Sunday, December 16, 2018

මන්දාරම් අහස යට - දොළොස්වන කොටස



අද කතාව පටන් ගන්න කලින් පොඩි දෙයක් කියන්න ඕනේ.කතාව මං ලියන්නේ දවසින් ටිකක් වෙනස් කරලා.ඒ කියන්නේ එක දවසක දේදුණුගේ පැත්තෙන් තව දවසක ආදිත්‍යගේ පැත්තෙන් ඊලග දවසේ අසේලිගේ පැත්තෙන් වෙන විදියට.ඉතින් එහෙම ලියන්නේ චරිත වල හැගීම් වෙන වෙනම ප්‍රකාශ වෙන්න ඕනේ නිසා.කතාව ලියනකොට ඒ හැගීම මට දැනෙන් නැත්තම් මං හිතන් නෑ ඔයාලට කොහෙත්ම දැනේවි කියලා.ඒ නිසාම සමහර සිද්දි නවතින තැනින් නෙවෙයි ඊලග කොටසේ සිද්දි පටන් ගන්නේ. මේක කලින් කතාවට වඩා වෙනස් වෙන්නෙත් ඒ නිසාමයි. මේක ඔයාලට වගේම මටත් ලොකු අභියෝගයක්.ඉතින් මේ විදිය හොද නැත්තම් ගලා යෑමක් නෑ වගේ නම් කියන්න.වෙනස් කරන්න පුලුවන් මේ ලියන විදිය.

ප.ලි. :පාඨක මත කීපයක් නිසාවෙන් විමසන ලදී .

****************************************************************************

අසේලි  සිකුරාදා උදේම බෑග් එකත් ලෑස්ති කරගත්තේ සති අන්තේ ගත කරන්න ගෙදර යන්න හිතාගෙන .ඒත් හදිස්සියේම නෙහාරා ඒ සති අන්තේ ගෙදර යන්නේ නෑ කියපු නිසා අසේලි ටිකක් කලබල වෙලයි හිටියේ.

"නෙහාරා මාත් එක්ක යමුකෝ අනේ ගෙදර" අසේලි මේ නෙහාරාට ඒක කිව්වේ සිය වෙනි වතාවට 

"ගෙදර යන්නෙ මොකා බලන්නද බං.මං දැන් කී සැරයක් කිව්වද ගෙදර ඔක්කොම අක්කලගේ ගෙදර ගිහින් කියලා බබාගේ උපන්දිනේට" නෙහාරා කිව්වේ ටිකක් විතර නොඉවසිල්ලෙන් 

"අනේ ඒ වුනාට...මං කෝමද තනියෙන් ගෙදර යන්නේ" අසේලි කන්කෙදිරි ගාන්න ගත්තම නෙහාරා අසේලිගේ පැත්තට හැරුනා.

"ඔච්චරටම බය නම් අයියට හරි තාත්තට හරි එන්න කියපන්කෝ.ඉවරයිනේ කතාව"

"අපෝ බෑ..ඒ පාර මට තනියෙන් මුකුත් කරගන්න බෑ කියලා ගෙදර ඔක්කොම මට හිනා වේවී" අසේලි මූණත් ඇඹුල් කරගෙන කියද්දි නෙහාරාට හිනා ගියා,

"බය වෙන්න එපා අනේ.බැජ් එකේ ඔයාට ගෙදර යන්න ඕනේ තරම් කට්ටිය ඉන්නවා.අර ජීවක යන්නෙත් පානදුර.ඔයාට එයා එක්ක යන්න පුලුවන්.තව අය ඉන්නවා.අද හොයා ගමු යන්න කෙනෙක්" නෙහාරා කියද්දි තමයි අසේලි ටිකක් හිනා වුනේ.

හිතුවා වගේම ආපහු ගෙදර යන්න ජීවක වගේම තවත් කීප දෙනෙක්ම ඉන්නවා කියලා විශ්ව විද්‍යාලේදි දැනගන්න අසේලිට පුලුවන් වුනා.ඒ නිසා ඊට පස්සේ අසේලි දවස ගත කරේ සැනසිල්ලෙන්.ඒත් මේ සැනසිල්ල තිබුනේ දවල් කෑම විවේකේ වෙනකම් විතරයි.

