Wednesday, December 5, 2018

මන්දාරම් අහස යට - අටවන කොටස


මාධවිගේ කතාවට අසේලිගේ ඇස් ලොකු වුනා.

"මොකක්ද වාසනාව"

"එනෝකෝ යන්න පහළට" මේධාවි කිව්වේ අසේලිගේ අතින් අදින ගමන්.

"මට බෑ.තමුසෙගේ බොරුද දන්නෙත් නෑ" අසේලි කිව්වේ සැකෙන්.

"බොරුවක් කියලා මං ඔයාව ඇහැරවන්නේ නෑනේ අක්කේ.ඔයා ඒක දන්නවනේ" මාධවී කිව්වේ තරහෙන්.

මාධවි ඇත්තටම එහෙම කරන කෙනෙක් නෙවෙයි.මොකද අසේලි නැගිට්ටම මාධවීටමයි කරදරේ.අසේලි නිතරම මාධවීට බැන්නේ පාඩම් කරන්න කියලා.නිතරම දුරකථනය බලන් ඉන්නවා කියලත් මාධවී නිතරම බැනුම් අහනවා.ඒ නිසා අසේලි නිදාගෙන ඉන්න වෙලාවට තමයි මාධවී නිදහසේ දුරකථනය පාවිච්චි කරන්නේ.

"ඒක දන්න නිසා තමා මං මේ මෙහෙමවත් කතා කරන්නේ" අසේලි කිව්වේ ලොකු ඈනුමක් යවන ගමන්.

එතකොටම කාමරේට ආවේ අසේලිගේ තාත්තා.

"ආ...මේ නැගිටලා ඉන්නේ" තාත්තා කිව්වේ හිනා වෙවි.

"ගුඩ් මෝර්නිග් තාත්තා.ඇයි මේ?" අසේලි ඇහුවේ පුදුමෙන්.මේ උදේ තාත්තා මෙහෙම කාමරේට සාමාන්‍යෙන් එන්නේ නෑ කියලා අසේලි දන්නවා.

"ගුඩ් මෝර්නිග්,මෙන්න මේක කියවලා බලන්නකෝ දූ" එහෙම කියාගෙනම තාත්තා අසේලිට එයාගේ අතේ තිබ්බ ලියුම් කවරයක් දුන්නා.

"මේ මොකක්ද?" අසේලි ඒක ගත්තේ එහෙම කියාගෙනමයි.ඒත් ඒකේ තිබ්බ නම දැක්ක අසේලිගේ කට ඇරුනා.

'විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සබාව' කියලා ලියුම් කවරේ ලොකුවට ගහලා තිබ්බා.
"තාත්තේ...මේ..." අසේලි කිව්වේ තාත්තා දිහා පුදුමෙන් බලන ගමන්.

"මේ දැන් ආවේ.බලන්න කියවලා" තාත්තා කිව්වේ හිනා වෙවි.ඒ කියපු පරක්කුවට අසේලි බැලුවේ ඇතුලේ තිබ්බේ මොනවද කියලා.මහා ලියුම් ගොඩක් එක්කම එලියට ආවේ එයා කොළඹ විද්‍යා පීඨේට තේරිලා කියලා තියෙන ලියුම.

"අනේ...මේ...කොහොමද මේක වුනේ" සතුටට අසේලිගේ ඇස් වලින් කදුලු බේරෙන්න ගත්තේ එයා නොදැනුවත්වමයි.

"බෝට්ටුවක් ඇවිත් තියෙන්නේ.ගියපු නැති එක්කෙනෙක්ගේ" එහෙම කිව්වේ වැඩට යන්නත් ලෑස්ති වෙලා අසේලිගේ කාමරෙට ඇවිත් බලන් හිටපු නිමන්ත.

"කොහොම හරි ආවනේ.දැන් ඉතින් මගේ කෙල්ලට හරි යාවි" අසේලිගේ අම්මා කිව්වේ තාමත් ලියුම් කවරේ දිහා බලන් ඉන්න අසේලිගේ ඔලුව අතගාන ගමන්.

