Saturday, December 22, 2018

මන්දාරම් අහස යට - දහසය වන කොටස




දේදුණු පුරුදු විදියටම ඒ සෙනසුරාදත්  අප්පච්චි එනකම් බැල්කනියට වෙලා බලාගෙන හිටියේ හරිම ආසාවෙන්.වෙනදට වඩා අප්පච්චි හම්බෙන්න මේ සතියේ දේදුණුට තිබ්බ උවමනාවත් වැඩියි.ඒකට හේතු වුනේ ආදිත්‍ය.කලින් දවසේ හවස ආදිත්‍යව හම්බුනාට පස්සේ දේදුණු සෑහෙන වෙලා ආදිත්‍ය ගැන කල්පනා කරා.

'මේ කොල්ලා මේ කියන්නේ ඇත්ත කියලත් වෙලාවකට හිතෙනවා.ඒත් වැඩිපුරම මට හිතෙන්නේ මේක බොරුවක් කියලා.ඒ ගර්ල් මෙයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් වෙන්න බෑ.ගර්ල් ෆ්‍රෙන්ඩ් මෙයාට නොකිය කීයටවත් කැම්පස් යන්නේ නෑනේ.යාලුවෙක් වෙන්න ඇති.මාව අල්ලගන්න ඒ වෙලාවේ කටට ආපු එකක් කියන්න ඇති.පව් දෙයියනේ...' දේදුණු හිතුවේ හිත යටින් හිනා වෙන ගමන්.

' ඒත් මේ කියන කතාව ඇත්ත නම් මොකෝ කරන්නේ.අද අප්පච්චිගෙන් අහලා බලන්න ඕනේ' දේදුණු කල්පනා කරේ පාර දිහා බලාගෙනමයි.එතකොටම දේදුණුගේ ජංගම දුරකථනය නාද වෙන්න ගත්ත නිසා දේදුණු ඉදගෙන හිටපු පුටුවෙන් නැගිටලා කාමරේට ගියේ ඇමතුම ගන්න.

ඒ ඇමතුම ආවේ විසල්ගෙන්.

"හෙලෝ..." 

"හෙලෝ බබා..කොහෙද ඉන්නේ?"

"ගෙදර ඉන්නේ අයියේ..මේ අප්පච්චි එනකම් බලන් ඉන්නවා.අද පරක්කුයි එයා " දේදුණු කිව්වේ දුරකථනයත් අරන් ආයෙත් බැල්කනියට යන ගමන්.

"අහ් එහෙමද....සුදූ, නැන්දා ඉන්නවා නම් පොඩ්ඩක් ෆෝන් එක දෙන්න" විසල් එහෙම කියද්දි දේදුණුට දැනුනේ අමුත්තක්.කවදාවත් විසල් එහෙම කියලා නෑ.

"ඇයි අයියේ?"

"කියන දේ කරන්නකෝ සුදූ" ඒ සැරේ විසල් කිව්වේ ටිකක් තදින්.ඒ නිසාම මුකුත් නොකියපු දේදුණු දුරකථනයත් අරගෙන පහළට ගියේ නැන්දා හොයාගෙන.කුස්සියට ලං වෙද්දිම දේදුණුට ඇහුනේ ඇඩුම් හඩක්.

"අනේ සුරේ...මොකද දැන් කරන්නේ?" ඒ ඇහුනේ නැන්දගේ කටහඩ.දේදුණු හෙමීට කුස්සියට කිට්ටු කරා.

"මොනවා කරන්නද.සුදූවත් ලෑස්ති කරගෙන ඉක්මනට නුවර යමු" මාමා කියද්දිමයි දේදුණු කුස්සියෙන් එබුනේ.

"මේ නැන්දා විසල් අයියට නැන්දට කතා කරන්න ඕනේලු" දේදුණු කිව්වේ නැන්දට දුරකථනය දික් කරන ගමන්.