"අපෝ අන්න අදත් ඉන්නවා" අසේලි හෙමීට නෙහාරාට මිමිණුවේ දවල් කෑමට ආපන ශාලාවට යන ගමන් 

"කෝ කොහෙද?" නෙහාරා ඇහුවේ හෙමීට වටපිට බලන ගමන් 

"අර මැයි ගහ යට බංකුවේ ඉන්නේ.කරුමයක්නේ බං මේක" අසේලි මිමිණුවේ මැයි ගහ යට වාඩි වෙලා අසේලිලා යන දිහා බලන් ඉන්න ගගන දිහා බලාගෙන.

" එහෙනම් අදත් කතා කරාවිද දන්නේ නෑ " නෙහාරාත් කිව්වේ ගගන දිහා හොරෙන් බලන ගමන්.

"ඇයි බං මේ මිනිහා මේ අපි යන දිහාම බලන් ඉන්නේ" අසේලි ඇහුවේ හෙමීට ඇවිදගෙන යන ගමන්මයි

"අපි අපි කියන්නේ.ඌ බලන්නේ උඹ දිහා" නෙහාරා කිව්වේ සරදම් ස්වරයකින්

"ඒක තමයි මාත් කිව්වේ.මොන එහෙකට බලනවද මන්දා.කන්න වගේ බලන් ඉන්න හැටි විතරක්" අසේලි කිව්වේ ආයෙත් හොරෙන් ගගන දිහා බලන ගමන්

"වෙන මොකටද ඉතින් උඹට හිත ගිහින් මිසක්" නෙහාරා කිව්වේ අසේලිට ඇහැක් ගහන ගමන්.

"අනේ ඔව්ව්..මටම හිත යාවි.කොච්චර ලස්සන කෙල්ලෝ ඉන්නවද මෙහේ" අසේලි කිව්වේ නෙහාරාට රවන ගමන්

"ලස්සන කන්නද බං.හිත ගිය තැන මාළිගාව කියනවනේ"

"මාළිගාව තමා.කෙහෙල්මල" අසේලි කිව්වේ තරහෙන්.

"ඔන්න බලපන්.අද ඌ උඹට කතා කරනවා මයි" නෙහාරා කිව්වේ ගගන දිහාත් බලන ගමන.

"අනේ මාත් එක්කම ඉන්න හොදේ" අසේලි හෙමීට කෙදිරුවේ ආපනශාලාව ඇතුළට ආපු නිසා

"ශ්ශ්...කෑම කාලා ඉමු" නෙහාරා  කිව්වේ කෑම පෝලිමේ කෙලවරට එකතු වෙන ගමන්.

කෑම කාලා ඉවර වුන ගමන්ම අසේලි නෙහාරා එක්ක එලියට බැස්සේ දේශන ශාලාවට යන්න හිතාගෙන.එතකොටම එතනට ආපු ජීවක අසේලි ලග නැවතුනා.

"අන්න අර අයියා ඔයාට කතා කරනවා" ජීවක කිව්වේ ඈත මැයි ගහ යට වාඩි වෙලා ඉන්න ගගනව පෙන්නලා.

"අයියෝ...කරදරයක්නේ අනේ" අසේලි කිව්වේ මූණත් බෙරි කරගෙන

"මේ යන්න යන්න...නැත්තම් ඒ පාර මෙතනට ඒවි" ජීවක කිව්වේ මේ පැත්ත බලාගෙනම ඉන්න ගගන දිහා බලාගෙනමයි.

"යමු" නෙහාරා අසේලිගේ අතිනුත් ඇදන් ඉස්සර වුනා.

ගගන ලගට ගියපු අසේලියි නෙහාරායි ගගන ඉස්සරහින් හිටගත්තා.

"එන්න කිව්වම සැහෙන්න වෙලා යනවා නේද?" ඒක කිව්වේ ගගන ලග හිටපු ගගනගේ යාලුවා විශ්ව.ඒ කතාවට අසේලි වගේම නෙහාරත් මුකුත්ම කිව්වේ නෑ.

"අසේලිගේ ගම කොහෙද?" ගගන ඇහුවේ කෙලින්ම අසේලි දිහා බලාගෙන.