"ඕක දිහා කන්න වගේ බලන් ඉන්නේ නැතුව බලනවා ඕකේ විස්තරේ.යන්න තියෙන්නේ අනිද්දට" අසේලි හරි සිහියකට ආවේ නිමන්තගේ කතාවට.

"අනිද්දට?? " අසේලි ඒ පාර කලබලේට ලියුම කියවන්න ගත්තා.

"ඔව් දූ වැඩ ගොඩක් තියෙනවා කරගන්න.ඔයාට නවතින්න තැනක් බලන්නත් ඕනේ" තාත්තා කියද්දි අසේලි තාත්තා දිහා බැලුවේ ඇස් දෙකත් ලොකු කරගෙන.

"මං නවතින්න ඕනෙද බෝඩිමක"අසේලි අහද්දි හැමෝම හිනා වුනා.

"නැත්තම් ඉතින්.ගෙදර ඉදන් යන්න පුලුවන් දුරක් යැ" නිමන්ත කිව්වේ හිනා වෙවි

"මේ ගොල්ලොන්ට හරි සන්තෝසේ මං යනවට" අසේලි කිව්වේ අමනාපෙන්.

"එහෙම නෙවෙයිනේ දූ.ඔයාට නවතින්නම වෙනවා.දුරයිනේ.සති අන්තේ එන්න පුලුවන්නේ" අම්මා කිව්වේ අසේලිගේ ඔලුව අතගාන ගමන්.

"අක්කා ගියාම මට තමා පාලු වෙන්නේ" මාධවී කිව්වේ දුකෙන්.

"අපෝ මෙයා නම් හෙන කැමති වෙයි මං යනවට.මං ඉන්නකොට කරදරේනේ " අසේලි කිව්වේ කටත් ඇදකරලා.

"නෑ අනේ..." ඒ පාර මාධවී කිව්වේ අඩන්න වගේ.

"හරි හරි අක්කා නංගිගේ ලව් එක පස්සේ කන්ටිනිව් කරගන්නකෝ.දැන් යමු මේ වැඩ ටික කරගන්න"නිමන්ත කිව්වේ ටයි එක ගලවන ගමන්.

"ඇයි ඔයා වැඩට යන්නේ නැද්ද? " අසේලි ඇහුවේ ඇදෙන් නැගිටින ගමන්.

"තමුසෙව ගෙදරින් යවන්න ලෑස්ති කරන්න ඕනේ නිසා මං නිවාඩුවක් දැම්මා " නිමන්ත කියද්දි අසේලි හිනා වුනා.

"මෙයා මං හින්දා නිවාඩුත් දාලා " අසේලි කිව්වේ ඇහැකුත් ගහන ගමන්.

"වැඩේමයි.තාත්තා කිව්වේ මට ඉන්න කියලා.එනවා ඉක්මනට ලෑස්ති වෙලා.තාම කුණු කෙල පිටින් ඉන්න කැත විතරක්" 

නිමන්ත එහෙම කියාගෙනම කාමරෙන් ගියේ අසේලිට ලෑස්ති වෙන්න ඉඩ දීලා.

මේ අතරේ සදුදා දවල් ආදිත්‍ය ලෑස්ති වුනේ දේදුණු හම්බෙන්න  කොළඹ යන්න.ඩෙනිම් එකට සුදු ශර්ට් එක ඇදගත්ත ආදිත්‍ය කමීසේ බොත්තම් දාද්දී මයි අවිශ්ක කාමරේට ආවේ.

"උඹ සිරාවටම යනවද? " අවිශ්ක ඇහුවේ පුදුමෙන්

"ඔව් බං මං කිව්වේ යනවා කියලා" ආදිත්‍ය කිව්වේ කණ්නාඩියෙන් මූණ බලන ගමන්.

"ඉතින් කෝ කෙල්ලෙක් "

"කෙල්ලෙක්? ඒ කිව්වේ " ආදිත්‍ය ඇහුවේ කොණ්ඩේ පීරන ගමන්.