මෙච්චර වෙලා මේසේ ලගට වෙලා වාඩි වෙලා හිටපු නැන්දා දුරකථනයත් අරන් ඉක්මනටම කුස්සියෙන් ගියේ දේදුණුගෙන් මූණ හංගන ගමන්.මොකක්ම හරි ප්‍රශ්නයක් කියලා තේරුනු නිසා දේදුණු බැලුවේ මාමා දිහා.

"ඇයි මාමේ ඒක පාරට නුවර යමු කිව්වේ?" 

"මෙහෙන් වාඩි වෙන්නකෝ සුදූ" මාමා කිව්වේ එයාගේ ඉස්සරහ පුටුවට අත දික් කරන ගමන්.

"ඇයි මාමේ? " දේදුණු ඇහුවේ පුටුවෙන් වාඩි වෙන ගමන්.මාමා කතා කරපු විදියට දේදුණුගේ හිතට අමුත්තක් දැනෙමින් තිබුනා.

"සුදූ කලබල වෙන්න එපා.අප්පච්චිට හාර්ට් ඇටෑක් එකක් ඇවිත්ලූ" මාමා කියද්දී දේදුණුට දැනුනේ එයාගේ ඔලුව කැරකෙනවා වගේ.

"දැන් අප්පච්චිට කොහොමද?" දේදුණු ඇහුවේ වෙව්ලන කටහඩකින්

"හොස්පිට්ල් ඇඩ්මිට් කරලලූ.වෙන විස්තරයක් දන්නේ නෑ සුදූ" මාමා කිව්වේ පුටුවෙන් නැගිටින ගමන්.

" මට අප්පච්චි බලන්න යන්න ඕනේ" දේදුණු කිව්වේ ඇස් වලින් කදුලු කඩන් වැටෙද්දි

"ඒක තමා අපිත් මේ කතා වුනේ,සුදූ ලෑස්ති වෙන්නකෝ.අපි යමු දැන්" එහෙම කියන ගමන් මාමා දේදුණුගේ ඔලුව අතගෑවේ දේදුණු ගැන ඇති වුන දුකකින්.

"සුදූ මෙන්න ෆෝන් එක.ලෑස්ති වෙන්න.අපි නුවර යමු" නැන්දා එහෙම කියාගෙනම ඇවිත් දේදුණු අතට දුරකථනය දුන්නා.ඔලුව පහතට හරවගත්ත දේදුණු ඉක්මන් ගමනින් උඩට යද්දි මාමා නැන්දා දිහා බැලුවා.නැන්දා හිස් බැල්මකින් කුස්සිය අස් කරන්න පටන් ගත්තා.

"ඇයි මොකද වුනේ? " මාමා ඇහුවේ නැන්දගේ වෙනසක් තේරුන නිසා

" අයියගේ හාර්ට් ඇටෑක් එකට විසල්ගෙත් සම්බන්දයක් තියෙනවා වගේ" නැන්දා කිව්වේ මාමා දිහා බලන්නෙවත් නැතුව.

"ඔයා කොහොමද එහෙම කියන්නේ?" 

"විසල් කතා කරද්දි පිටිපස්සෙන්  මහ ගෑනි සද්දේට කියෙව්වේ ඕකුන්ගේ මහ එකා බොරුවට හාර්ට් ඇටෑක් හදාගෙන කියලා" නැන්දා කිව්වේ කේන්තියෙන් පුපුරන ගමන්.

" ඒ මොකක්ද ඒ කතාවේ තේරුම.ඔයා ඒක විසල්ගෙන් ඇහුවේ නැද්ද"

" ඒක අහද්දි විසල් පොඩි වැඩක ඉන්නේ කියලා ෆෝන් එක කට් කරා.විසල් නම් හොද කොල්ලෙක් තමා.හැබැයි මට ඒ මාන්නක්කාර මහ ගෑනි නම් පේන්න බෑ" 

"හරි දැන් විසල් මොකටද කතා කරලා තියෙන්නේ"

"එයා කතා කරලා තියෙන්නේ දේදුණුට කොහොමද බලන්න.එයා හිතලා තියෙන්නේ අපි මේ වෙද්දිත් පිටත් වෙලා කියලා.දේදුණු මුකුත් නොදන්න බව තේරුණු නිසාලු මට කතා කරේ" නැන්දා කිව්වේ කුස්සියේ පිගන් ටික අඩුක් කරන ගමන්.