"කලුතර" අසේලි කිව්වේ ඇහෙන නෑහෙන ගානට

"කොහෙද?" ගගන ඇහුවේ බංකුවෙන් නැගිටින ගමන්

"කලුතර" අසේලි ඒ සැරේ නම් ටිකක් හයියෙන් කිව්වේ නෙහාරාගේ අත තද කරලා අල්ලගන්න ගමන්

"ම්ම්ම්....එතකොට මෙයා?" ගගන ඒ ඇහුවේ නෙහාරා ගැන

"මාත් කලුතර" නෙහාරා එහෙම කියද්දිත් ගගනගේ ඇස් තිබ්බේ අසේලි ලග.

"දෙන්නා එකටද ගෙදර යන්නේ?"

"ඔව්.." අසේලි උත්තර දුන්නේ පුලුවන් තරම් ගගනගේ මූණ මග ඇරලා.

"අද යනවද ගෙදර"

"ඔව්"

"තනි වචනෙන්මයි නේද කතාව?" ගගන ඇහුවේ අසේලි දිහා බලාගෙනමයි

"ඔව්.." අසේලි ඒකටත් එහෙම කියද්දි ගගනට හිනා ගියා.

"මචන් අපේ ලෙක්චර්ස් ඉවර වෙලා" විශ්ව කියද්දි ගගන බංකුවෙන් නැගිට්ටා.

"යන්න දැන්" ගගන එහෙම කියද්දි තමයි අසේලි හරියට ඔලුව උස්සලා ගගන දිහා බැලුවේ.

 මූණ පුරා වැවුණු ඝන රැවුලකුත් එක්ක ඒ ඇස් දෙක බලන් හිටියේ අසේලි දිහාමයි.

"යන්න..." ගගන ආයෙත් කියද්දි නෙහාරා අසේලිගේ අතින් අල්ලගත්තා.නෙහාරා එක්කම දේශන ශාලාව පැත්තට අසේලි ගියේ ආයෙත් පිටිපස්ස බලන්නෙවත් නැතුව.

"මං කිව්වේ..." නෙහාරා කිව්වේ දේශන ශාලාවට යන ගමන්මයි.

"මොකක්ද" අසේලි ඇහුවේ හති දාන ගමන්

" ඌ අද උබත් එක්ක කතා කරනවා කියලා " 

"මොන මරාලයක්ද මන්දා බං " අසේලි කිව්වේ තවත් ඉක්මනින් ඇවිදින ගමන්.ඒ වෙද්දිත් අසේලිලා දේශනේට පරක්කු වෙලයි තිබ්බේ.

දේශන ශාලාවට අසේලියි නෙහාරායි ඇතුල් වෙද්දිත් දේශනේ පටන් අරගෙන.පරක්කු වුන එකට මුකුත් නොකිව්වත් ඒ දෙන්නට සිද්ද වුනේ ඉස්සරහම පේලියේ වාඩි වෙන්න.

දවසේ අන්තිම දේශනේ ඉවර වෙලා අසේලියි නෙහාරායි ඉක්මනින්ම එලියට ආවේ ගෙදර යන්න ඕනේ නිසා.

"ජීවක ඔයා යනවනේ නේද?" අසේලි ඇහුවේ ඒ වෙලාවෙම එලියට ආපු ජීවකගෙන්.

"ඔව් ඔව් යනවා.තව අපේ කොල්ලෝ දෙන්නෙක් යනවා.ඔයා ගේට් එක ලග ඉන්න.අපි එන්නම්" එහෙම කියපු ජීවක ගියේ එයාලගේ වැසිකිළිය පැත්තට.

"යන් අසේලි.මාත් එනවා ගේට් එකට ලගට" නෙහාරා කිව්වේ අසේලි ලගින්ම එන ගමන්.

"උඹව එක්කගෙන යන්න එනවනේ.." අසේලි අහද්දි නෙහාරා ඔලුව වැනුවා.

"ඔව්..අයියා එනවා කිව්වා " නෙහාරා කිව්වේ ඈතින් පේන ගේට් එක දිහා බලන ගමන්.ඒ දෙන්නට ගේට් එක ලගට එන්න ලොකු වෙලාවක් ගියේ නෑ

"අයියා ඇවිත්.අර ඉන්නවා එලියේ..මං යන්නද එහෙනම්" නෙහාරා කිව්වේ අසේලිගේ අතින් අල්ලගන්න ගමන්.