"ඇයි එදා පණ්ඩිතකමට කිව්වේ කෙල්ලෙක් ඉන්නවා කියලා.ඒ පාර දේදුණු කිව්වේ කෙල්ලව එක්කගෙන එන්න කියලා " අවිශ්ක කිව්වේ ආදිත්‍යට අමතකද කියලා හිත හිත.

"අහ් ඉතින් ඉන්නවනේ මට කෙල්ලෙක් " ආදිත්‍ය කිව්වේ කණ්නාඩියෙන්ම අවිශ්කට ඇහැක් ගහන ගමන්.

"කවුද ? මං දන්නේ නෑනේ එහෙම කෙල්ලෙක් ගැන " අවිශ්ක පුදුමෙන් කියද්දි ආදිත්‍ය හිනා වුනා.

"මගේ කෙල්ල කවුද කියලා උඹට මොකටද?"
"ඔව් ඉතින් ඉන්න එපැයිනේ කියන්න " අවිශ්ක කිව්වේ උපහාසෙන්.

"හරි දැන් උඹ එනවද නැද්ද මාත් එක්ක යන්න " ආදිත්‍ය ඇහුවේ කතාව වෙනස් කරන්න හිතාගෙන.

"එන්නම් ඉතින්.ඒත් මං හිතන් නෑ ඕක හරි යාවි කියලා " අවිශ්ක කිව්වේ නාන කාමරේට යන ගමන්.

අවිශ්කත් ලෑස්ති වුනාට පස්සේ ආදිත්‍යයි අවිශ්කයි පිටත් වුනේ දේදුණු හම්බෙන්න යන්න.

පැය දෙකක් යද්දි දේදුණුගේ විශ්ව විද්‍යාලේ ලගට එන්න මේ දෙන්නට පුලුවන් වුනා.ඒ කිට්ටුව රෙස්ටුරන්ට් එකක් ලග වාහනේ නවත්තපු දෙන්නා කඩේට ගියේ මොනවා හරි කන්න හිතාගෙන.

" දැන් උඹට විශ්වාසද අද දේදුණු පංති ආවා කියලා " අවිශක ඇහුවේ තේ එකක් බොන ගමන්.

"කවුද දන්නේ..ගිහින් බලමු " ආදිත්‍ය කිව්වේ ගානක්වත් නැතුව

"මදැයි ඉතින්.දැන් උඹ කියන්නේ අද ඒකි නැත්තම් ආයේත් හෙටත් එමු කියලද?"

"ඔව් "

"මේ පිස්සු කෙලින්න එපා.මට ලෙක්චර්ස් තියෙනවා.උඹට ඕනේ නම් උඹ වරෙන් " අවිශ්ක කියද්දි ආදිත්‍ය හිනා වුනා.

"බය වෙන්න එපා බං.අද දේදුණුට ලෙක්චර්ස් තියෙනවා.ඒක ශුවර් මට.කෙල්ල ඒවි කියලත් සීයට අනුපහක් විතරම විශ්වාසයි "

"ඒ කොහොමද? උඹ මට හොරා කෙල්ලට ටෝක් කරනවද? "

"ඒවට කියන්නේ රහස් පරීක්ශක වැඩ කියලා මල්ලි.සෑහෙන අමාරුවෙන් තමයි මේ විස්තර මං හොයාගත්තේ.එහෙම විස්තර හොයාගත්ත විදිය  කියන්න මං බැදිලා නෑ" ආදිත්‍ය බරපතල විදියට එහෙම කියද්දි අවිශ්ක හිනා වුනා.

"අනේ පලයන් යන්න..ශුවර් එකට එෆ් බී එකෙන් හොයාගන්න ඇත්තේ.මං දැක්කා දවසට තුන්වරක් බෙහෙත් බොන්න වගේ ඒ කෙල්ලගේ ෆොටො බල බල ඉන්නවා " අවිශ්ක කියද්දි ආදිත්‍යත් හිනා වුනා.