"හරි හරි...ඔයා දැන් ගිහින් ලෑස්ති වෙන්නකෝ.බලන්න දේදුණුට කොහොමද කියලා.මං දොරවල් වහලාම ලෑස්ති වෙන්නම්" කුස්සියේ දොර වහන ගමන්ම මාමා කිව්වේ නැන්දත් මේ වෙලාවේ සන්සුන් වෙන්න ඕනේ නිසා.

දේදුණු ඇදුම් කීපයක් බෑග් එකට දාගත්තේ ඇස් වලින් කදුලු කඩා හැලෙද්දි.හැමදාමත් දේදුණු වැඩියෙන්ම ආදරේ කරේ අප්පච්චිට.පැන්ඩෝල් පෙත්තක් බොන්න තරම්වත් ලෙඩක් නොතිබුනු අප්පච්චිට මේ එක පාරට මොකද වුනේ කියලා දේදුණුට හිතාගන්නත් බැරි තරම්.පුලුවන් ඉක්මනින් ලෑස්ති වෙච්ච දේදුණු මාමායි නැන්දයි එක්ක නුවර යන්න පිටත් වුනේ හදවත කඩාගෙන වැටෙද්දි.

මේ අතරේ අසේලි කළුතර නගරයට වෙලා බලන් හිටියේ විහාරා එනකම්.එදා අසේලිටයි විහාරාටයි පංති දවසක් වුනත්   හුග දවසකින් හම්බ නොවුන නිසා අසේලි විහාරට කතා කරලා එන්න කිව්වේ ඇදුම් ටිකකුත් අරන් ටිකක් ඇවිදලා එමු කියලා.අවිශ්කගේ සිද්දියෙන් පස්සේ අසේලිට විහාරා එක්ක හරියට කතා කරන්න වුනෙත් නැති නිසා විහාරා ඒ ගැන තාම හිතනවද කියලවත් අසේලිට හිතාගන්න බෑ.ඒ නිසාම අසේලිට ඕනේ වුනේ මේ ගැන විහාරා එක්ක කතා කරන්න. විහාරා එනකම් බලන් ඉන්න අතරේ අසේලිට මතක් වුනේ ආදිත්‍යව.

'ඒ සිද්දියෙන් පස්සේ සතියක්ම ගියා.දැක්කෙත් නෑ.මොනවා කරනවද දන්නේ නෑ.ඇත්තට එයා මොනවා කරන කෙනෙක්ද දන්නේ නෑ.නම ඇරුනම මං එයා ගැන මෙලෝ දෙයක් දන්නේ නෑනේ' අසේලි කල්පනා කුතුහලෙන්.

අසේලි කල්පනා කරන අතරේ එතනට ආපු විහාරා බලන් හිටියේ තනියෙන් හිනා වෙවී ඉන්න අසේලි දිහා.

"හීන ලෝකෙන් වඩින්න කුමරිය" විහාරා කණට කරලා කියද්දි අසේලි බැලුවේ ගැස්සිලා හැරිලා බැලුවා.අසේලි බය වුන විදිය දැකලා විහාරාට ඉබේටම හිනා ගියා.

" මොකද බං හිනා වෙන්නේ.මෙතන මාව බය කරලා මදිවට" අසේලි කිව්වේ අතින් කටත් වහන් හිනා වෙන විහාරා දිහා තරහෙන් බලන ගමන්.

"හිනා යන්නේ නැද්ද බං.මෙතන තනියෙන් හිනා වෙවී ඉන්නකොට"

"කවුද තනියෙන් හිනා වුනේ.උබට පිස්සු" අසේලි අහක බලාගෙන කිව්වේ ලැජ්ජාවෙන්

"අහ් මෙන්න කෙල්ලට ලැජ්ජ හිතිලා.කවුද කොල්ලා" විහාරා ඇහුවේ අසේලිගේ අතකිනුත් අල්ලගෙන ලං වෙන ගමන්.

