Wednesday, December 12, 2018

මන්දාරම් අහස යට - එකොළොස්වන කොටස



ආදිත්‍යයි අවිශ්කයි එදා රෑ ගෙදර එද්දී රෑ වුනේ අවිශ්කගේ  යාලුවෙක්වත් හම්බවෙන්න ගියපු නිසා.ගෙදර ඇවිත් නාලා කාමරෙට ආපු ආදිත්‍ය දුරකථනය අතට ගත්තත් දවසෙම පාවිච්චි කරපු නිසා ඒකේ බැට්රි බැහැලයි තිබ්බේ.ඒ නිසා ඒක චාර්ජ් වෙන්න ගහපු ආදිත්‍ය ලැප් එක දාගත්තේ ෆිල්ම් එකක් බලන්න කියලා.ඒ අතරේ අවිශ්ක හිටියේ එයාගේ උපාධියේ නිබන්ධන වැඩ වගයක් කර කර.

ඒ අතරේ කාමරේ දොරෙන් එබුනේ අවිශ්කගේ නංගි හසිනි.හෙමීට කාමරේට එබුන හසිනි අවිශ්ක ලගට ගියා.

"අයියේ..." හසිනි  කිව්වේ මේසේට හේත්තු වෙන ගමන්.

"මොකෝ" අවිශ්ක කතා කරේ ඔලුවවත් උස්සන්නේ නැතුව.

"අයියේ ෆෝන් එක දෙනෝකෝ ටිකකට" හසිනි එහෙම කියද්දි නම් අවිශ්ක හොදට බැලුවා හසිනි දිහා 

"ඒ මොකටද?"

"යාලුවෙක්ට මැසේජ් එකක් දාන්න"

"මගේ එක දැන් දෙන්න විදියක් නෑ.මං ඒකෙන් වැඩක්" එහෙම කියපු අවිශ්ක ඒ පාර හැරුනේ හෙඩ් සෙට් එකත් ගහගෙන ෆිල්ම් එක බල බල හිටපු ආදිත්‍යගේ පැත්තට.

"ආදි...උඹ ෆෝන් එකෙන් වැඩක්ද?" ආදිත්‍ය අහද්දි අවිශ්ක හෙඩ් සෙට් එක ගැලෙව්වා.

"මොකක්ද කිව්වේ?" ආදිත්‍ය ඇහුවේ කලින් අහපු එක හරියට ඇහුනේ නැති නිසා.

"උඹ වැඩක්ද ෆෝන් එකෙන්.මේ මෙයාට ෆෝන් එක ඕනෙලු ටිකකට" අවිශ්ක කිව්වේ හසිනිවත් පෙන්නලා 

"සුදු අයියේ දෙන්නකෝ අනේ.ටක් ගාලා ගෙනත් දෙනවා" හසිනි ඒ පාර ආදිත්‍ය ලගටම ගිහින් කිව්වා.

"අන්න චාර්ජ් ගහලා තියෙන්නේ.අරන් යන්න" ආදිත්‍ය කිව්වේ දුරකථනය පෙන්නන ගමන්.

"අනේ හොද සුදු අයියා" එහෙම කියපු හසිනි දුරකථනය අරගෙන කාමරෙන් ගියාට පස්සේ ආදිත්‍ය ආයෙත් ෆිල්ම් එක බලන්න ගත්තා.

ෆිල්ම් එක ඉවර වෙන්න ඔන්න මෙන්න තියලා කාමරේට එබුනේ අවිශ්කගේ මල්ලි නෙත්සර.නෙත්සරගේ පිටිපස්සෙන්  හසිනිත් කාමරේට එබුනා. නෙත්සර හෙමීට ආදිත්‍ය ලගට ගිහින් ඇදෙන් වාඩි වුනා.නෙත්සර ඇදෙන් වාඩි වුන නිසා ආදිත්‍ය ෆිල්ම් එක නවත්තලා හෙඩ් සෙට් එකත් ගලවලා නෙත්සර දිහා බැලුවා.හසිනි තාමත් හිටියේ දොර ලග.අවිශ්කත් වැඩේ නවත්තලා බැලුවේ මොකක්ද මේ වෙන්නේ කියලා.