"වැඩේ කෙරෙන්න නම් කැපවීමකුත් තියෙන්න එපැයි "

"හරි දැන් මට මේක කියපන්.එදා උඹ ඒ කෙල්ලට කිව්වා උඹට කෙල්ලෙක් ඉන්නවා කියලා.දැන් අද මොකක්ද උඹ කියන්න යන්නේ "

"මං උඹට කියන්නම්.හැබැයි නිකන් නටන්න බෑ අරකයි මේකයි කියලා " ආදිත්‍ය කිව්වේ ටිකක් වෙලා කල්පනා කරලා.

"මොකක්ද" ඒ සැරේ නම් අවිශ්ක ඇහුවේ කුතුහලෙන්.

ඒකට උත්තරයක් නොදීපු ආදිත්‍ය එයාගේ ස්මාර්ට් දුරකථනයෙන් ජායාරූපයක් විවෘත කරලා අවිශ්කගේ අතට දුන්නා.ඒකේ තිබ්බේ ආදිත්‍ය එදා අසේලි එක්ක ගත්ත ජායාරූප ටික.

"මේ මොකක්ද යකෝ මේ" අවිශ්ක ඇහුවේ පුදුමෙන්.

"පේන්නේ කොහොමද" ආදිත්‍ය ඇහුවේ කට කොණකින් හිනා වෙන ගමන්.

"කවද්ද මෙහෙම දෙයක් වුනේ? එතකොට උඹ සිරාවටම අසේලි එක්ක යාලුද? ඒකද එදා ෆොටෝ ගත්තේ " අවිශ්ක එක දිගට අහගෙන ගියා.

"පිස්සුද බං.මං එදා නිකමට සෙල්ෆි ගත්තේ.අපි දෙන්නට කරන්න දෙයක් තිබ්බෙත් නෑනේ උඹලා එනකම්.ඒකයි.පස්සේ මට හිතුනා මේවා දේදුණුට පෙන්නුවා නම් වැඩේ ගොඩ කියලා."

"අසේලි උඹේ ගර්ල් ෆ්‍රෙන්ඩ් කියලද දේදුණුට පෙන්නන්නේ "

"ඔව්..ඒ වගේ පේනවා නේද?" ආදිත්‍ය ඇහුවේ අවිශ්කගේ අතින් දුරකථනය ගන්න ගමන්.

" පිස්සුද උඹට.දැන් ඕක අසේලි දැනගත්තොත් එහෙම.දේදුණු දැනගත්තොත්"

"අසේලි දැනගන්නේ උඹ අසේලිට කිව්වොත් නේ.උඹ කියන්නේ නෑනේ.දේදුණු ඉන්නේ මෙහේ.අසේලි එහේ.කීයටවත් මේක එහෙම අහු වෙන්නේ නෑ.ෆොටෝ එක පෙන්නුවා.මේ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් කිව්වා.එච්චරයි " ආදිත්‍ය පැහැදිලි කරා.

"ඔව් ඉතින් අසේලි කලුතර, දේදුණු කොළඹ.එහෙම හිතලා බැලුවම අහුවෙන්න ඉඩක් නෑ තමයි" අවිශ්කත් කිව්වේ ඔලුව වනන ගමන්.

******************************************
ඔන්න ආදිත්‍ය හිතුවට අසේලි කලුතරනේ කියලා අසේලිත් කොළඹ එන්න හදන්නේ.මොකක් වෙයි කියලද හිතන්නේ.


හෙට බලමු

ආදරෙන් ඉන්න ❤️

No comments:

Post a Comment

මන්දාරම් අහස යට - දහතුන් වන කොටස

"මං ආදිත්‍ය.අසේලිගේ බෝයි ෆ්‍රෙන්ඩ්.ඔයා කවුද?" ආදිත්‍ය කියද්දි ගගනගේ වගේම අසේලිගෙත් ඇස් ලොකු වුනා. "මං කැම්පස් එකේ...