුනා.ඒ වසර ඉගැන්වීම්, පුනරීක්ෂණ, තර්ක විතර්ක ,වේවැල් පහරවල්,ටොකු හා බැන වැදීම් වලින් පිරි තිබුනා.ඒ අතර සමහරුන් ඉතා හොද මට්ටමකට ගණිත දැනුම දියුණු කරගෙන ඇති බවත් සමහරෙකුගේ දැනුමේ වෙනසක් නැති බවත් මට තේරුම් ගොස් තිබුනා.සියලු දෙනාට ගණිතය හැකි නොවන බවත් උන්ටත් දක්ෂකම ඇති තවත් පාරක් ඇති බවත් මා මෙන්ම උන් ද දැන සිටියා.

වසර අවසානයේ  ඉතා සුන්දර උපහාර උළෙලකින් පසු උන් අපෙන් සමු ගත්තා.

ඊයේ මගේ ඒ දරුවන්ගේ ප්‍රතිපල නිකුත් වුනා..

11 වසර පළමු වාර විභාගයේදී ලකුණු 4ක්, 8 ක්,11ක්, 16 ගත්තවුන් C සාමාර්ථ, S සාමාර්ථ ගෙන සමත් වී තිබුනා.විභාගයට පෙර උන් මට පොරොන්දුවක් දුන්නා.

"අපි එනවා මිස් ඉස්කෝලෙට මිස්ට රිසල්ට්ස් කියන්න" ඒ පොරොන්දුවේ විදියට ඉස්කෝලෙට එන්නට විදියක් නැති උන් ඊයේ සිට මට කතා කරමින් ප්‍රතිපල කිව්වා.

"මම ඕ ලෙවල් ෆේල් වෙන්න හිටියේ මිස්.මිස් නිසා ඒ ලෙවල් කරනවා දැන්" එකෙකු ඊයේ දුරකතනයෙන් කියද්දී මගේ දෑස් තෙත් වුනා.

"මිස් මට කිව්වනේ කොල්ලා පාස් වෙනවා බය වෙන්න එපා කියලා.පාස් මිස් මගේ කොල්ලා.මිස්ට පින්" තවත් මවක හැඩුම් බර හඩකින් කියා සිටියා.

"නෑ අම්මේ..දරුවා දක්ෂයි" මම ඒ අම්මට ඒ වෙලාවේ කිව්වා.

ඔව් සත්තයි...උන් දක්ෂයි.මාස 7කින් 8කින් ගණිතය විෂයට ලකුණු 4ක 8ක ඉදන් C, S සාමාර්ථ ගන්න තරමට උන් දක්ෂයි.

ඔව් සමත් වේවි කියලා හිතන්නවත් බැරුව හිටපු  මගේ  දරුවන් සාමාන්‍ය පෙළ සමත් වුනා.. 💖

එදා පාසලේ දඩබ්බරයන් වුනු අමන කොල්ලන්,කටකාර කෙල්ලන් මා ගුරුවරියක ලෙස සමත් කර තිබුනා  💖

2 comments:

  1. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    ReplyDelete