Tuesday, December 4, 2018

මන්දාරම් අහස යට - හත්වන කොටස




පඩිපෙළ බැහැගෙන කළු ගග ලගටම ගියපු අවිශ්ක එතන නැවතුනා.කලු ගග දිහා බලාගෙන අවිශ්ක කල්පනා කරේ මේක විහාරාට කියන්නේ කොහොමද කියලා.

"දැන් ඕක කිව්වම ටැප් එක අරගනිවී.මාත් මේ මොන කරුමෙකට කර ගැහුවද මන්දා"අවිශ්ක තමන්ටම කියාගත්තා.

විහාරාගේ ලස්සනයි අහිංසක කමයි නිසා විහාරාගේ පස්සෙන් කොල්ලෝ එන එකේ අඩුවක් තිබ්බේ නෑ.අවිශ්කත් විහාරාට කිට්ටු වුනේ ඒකමයි.සෑහෙන කල් පස්සෙන් ගිහින් කට්ට කාලා තමයි අවිශ්ක විහාරා එක්ක යාලු වුනේ.සම්බන්දේ පටන් අරන් මුල් කාලේ දෙන්නා හිටියේ හරිම සතුටෙන්.ඒත් කාලයත් එක්ක විහාරාගේ ආදරේ වැඩි වෙද්දි අවිශ්ක විහාරාගෙන් ඈතට වුනේ ඒ ආදරේ නිසාමයි
.
නිදහස් ජීවිතේකට ආස කරපු අවිශ්කට මේ විහාරා එයා ගැන හොයන එක ඇල්ලුවේ නෑ.අනික විහාරා කවදාවත් අමුතු ෆැශන් කරපු කෙනෙක් නෙවෙයි.පෞද්ගලික විශ්ව විද්‍යාලයක ඉගෙන ගත්ත අවිශ්කට විහාරා මේ ඉන්න අහිංසක පෙනුම හරි ගියේ නෑ.

අලුත් අලුත් ඇදුම් අදින්න කිව්වත් ඒවට විහාරා කැමති වුනේ නෑ.විශ්ව විද්‍යාලේ ඉන්න ෆැශන් කරන ලස්සන ගෑනු ලමයි හැමදාම දකින් අවිශ්කට විහාරාගේ අඩුපාඩු පෙන්න ගත්තේ විශ්ව විද්‍යාලේ ගිය මුල් කාලේ ඉදන්මයි.ඒත් සම්බන්දේ නවත්තපු එක ගැන අවිශ්ක විහාරාට කියන්න බය වුනේ විහාරාගේ හැටි දන්න නිසා.විහාරාව අඩවන්න කවදත් අවිශ්ක ආස වුනේ නෑ

ටිකකින් කවුරුහරි තමන් ලගට එනවා තේරුණු අවිශ්ක ඒ පැත්තට හැරුනා.අවිශ්ක ලගට ඇවිදගෙන ආපු විහාරා අවිශ්ක ලගින් හිටගත්තා.

ටික වෙලාවක් දෙන්නම බලන් හිටියේ කළු ගග දිහා.ඒ බලන් ඉන්න වෙලාවේ විහාරාට මතක් වුනේ මේ කළු ගග ලගටම වෙලා අවිශ්ක එක්ක කතා කරපු හැටි.ඒත් ඒ මුළු වෙලාවෙම අවිශ්ක හිතුවේ මේක ඉක්මනට කතා කරලා මෙතනින් යන්නේ කොහොමද කියලා.

"නංගි...අපි මේක නවත්තමු.අපි ගැලපෙන්නේ නෑ" අවිශ්ක කළු ගග දිහා බලාගෙනම කියද්දි විහාරාට හීල්ලුනා.

පහුගිය කාලේ අවිශ්කගේ හැසිරීමේ විදියට මේ විදියේ කතාවක් විහාරා බලාපොරොත්තු වුනත් ඒක මෙහෙම එක පාරට කියාවි කියලා විහාරා හිතුවේ නෑ.

"ඇයි අවී එහෙම කියන්නේ"  විහාරා ඇහුවේ වෙව්ලන කටහඩකින්.

"තේරෙන්නේ නැද්ද ඔයාට.අපි හරි වෙනස්.ඔයා හිතන විදිය මට ගැලපෙන්නේ නෑ" අවිශ්ක කිව්වේ කිසිම ගානක් නැතුව.