"මොන කොල්ලද? පිස්සු උබට.වරෙන් යන්න.පංතිත් කට් කරලා ආවේ මෙතන උඹේ මගුල් අහන්න නෙවෙයි" අසේලි එහෙම කියාගෙනම අසේලිගේ අතින් ඇදගෙන ගියේ ප්‍රදේශයේ ප්‍රසිද්ද ඇදුම් සාප්පුවකට.

අතේ සල්ලි නැතත් රටේම ඕපදූප කතා කර කර ඇදුම් අල්ල අල්ල ඇවිදින එක අනිත් ගෑනු ලමයින්ට වගේම අසේලිටයි විහාරාටයිත් හොදට පුරුදු වැඩක් වුනා.ඒ නිසාම පැයක් විතරම ඇදුම් කඩ ගානේ ඇවිද්දත් මේ දෙන්නා එලියට බැස්සේ හිස් අතින්.

"මෙලෝ දෙයක් තිබ්බේ නෑනේ බං ගන්න"අසේලි නෝක්කාඩු කියද්දි විහාරා හිනා වුනා.

"තිබ්බේ නෑ නෙවෙයි.ගනන් වැඩියි ගනන් වැඩියි" විහාරා කියද්දි අසේලියි විහාරායි දෙන්නම එකට හිනා වුනා.

"මොකද කරන්නේ දැන්" අසේලි අහද්දි විහාරා උරහිස් හැකිලුවේ එයාටත් අදහසක් නැති බව පෙන්නන්න.

"මං කියන්නද? යමු අපේ ගෙදර.මට උබට කියන්න කතාවකුත් තියෙනවා.අපේ ගෙදරින් කාලා ෆිල්ම් එකක් බලලා හවස අපේ අයියට කියලා ඇරලව ගමු.හා ද?" අසේලි කියද්දි විහාරා හිනා වුනා.

"හා යමු" විහාරා කිව්වේ අසේලිගේ අතකිනුත් අල්ල ගන්න ගමන්.

දෙන්නත් එක්ක කලුතර බස් නැවතුමට ආවත් ඒ වෙද්දි අසේලිට ගෙදර යන්න බස් එකක් තිබුනේ නෑ.ඒ නිසා දෙන්නත් එක්ක එතන පාර අයිනේ ගහක් යටට වෙල හිටගත්තා.

"හෙන රස්නෙයි අනේ.අතනින් අයිස් ක්‍රීම් කමුද?" අසේලි ඇහුවේ එයාලාට ටිකක් ඈතින් ඉන්න අයිස් ක්‍රීම් වෙළෙන්දෙක් පෙන්නන ගමන්.ඒත් ඒකට විහාරාගෙන් පිළිතුරක් ලැබුනේ නැති නිසා අසේලි විහාරා දිහා බැලුවා.විහාරා හිටියේ වෙන කොහෙදෝ බලාගෙන.ඒ පැත්ත බලපු අසේලි දැක්කේ බස් එකක් ලගට වෙලා එතන කට්ටියක් එක්ක කතා කර කර අවිශ්කයි ආදිත්‍ය යි.

අසේලි ඒ පැත්ත බලනවත් එක්කම ආදිත්‍ය ත් ඒ පැත්ත බැලුවා.අසේලිව දැකපු ආදිත්‍ය හිනා වෙලා අත වනනවත් එක්කම අසේලි අහක බලාගත්තේ මොකක් කරන්නද කියලා හිතාගන්න බැරුව.

'ඒ මොකද ඒ?' අසේලි අහක බලාගන්නවා දැකපූ ආදිත්‍ය හිතුවේ පුදුමෙන්.ඒ නිසාම අවිශ්ක එතන ඉද්දිම ආදිත්‍ය අසේලි ලගට ආවා

"මොකෝ මෙතන" එතනට ආපු ආදිත්‍ය ඇහුවේ අසේලියි විහාරායි දෙන්නම දිහා බලන ගමන්.