"අයියේ මේ මේක වැටුනනේ" නෙත්සර කිව්වේ ඇහෙන නෑහෙන හඩින්.ආදිත්‍ය බැලුවේ නෙත්සරගේ අත දිහා.නෙත්සර අතේ තියන් හිටියේ ආදිත්‍යගේ ඇපල් දුරකථනය.

ආදිත්‍ය සද්ද නැතුවම දුරකථනය අතට ගත්තා.ඒක ඒ වෙද්දිත් කොටස් දෙකකට වෙන් වෙලයි තිබ්බේ.අවිශ්කත් එතනට ආවේ මොකක්ද මේ බලන්න.

"මේ මොකද මේ?" අවිශ්ක ඇහුවේ ආදිත්‍යගේ අතේ තිබ්බ දුරකථනයේ තත්වේ දැකලා.

"වැටුනා අයියේ" නෙත්සර මිමිණුවා.

"මාර වැටිල්ලක්නේ.කවුද මේක කරේ?" අවිශ්ක ඇහුවේ දොර ලග ඉන්න හසිනි දිහාත් බලන ගමන්.

"අක්කා  අතින් වුනේ" නෙත්සර කියද්දි අවිශ්කයි ආදිත්‍යයි දෙන්නම බැලුවේ හසිනි දිහා.

"නංගි එනවා ඇතුළට" අවිශ්ක කෑගහපු පාරට හසිනි ගැස්සිලා ගියා.ඒ අතරේ ආදිත්‍ය කැඩිච්ච කෑලි දෙකත් අරගෙන ගියේ අවිශ්කගේ මේසේ ලගට.මේසේ ලග ඉදන් කෑලි දෙක අමාරුවෙන් එකතු කරන්න හදන ආදිත්‍යට අවිශ්ක කාමරේ ඇතුළේ ඉදන් කරන කෑගැහිල්ල ඇහුනේ නෑ.

"කැඩුවේ හසිනි නම් නෙත්සර කොහෙන්ද මේකට එකතු වුනේ?" අවිශ්ක ඇහුවේ තරහෙන් 

"මල්ලිත් බලන්න ඉල්ලගත්තා" හසිනි කිව්වේ නෙත්සරව පෙන්නන ගමන් 

"ඒ වුනාට එයා තමා වට්ටගත්තේ" නෙත්සරත් පරදින්න ලෑස්ති නෑ.

"අවියා මෙහේ වරෙන්" ආදිත්‍ය කිව්වේ පිටිපස්ස බලන්නෙවත් නැතුව.

"ඉන්නවකෝ මේක අප්පච්චිට කියනවමයි" අවිශ්ක කිව්වේ ආදිත්‍ය දිහාවට යන ගමන්.ඒ කතාවට හසිනියි නෙත්සරයි දෙන්නම බැලුවේ බය වෙලා.

"මොකෝ හදාගන්න බැරිද?" අවිශ්ක දුරකථනය දිහා හොදට බැලුවා.

"කෑලි දෙක නම් සෙට් කරගත්තා.ඒත් ඔන් වෙන්නේ නෑ.හදන්න දෙන්න වෙයි" ආදිත්‍ය එහෙම කියන ගමන් පිටිපස්ස හැරුනා.

"එනවා දෙන්නම මෙහෙට" ආදිත්‍ය කතා කරද්දි නෙත්සරයි හසිනියි දෙන්නම ගියේ බය වෙලා 

"මං අහන්නෙ නෑ මොකක්ද වුනේ කියලා.මේක මං හදාගන්නම් කොහොම හරි.හැබැයි මතක තියාගන්නවා ආයේ වෙන කාගේ හරි දෙයක් ගත්තම ඒක පරිස්සම් කරන්න ඕනේ හරිද? වෙන කාගේ හරි වුනා නම් මොකද වෙන්නේ?" ආදිත්‍ය කිව්වේ හසිනියි නෙත්සරයි දෙන්නම දිහා බලාගෙන.

"අප්පච්චිට කියන්න තිබ්බේ බං" අවිශ්ක කිව්වේ හසිනියි නෙත්සරයි ගියාට පස්සේ 

"ඕන් නෑ බං.ඒක නෙවෙයි දැන් ප්‍රශ්නේ"

"හදාගමු බං.අවුලක් වෙන එකක් නෑ"

"නෑ අවියා.මේකේ දේදුණුගේ නම්බර් එක තිබ්බනේ.දැන් කොහොමද කතා කරන්නේ?" ආදිත්‍ය කියද්දි අවිශ්කගේ මූණට බැරෑරුම් පෙනුමක් ආවා.