"ඉතින් මං ඔයා හිතන විදියට හිතන්නම්.ඔයා මට කියන්නකෝ ඔයා කැමති විදිය" විහාරා කිව්වේ අවිශ්කගේ අතින් අල්ලන ගමන්.විහාරාගේ අත ගසලා දාපු අවිශ්ක ඒ පාර විහාරා දිහාවට හැරුනේ තරහෙන්.

"කී සැරයක් කිව්වද ආ...කී සැරයක් කිව්වද මං.හරියකට ඇදුමක් අදින්න දන්නේ නෑ.කොහේ හරි යමු කිව්වම බෑ කියනවා.ඒ මදිවට කෝල් කරන තරම් මට.යාලුවෙක් එක්ක ගමනක් යන්න නෑ කෝල් කරනවා.මහ රෑට නිදාගන්න නෑ.තමුසෙට මගෙන් තොර ලෝකයක් නැති වුනාට මට තව දේවල් තියෙනවා කරන්න" හිතේ පීඩනේටත් එක්කම අවිශ්ක හිතේ තිබ්බ ඔක්කොම කියාගෙන ගියේ විහාරා බය වෙලා බලන් ඉද්දි.
කියන්න ඕනේ ඔක්කොම කියපු අවිශ්ක ආයෙත් කළු ගග පැත්තට හැරිලා හොද හුස්මක් හෙලුවා.

අවිශ්ක කියපු දේවල් ඔක්කොම අහන් හිටපු විහාරා වචනයක් වත් කතා කරේ නෑ.විහාරාගෙන් සද්දයක් නැති තැන අවිශ්ක හොරෙන් වගේ විහාරා දිහා බැලුවේ මොකද වෙන්නේ කියලා දැනගන්න.විහාරා දිහා බලපු අවිශ්ක දැක්කේ සද්දයක්වත් නැතුව කළු ගග දිහා බලන් ඉන්න විහාරාව.ඒත් එක්කම විහාරා අවිශ්ක දිහා හැරිලා බැලුවා.
විහාරා බලනවත් එක්කම අවිශ්ක අනිත් පැත්ත බලාගත්තා.

"ඔයා කියන්නේ මේක නවත්තමු කියලද" විහාරා ඇහුවේ හරි හෙමින්.

"ඔව්"

"මං දිහා කෙලින් බලලා කියන්න අවී" විහාරා එහෙම කියද්දි ආදිත්‍ය කෙලින්ම විහාරාගේ පැත්තට හැරුනා.

"ඔව් මට මේක නවත්තන්න ඕනේ" අවිශ්ක කිව්වේ බැරෑරුම් විදියට.අවිශ්ක එහෙම කියද්දි විහාරා හොද හුස්මක් ගත්තා.

"හරි අපි නවත්තමු" විහාරා එහෙම කියද්දි අවිශ්ක විහාරා දිහා බැලුවේ පුදුමෙන්.විහාරා මෙච්චර ඉක්මනට මේකට කැමති වෙයි කියලා අවිශ්ක හිතුවේ නෑ.

අවිශ්ක පුදුමෙන් බලන් ඉද්දි විහාරා හැරුනේ ආපහු යන්න.

"ගෙදරද යන්නේ? මං ගිහින් දාන්නම්" අවිශ්ක කිව්වේ පසුතැවිල්ලකුත් එක්කමයි.මොනවා වුනත් විහාරාගේ මේ සන්සුන් විලාසය අවිශ්කගේ හිතට ඇති කරේ අපහසුවක්.

"එපා" විහාරා කිව්වේ පඩිපෙළ නගින ගමන්.

කියන්න වෙන දෙයක් නැති තැන අවිශ්කත් අසේලිගේ පිටිපස්සෙන්ම බෝධියෙන් පිට වුනා.බෝධියෙන් එළියට ආපු මේ දෙන්නා බැලුවේ අසේලියි ආදිත්‍යයි ඉන්නවද කියලා.
අසේලි පේන්න නැති නිසා විහාරා අසේලිට දුරකථන ඇමතුමක් දුන්නත් ඒකට අසේලි උත්තර දුන්නේ නෑ.ඒ අතරේ තමයි අවිශ්ක දැක්කේ පාලම උඩට වෙලා ඉන්න ආදිත්‍යයි අසේලියි.

"අන්න ඉන්නවා" අවිශ්ක විහාරාට අතින් පෙන්නුවා. පාලම දිහා යන්තමට බලපු විහාරා ඒ පැත්තට යන්න ගියේ අවිශ්කව තවත් පුදුමෙට පත් කරලා.
කොච්චර තරහ වුනත් කලින් කවදාවත් විහාරා මේ විදියට හැසිරෙනවා අවිශ්ක දැකලා තිබ්බේ නෑ.