"හා එහෙනම් යන්නකෝ.ජීවක ඒවිනේ" අසේලි කිව්වේ ආයෙත් පිටිපස්ස බලන ගමන්.

"ජීවක ඒවී.ඒ හොද කොල්ලෙක්.අපේ අයියගේ යාලුවෙක්ගේ මල්ලි කෙනෙක්"

"අහ් එහෙමද"

"ඔව්..බය වෙන්න එපා.මං එහෙනම් යන්නම් කෙල්ලේ" නෙහාරා කිව්වේ අසේලිගේ අත අතාරින ගමන්.

"හරි පරිස්සමෙන්" අසේලි නෙහාරට අත වැනුවා.

"උඹත් පරිස්සමෙන්.මට මැසේජ් එකක් දාහන් බස් එකට නැගලා." නෙහාරා කිව්වේ අසේලිට අත වනන ගමන්.

නෙහාරා ගියාට පස්සේ අසේලි පිටිපස්ස බැලුවේ ජීවකලා එනවද කියලා.එතකොටම අසේලිගේ පිටිපස්සෙන් කවුරුහරි ඉන්නවා වගේ දැනුනු නිසා අසේලි පිටිපස්ස හැරිලා බැලුවා.

දවල් දැකපු මූණ පුරා වැවුනු ඝන රැවුලා අස්සෙන් පේන ඇස් දෙකක් අසේලි දිහා බලන් ඉන්නවා දැකපු අසේලි අඩියක් පස්සට ගත්තා.ඒ හිටියේ ගගන.

"යාලුවා කොහෙද ගියේ?" ගගන ඇහුවේ අසේලි දිහා බලාගෙනමයි.

"ගෙදර" අසේලි උත්තර දුන්නේ සැලෙන කටහඩකින්.

"ඔයා නොගියේ ඇයි "

"අහ් මේ එයා ගියේ අක්කලගේ ගෙදර" 

"අක්කලා කලුතර නෙවෙයිද? "

"නෑ" අසේලි කිව්වේ සැරින් සැරේ පිටිපස්ස බලන ගමන්.ජීවක තාමත් නැති එක ගැන අසේලිට තරහත් එක්ක

"කවුරු හරි එනකම්ද ඉන්නේ" ගගන ඇහුවේ අසේලිව තවත් නොසන්සුන් කරලා.

"ඕ..ඕව්" අසේලි කියද්දි ගගන පියවරක් ඉස්සරහට ගත්තා.ඒත් එක්කම අසේලිත් පියවරක් පස්සට ගත්තා.

"කවුද?" 

"ජී..ජීවක" බයටම අසේලිගේ කටහඩත් දැන් වෙව්ලනවා.එතකොටම වගේ එතනට ජීවක ආවේ එයාගේ යාලුවෝ දෙන්නෙකුත් එක්ක.ගගන එක්ක බය වෙලා වගේ එතන ඉන්න අසේලි දැකපු ජීවකත් කලබල වුනා.

"කවුද ජීවක කියන්නේ " ගගන ඇහුවේ ටිකක් සැරෙන්.ජීවකව දැකපු අසේලි ගගනගෙන් ඈත් වෙලා ජීවක දිහා බැලුවා.අසේලි එක්කම ඒ පැත්ත බලපු ගගන ජීවකව දැක්කා.

"ඇයි මොකද?" ගගන ඇහුවේ එතන බලන් ඉන්න ජීවකගෙන්..

"අහ් නෑ මේ අසේලි අපි එක්ක යන්න එනවා කිව්වා අයියේ" ජීවක කිව්වේ අසේලි දිහාත් බලන ගමන්.

"තමුසෙගේ නම මොකක්ද" ගගන ඇහුවේ ඒ පාර ජීවක දිහා හොදට බලන ගමන්.

"ජීවක"

"අහ් තමුසෙද ජීවක" එහෙම කියපු ගගන ඒපාර බැලුවේ ජීවක ලගට ඇවිත් හිටපු අසේලි දිහා.