"නෑ හදාගමු.අවුලක් වෙන්නේ නෑ.ඕවා ආයේ ගන්න පුලුවන්" අවිශ්ක කිව්වේ ආදිත්‍යගේ හිත හදන්න හිතාගෙන.

කිව්වා වගේම දුරකථනය හදන්න සතියක්ම ගියා.උදේ වරුවේ දේශන ඉවර වෙලා එන ගමන් අවිශ්ක දුරකථනය ගෙනත් ආදිත්‍යට දුන්නා.

"ඔන්න ගෙනාවා.ඔක්කොම නම්බර්ස් ෆොටෝස් ඕකේ තියෙනවා" අවිශ්ක කිව්වේ දුරකථනය ආදිත්‍යගේ අතට දෙන ගමන්.

"තැන්ක් යූ මචන්" එහෙම කියපු ආදිත්‍ය හෙව්වේ දේදුණුගේ අංකේ.කාමරේ බැලකනියට ගිහින් ඉකමනටම දේදුණුගේ අංකෙට ඇමතුමක් ගත්ත ආදිත්‍ය බලන් හිටියේ දේදුණු ඇමතුමට උත්තර දෙනකම්.

"හෙලෝ" දුරකථනයේ අනිත් පැත්තෙන් දේදුණුගේ කටහඩ ඇහෙද්දි ආදිත්‍යට දැනුනේ ලොකු සැනසිල්ලක්.

"දේදුණු මං ආදිත්‍ය" ආදිත්‍ය දේදුණුට එයාව අදුන්වලා දුන්නා.

"කවුද ආදිත්‍ය කියන්නේ?" දේදුණු කියද්දි ආදිත්‍යට මතක් වුනේ එයා කවදාවත් දේදුණුට එයාගේ නම කිව්වේ නෑනේ කියලා 

"අර ගිය සතියේ දවසක ඔයාව හම්බවෙන්න කැම්පස් එක ලගට ආවේ.පොඩි කාලේ යාලුවෙක් වෙලා හිටපු ගෑනු ලමයෙක් හොයනවා කියලා"

" අහ් අර ගෑනු ලමයෙක් ඉන්නවා කියලා මට බොරු කියපු එක්කෙනා නේද?" දේදුණු කිව්වේ හිනා වෙවි.

"බොරු නෙවෙයි.ඇයි මං ඔයාට ෆොටෝ එකකුත් පෙන්නුවේ මගේ ගර්ල් ගේ" 

"ඉතින් ඔයා කිව්වේ ඔයාගේ ගර්ල් ඉන්නේ කලුතර කියලා නේද?"

"ඔව්...කලුතර තමයි" ආදිත්‍ය කිව්වේ ටිකක් පුදුමෙන් 

"එයාට ඉන්නවද නිවුන් සහෝදරියක් එහෙම" දේදුණු අහද්දි ආදිත්‍ය ගැස්සුනා

"ඇයි එහෙම අහන්නේ?" ආදිත්‍ය ඇහුවේ කුතුහලෙන් 

"අහන්නේ කලුතර ඉන්නවා කියපු ඔයාගේ ගර්ල් දැන් ඉන්නේ කොළඹ නිසා.එයා කොළඹ කැම්පස් ඉන්නේ"දේදුණු කියද්දි ආදිත්‍යගේ කටත් ඇරුණා.සිද්දිය මොකක් වුනත් දැන් මේක ශේප් කරගන්න ඕනේ කියලා හිතපු ආදිත්‍ය ආයෙත් කතා කරා.

"අහ් එයා කැම්පස් සිලෙක්ට් වෙලා තමා හිටියේ.එහෙනම් යන්න ඇති.මේකයි නංගි අපේ සම්බන්දෙට එයාලගේ ගෙදරින් කැමති නෑ.ඒ නිසා අපට කතා කරන්න වෙන්නෙම නෑ.ඔයා මේ කියපු එක හොදයි.මං එයාට කතා කරන්න විදියක් නැතුව හිටියේ" ආදිත්‍ය කියද්දි කාමරේ හිටපු අවිශ්කත් අහගෙන හිටියේ පුදුමෙන්

"ඉතින් එයාට තිබ්බනේ ඔයාට කතා කරන්න යාලුවෙක්ගේ ෆෝන් එකකින් වත්.ඔයාට බූට් ද දන්නේ නෑ" දේදුණු හිනා වෙද්දි ආදිත්‍යට කියන්න දෙයක් හිතාගන්න බැරි වුනා.