විහාරාගේ පිටිපස්සෙන් ආදිත්‍යලගේ ලගටම ගියපු අවිශ්ක දැක්කේ පාලමට හේත්තු වෙලා හිටපු අසේලිගේ ජායාරූපයක් ගන්න හදන ආදිත්‍යව.ආදිත්‍ය ලගට ගියපු අවිශ්ක ආදිත්‍යට කතා කරා.

"මොකක්ද මෙතන වෙන්නේ" අවිශ්කගේ කටහඩ ඇහුන ගමන් ආදිත්‍ය පිටිපස්ස බැලුවේ බය වෙලා වගේ.

"අහ් නෑ මුකුත් නෑ"එහෙම කියපු ආදිත්‍ය දුරකථනය සාක්කුවට දාගන්න ගමන් බැලුවේ එතන හිටගෙන හිටපු විහාරා දිහා.

විහාරාගේ මූණේ කිසිම හැගීමක් ලියවිලා නැති තැන ආදිත්‍ය බැලුවේ අවිශ්කගේ මූණ දිහා.අවිශ්කත් ආදිත්‍ය බලද්දිම අහක බලාගත්තා.

ඒ වෙද්දිත් එතනට ඇවිත් හිටපු අසේලිත් විහාරාගේ අතින් අල්ලගෙන ආදිත්‍ය දිහා බැලුවේ මේ තත්වේ තේරුම් ගන්න බැරුව.අසේලි දිහා බලපු ආදිත්‍යත් එයාගේ උරහිස් ඇකුලුවේ එයාටත් තේරෙන්නේ නෑ කියන්න.

"අපි යමුද" අසේලි විහාරාගෙන් අහද්දි විහාරා ඔලුව වැනුවා.

"අපි යන්නම් එහෙනම්" අසේලි කිව්වේ එතන හිටගෙන හිටපු අවිශ්කට රවන ගමන්.මෝනවා වුනත් වෙච්ච දේ හොද දෙයක් නෙවෙයි කියලා අසේලිගේ හිතට දැනුනේ විහාරාව දැකපු වෙලාවෙමයි.

"අහ් හා හා" ආදිත්‍ය අසේලිට කිව්වේ විහාරා දිහා බලාගෙනමයි.

අසේලියි විහාරායි යන දිහා ටිකක් බලන් ඉදපු ආදිත්‍ය අවිශ්ක දිහාට හැරුනා.අවිශ්ක හිටියේ පාලමේ කණුවකට බර වෙලා කළු ගග දිහා බලාගෙන.

"මොකද වුනේ"

"මං කිව්වා" අවිශ්ක උත්තර දුන්නේ ගග දිහා බලාගෙනමයි

"මොනවද?"

"කියන්න තිබ්බ ඔක්කොම කිව්වා"

"නවත්තනවා කියලත් කිව්වද?"

"ඔව්"

"ඒපාර මොකද වුනේ? ඇඩුවද?" ආදිත්‍ය එහෙම ඇහුවේ විහාරාගේ ඇඩිල්ල ආදිත්‍යත් දැකලා තිබ්බ නිසා.

"නෑ"

"නෑ?? නෑ කියන්නේ ඇඩුවේ නැද්ද? එහෙනම් මොකද වුනේ" ආදිත්‍ය ඇහුවේ පුදුමෙන්

"අනේ මං දන්නේ නෑ බං.මටත් හිතාගන්න බෑ.මං කියපු ඔක්කොම අහන් හිටියා.නවත්තන්නද ඇහුවා ඕනේ.මං ඔව් කිව්වා.ඒපාර හා නවත්තමු කියලා මෙන්න එයා එන්න ආවා" අවිශ්ක කිව්වේ කටත් ඇරන් බලන් ඉන්න ආදිත්‍යට

"පුදුමයිනේ"

"ඒක තමා..මටත් හිතාගන්න බෑ"

"සමහරවිට හිත හදාගන්න ඇති.උබ කෙලින්ම කිව්වනේ" ආදිත්‍ය කියද්දි අවිශ්ක ඔලුව වැනුවා.

"විහාරා එහෙම හිත හදාගත්තා කියලා හිතන්නත් අමාරුයි බං"

"කොහොම හරි කෙල්ලට දැන් ගානක් නෑ වගේනේ.අර යස අගේට ගියේ.ඇඩුවෙත් නෑ.උබේ ප්‍රශ්නෙත් ඉවරයිනේ.තව මොනවද හිතන්නේ" ආදිත්‍ය කිව්වේ අවිශ්ක තාමත් කල්පනා කරන නිසා.