"තමුසෙලා යනවා.මට අසේලි එක්ක කතාවක් තියෙනවා " ගගන කිව්වේ අසේලි දිහා බලාගෙනමයි.ඒ කියපු කතාවට ජීවකත් අසේලි දිහා බැලුවා.ජීවකගේ යාලුවෝ දෙන්නත් බය වෙලා එතන හිටියේ.

"බෑ මට යන්න ඕනේ" ඒ සැරේ අසේලි කිව්වේ ටිකක් හයියෙන්.

"මං ඔයාව ඇරලවන්නම්" ගගන කිව්වේ ජිවක දිහා බලන ගමන්.

"තමුසෙලා යන්නේ නැද්ද?"ගගන එහෙම කිව්වම ජීවක යාලුවෝ දෙන්නත් එක්කම එලියට ගියේ අසේලිට ඇහැක් ගහන ගමන්.ගගනට නොපෙනීම කීයට හරි අසේලි එනකම් එලියේ ඉන්නයි ජීවක හිතාගත්තේ.

මේ අතරේ කැම්පස් එකේ ලමයි මේ සිද්දිය බල බල හිනා වෙවී මෙතනින් යන එක අසේලිට ලැජ්ජාවක් වෙලා තිබ්බේ.අසේලි පුලුවන් තරම් බිම බලාගෙන හිටියේ ඒ ලැජ්ජාවටමයි.

"හරි නංගි මං කෙලින්ම කියන්නම්"ගගන කිව්වේ අසේලි ලගට එන ගමන්.

"අනේ අයියේ මට යන්න ඕනේ " ඒ සැරේ අසේලි කිව්වේ අඩන්න වගේ 

"ඇයි කවුරු හරි එනකම් බලන් ඉන්නවද?" ගගන ඇහුවේ තවත් අසේලිට ලං වෙන ගමන්.පිටිපස්සට අඩියක් තිබ්බ අසේලි හැප්පුනේ එතන තිබ්බ ගේට්ටු කණුවේ.අසේලිට එයාගේ පපුව ගැහෙන සද්දේ ඇහෙන්න ගත්තා.බෑග් එකත් තුරුල් කරන් අසේලි හිතුවේ මේකෙන් බේරෙන්නේ කොහොමද කියලා.

"අසේලි..." එක පාරටම ඒ ඇහුන සද්දෙට අසේලි ඔලුව උස්සලා බැලුවා වගේම ගගනත් හැරිලා බැලුවා.එතන හිටියේ ආදිත්‍ය.

"අසේලි, බබා ඇයි? ප්‍රශ්නයක්ද" අසේලිගෙන් උත්තරයක් නැති තැන ආදිත්‍ය ඇහුවේ ගගන දිහාත් හොදට බලන ගමන්.ආදිත්‍යගේ කතාවට පුදුම හිතුනත් අසේලි මුකුත් නොකියා ඔලුව වැනුවා.

"කවුද මේ" ගගන ඇහුවේ අසේලිගෙන්..

"අහ් ඒ මේ..." අසේලි කල්පනා කරේ කියන්නේ මොකක්ද කියලා.ඒත් ආදිත්‍ය ඊට ඉස්සර වුනා.

"මං ආදිත්‍ය.අසේලිගේ බෝයි ෆ්‍රෙන්ඩ්.ඔයා කවුද? ආදිත්‍ය කියද්දි ගගනගේ වගේම අසේලිගෙත් ඇස් ලොකු වුනා.

***********************************************

හැමෝම මට සමාවෙන්න යාලුවනේ කතාව දාන්න බැරි වුනාට.දවස් දෙක තුනක්ම අසනීපෙන් හිටියා.ඊයේ යාලුවෙක්ගේ වැඩකට ඇවිදින්න වුනා.තරහ වෙන්න එපා හොදේ.

පුලුවන් ඉක්මනින් කොටසක් ගෙන්නම්..

ආදරෙන් ඉන්න ❤️

No comments:

Post a Comment

සුබ අලුත් අවුරුද්දක් වේවා

ඔන්න ඉතින් අද සිංහල දෙමළ අලුත් අවුරුද්ද ලූ. මට නම් දැන් අවුරුද්ද කිව්වම විශේශයක් දැනෙන්නෙම නැති තරම්.කොහා කෑගහන්නේ නෑ.බක්මහ අක...