"නෑ නෑ එහෙම නෑ..." ආදිත්‍ය කියන්න දෙයක් හිතද්දි දේදුණු ආයෙත් කතා කරා.

"හරි හරි මං ඒක විහිලුවට කිව්වේ.එහෙම නැතුව ඇති" දේදුණු එහෙම කිව්වේ ආදිත්‍ය ඇත්තටම අප්සට් වුනාද කියලා හිතලා.

"ඔව්ව්...එයා එහෙම කරන්නේ නෑ"ආදිත්‍ය කිව්වේ වෙන කියන්න දෙයක් නැතිකමට 

"මේ මගේ ලෙක්චර්ස් දැන් පටන් ගන්න හදන්නෙ.බායි" එහෙම කියපු දේදුණු දුරකථනය විසන්ධි කරේ හිතාගන්නත් බැරි ඉක්මනට.

දේදුණුගේ දුරකථන ඇමතුමෙන් පස්සේ ආදිත්‍ය කල්පනා කරේ මේ මොකක්ද වෙච්ච දේ කියලා.

'මේක අහන්න වෙන්නේ අසේලිගෙන්ම තමයි' එහෙම හිතපු ආදිත්‍ය ඒ වෙලාවෙම අසේලිට දුරකථන ඇමතුමක් ගත්තා.ඒත් අසේලි දුරකථනයට පිළිතුරු නොදුන්න නිසා ආදිත්‍යට තවත් තරහ ගියා.

"ඒ පාර ආන්ස්වර් කරන්නෙත් නෑ.මෙයා මොනවා කරලද දන්නේ නෑ" ආදිත්‍ය තමන්ට කියාගත්තේ තරහෙන්.

හවස් වරුවෙම අසේලිට කතා කරන්න උත්සහ කරපු ආදිත්‍ය නාන්න ගියේ දුරකථනය කාමරෙන් තියලා.කොට කලිසමට බැනියමක් දාගෙන තුවායෙන් ඔලුවත් පිහදනගමන් එලියට ආපු ආදිත්‍යට ඇහුනේ දුරකථනය නාද වෙන සද්දේ.ආදිත්‍ය එතනට යනවත් එක්කම දුරකථනය විසන්ධි වුනා.ඒ කතා කරලා තිබ්බේ අසේලි.ආදිත්‍ය ඒ ඉක්මනට අසේලිට දුරකථන ඇමතුමක් ගත්තා.මේ සැරේ දෙපාරක් නාද වෙද්දිම අසේලි දුරකථනයට පිළිතුරු දුන්නා.

"හෙලෝ"

"හෙලෝ කොහෙද ඉන්නේ" ආදිත්‍ය ඇහුවා 

"බෝඩිමේ" අසේලිත් කිව්වේ වැඩිය හිතන්නේ නැතුව 

"මොන බෝඩිමේද?"

"කැම්පස් බෝඩිමේ අනේ.ඇයි කතා කරේ"අසේලි කිව්වේ නොඉවසිල්ලෙන්.

"කැම්පස් එකේ? කොළඹද" 

"ඔව් ඔව්. ඇයි අනේ.මොකටද කතා කරේ?" ඒ සැරේ නම් අසේලි ඇහුවේ තරහෙන් 

"කවද්ද කැම්පස් ගියේ?" ආදිත්‍ය ඇහුවේ කුතුහලෙන් 

"ගිය සතියේ බදාදා"

"කියන්න එපා නිකන්වත් අපට" ආදිත්‍ය කිව්වේ තරහෙන් 

"ඒ මොකටද ඔයාට කියන්නේ?" අසේලිත් ඒ ගමන්ම ආපස්සට ඇහුවා 

"කියන්නේ කියන්නේ...ඔයා මගේ ගර්ල් ෆ්රෙන්ඩ් කියලා හිතන් ඉන්න අය ඉන්න නිසා" ආදිත්‍ය ඒ ටික කිව්වේ ටිකක් හෙමින් 

"ඒ කවුද?" අසේලි ඇහුවේ පුදුමෙන්.