"අනේ මංදා මචන්.මොකක්දො අවුලක් තියේ"

"හරි හරි තියෙන අවුලක් ගෙදර ගිහින් බලාගමු.යමන් දැන්.චූටිව පන්තියෙන් ගන්නම් කියලා නේද ආවේ.දැනටම 5යි වෙලාව" ආදිත්‍ය කිව්වේ ඔර්ලෝසුව බලන ගමන්

"හ්ම්ම්ම්..යමු එහෙනම්" එහෙම කියපු අවිශ්ක ආදිත්‍යත් එක්ක පිටත් වුනේ නංගිත් අරගෙන ගෙදර යන්න.

මේ අතරේ අසේලියි විහාරායි බස් එකේ ගෙදර යන්න පිටත් වෙලයි හිටියේ.විහාරාගේ කිසිම සද්දයක් නැති නිසා අසේලිත් බය වෙලයි හිටියේ.කීප සැරයක්ම හිතලා අන්තිමට අසේලි විහාරාට කතා කරන්න තීරණේ කරා.

"මේ විහාරා" අසේලි කතා කරපු නිසා මෙච්චර වෙලා ජනේලෙන් එලිය බලන් හිටපු විහාරා අසේලි දිහා බැලුවා.

"මොකද වුනේ" අසේලි ඇහුවේ හරි පරිස්සමෙන්.

"මුකුත් නෑ" විහාරා කිව්වේ අමාරුවෙන් හිනා වෙන්න හදන ගමන්

"උඹ මට බොරු කියන්න ඕනේ නෑ.මොකද වුනේ කියන්න සුදූ"  අසේලි ඇහුවේ විහාරාගේ අතකින් අල්ලගෙන.විහාරා අසේලිගේ අත හයියෙන් අල්ලගත්තා.බිම බලලා අමාරුවෙන් හිනා වුන විහාරා අසේලිගේ මූණ දිහා බැලුවා.

"අපි ඒ සම්බන්දේ නැවැත්තුවා.ආයේ මගෙන් මුකුත්ම අහන්න එපා අසේලි" විහාරා කිව්වේ එච්චරයි.ඒ ටික කියපු විහාරා ජනේලෙන් එලිය බලාගත්තා.

විහාරා කියපු දේටත් වඩා අසේලි පුදුම වුනේ මේ විහාරාගේ හැසිරීම ගැන.ඒත් විහාරා කියපු විදියටම මේ ගැන ආයෙත් කතා කරන්නේ නෑ කියලා අසේලි හිතාගත්තා.

විහාරාවත් ගෙදරට ඇරලවපු අසේලි ඉක්මනටම ගෙදර ගියේ සදුදට කරගෙන යන්න පන්තියේ වැඩ ගොඩක් තිබ්බ නිසා.ඉරිදා දවසම පංතියේ වැඩ වල හිටපු නිසා ඉරිදා රෑ අසේලි නිදාගද්දිත් ගොඩක් රෑ වුනා.

සදුදා උදේ අසේලි ඇහැරුනේ ලොකු කෑගැහිල්ලකින්.

"ලොකූ...මෙහේ එන්න..."පහළ තට්ටුවෙන් මේ කෑගැහිල්ල ඇහෙන බව තේරුම් ගන්න අසේලිව වැඩි වෙලාවක් ගියේ නෑ.ඒ ලොකූ කියලා කතා කරෙත් අසේලිගේ අයියට නිසා අසේලි ආයෙත් හරිබරි ගැහිලා නිදාගන්න ලෑස්ති වුනා.

එතකොටම තමයි මේධාවි මහ සද්දෙන් දොරත් ඇරගෙන කාමරේට ආවේ.ඒ සද්දෙට අසේලි මේධාවි දිහා බැලුවේ තරහෙන්.

"නිදාගන්න දෙනවකෝ හලෝ මට" අසේලි කිව්වේ දුවගෙන ඇවිත් හති දාන මේධාවිට.

"නිදාගන්න නෙවෙයි අන්න ඔයාගේ වාසනාව ගෙදරටම ඇවිත්.පහළට ගිහින් බලනවා" මේධාවි කියද්දි අසේලි ඇස් දෙකත් ලොකු කරලා බැලුවේ මේ කතාව තේරෙන් නැති නිසා.

****************************************
මොකක්ද ඒ වාසනාව කියලා හෙට බලමු


ඔයාලගේ අදහස් මට කියන්නත් අමතක කරන්න එපා.

ආදරෙන් ඉන්න ❤️

No comments:

Post a Comment