'මේ කෙල්ලගේ මතකේ නැති වෙලාද කැම්පස් ගියපු පාර' ආදිත්‍ය කල්පනා කරා.

"ඇයි ඕයි මතක නැද්ද මගේ ගර්ල් ෆ්රෙන්ඩ් කියලා පෙන්නන්න මං ෆොටෝ එකක් ගත්තා.ඒ කෙල්ල ඉන්නේ කොළබ.එයා ඔයාව දැකලා මාව කන්න හදනවා කලුතර ඉන්නවා කියපු කෙල්ල කොළඹ ඉන්නවා කියලා" ආදිත්‍ය පැහැදිලි කරද්දි අසේලි හිනා වුනා.

"ඉතින් ඒක ඔයාගේ ප්‍රශ්නයක්නේ.මං මොකක් කරන්නද?"

"මං මොකක් කරන්නද නෙවෙයි.ආයේ එහෙම ඔහොම එකක් කරනවා නම් මට කියනවා"

"ඒ මොකටද මං ඔයාට කියන්නේ"

"මොකට හරි.මං දැනගෙන ඉන්න එපැයිනේ මගේ කෙල්ල මොනවා කරනවද කියලා"

"අනේ මේ මං කරන්නෙ මට ඕනේ දේ.ඔයාගේ ප්‍රශ්නේ ඔයා විසදගන්න.මල කෝලමක්නේ මේක" අසේලි කිව්වේ මේක එපා වෙලා 

"මල කෝලමක් කියන්නේ..මට කියලා එයාට ඕනෙ දේ කරගෙන දැන් මග අරිනවා.කෙල්ලෝ ඔහොම්මයි" ආදිත්‍ය කිව්වේ තරහෙන් 

"ඔව් මග අරිනවා තමයි.ඒ මගේ හැටි.මං තියනවා.මල කරදරයක් වුනානේ මේක" එහෙම කියපු අසේලි දුරකථනය විසන්දි කරේ ආදිත්‍යව තවත් තරහ ගස්සලා.

එහෙම්ම ඇදෙන් වාඩි වුන ආදිත්‍ය දුරකථනයත් අතේ තියන් කල්පනා කරේ මොකද කරන්නේ කියලා.ගමනක් ගියපු අවිශ්ක ඒ වෙලාවේ කාමරේට ආවේ ශර්ට් එකේ බොත්තම් ටිකත් ගලවන ගමන්.

"අම්මෝ...පට්ට රස්නෙයි බං.නාගන්න ඕනේ" එහෙම කියාගෙනම අවිශ්ක ඇද උඩට වැටුනා.ඒත් ආදිත්‍යගෙන් උත්තරයක් නැති තැන අවිශ්ක ආයෙත් කතා කරා.

"මොකෝ බං"

"මං හෙට කොළඹ යනවා" ආදිත්‍ය කිව්වේ අවිශ්ක දිහා බලන්නේ නැතුවා 

"ඒ මොකෝ හදිස්සියේ"

"දේදුණු හම්බවෙන්න" ආදිත්‍ය කිව්වේ ඇදෙන් නැගිටින ගමන් 

*********************************************************************************

අනේ හැමෝම මට සමාව දෙන්න කතාව නොදැම්මට.දරුණු විදියට අසනීප වෙලා ඉන්නේ.දවස් දෙකක්ම ගියා මේ කොටස ටයිප් කරගන්න.තරහ වෙන්න එපා හොදේ.හෙට කොටසක් දෙන්නම් කොහොම හරි.

මේ දවස් හරිම සීතලයිනේ.යාලුවෝ තෙමෙන්න නම් යන්න එපා හොදද.

ආදරෙන් ඉන්න 💖

හෙට හම්බෙමු 😊

No comments:

Post a Comment

මන්දාරම් අහස යට - විසි හත් වන කොටස

තමන් මෙච්චර කල් හොයපු පොඩි කාලේ යාලුවා දේදුණු කියලා කියද්දි ආදිත්‍යට දැනුනේ ලොකු පුදුමයක් වගේම සතුටක්. "ඒ කොහොමද ඔයා හරියටම...