"ටවුන් එකට ආවා බඩු ටිකක් ගන්න" අසේලි උත්තර දුන්නා.

"කෝ ගත්තද ඉතින්" 

"හොද ඒවා තිබ්බේ නෑ නේද විහාරා" අසේලි ඇහුවේ විහාරාගේ අතින් අල්ලගන්න ගමන්.

"හොද ඒවා තිබ්බේ නෑ නෙවෙයි.මෙයාට එතන තිබ්බ ඒවා ඔක්කොම ගනන් වැඩියි.අපෝ ශූ ශූ මෙච්චර ගනන්ද බෑ බෑ ගගා හිටියේ මුලු වෙලාවෙම" විහාරා කියද්දි ආදිත්‍ය හයියෙන් හිනා වුනේ අසේලිව තරහ ගස්සලා.

"අනේ මේ නිකන් හිටපන්.කවුද දන්නේ නෑ ඒක කැතයි මේක කැතයි කිව්වේ.ගනන් අඩුයි නම් ගන්න තිබ්බනේ.මෙයා ගත්තෙත් නෑ" අසේලි කිව්වේ විහාරාට රවන ගමන්.

"හරි හරි ඉතින් ඒවා විහාරාට කැත ඇති.කැත ඒවා ගන්න බෑනේ නේද විහාරා" ආදිත්‍ය කිව්වේ විහාරාට ඇහැක් ගහන ගමන්.

" ඒකනේ...නැතුව මේ ලෝබකමකට නම් නෙවෙයි මං ගත්තේ නැත්තේ" විහාරා කියද්දි ආදිත්‍ය හිනා වුනේ විහාරාව තවත් කේන්ති ගස්සලා.

" අනේ මේ මං ලෝබ නෑ.හිටපන්කෝ ආයේ එන්නේ නෑ මං කොහේවත් යන්න" අසේලි තරහෙන් කියද්දි ආදිත්‍ය යි විහාරායි ආයෙත් හිනා වුනා.

" හරි හරි දැන් කොහෙද යන්නේ ඉතින්" ආදිත්‍ය ඇහුවේ අසේලිගෙන් වුනත් උත්තර දුන්නේ විහාරා

" මෙයාලාගේ ගෙදර යන්නේ" විහාරා කිව්වේ අසේලිව පෙන්නන ගමන්

" මාත් එන්නද?" ආදිත්‍ය අසේලිගේ මූණටම එබිලා ඇහුවේ අසේලිව වගේම විහාරාවත් පුදුම කරලා.

" ඒ මොකටද" අසේලි ඇහුවේ ටිකක් පිටිපස්සට වෙන ගමන්.පිටිපස්සට වුන ආදිත්‍ය සාක්කුවට අත් දෙකම දාගෙන හිනා වුනා.

"ඇයි ඉතින් එදා කරපු උදව්වට ට්‍රීට් එකක් දෙන්නේ නැද්ද" ආදිත්‍ය කිව්වේ අතින් කොණ්ඩේ හදන ගමන්

"ට්‍රීට් එකක්?" අසේලි එහෙම අහද්දි විහාරාට තිබ්බේ වෙන ප්‍රශ්නයක්

"මොකක්ද උදව්ව" විහාරා ඇහුවේ ආදිත්‍ය යි අසේලියි දෙන්නම දිහා බලන ගමන්.

එතකොටම එතනට ආවේ අවිශ්ක.අවිශ්කව දැකපු විහාරා අහක බලාගත්තා.ඒත් අවිශ්ක නම් කෙලින්ම බැලුවේ විහාරා දිහා.විහාරා දිහා බලන අවිශ්ක දිහා බලපු ආදිත්‍ය හුස්මක් හෙලුවා.පහුගිය දවස් ටිකේම අවිශ්කගේ මොකක්දෝ වෙනසක් ආදිත්‍යට තේරිලා තිබ්බත් ඒකට හේතුව විහාරා කියලා ආදිත්‍යට තේරුනේ අවිශ්කගේ ලැප් එක දාගත්ත වෙලාවේ.ඒකේ කවරයේ තිබුනු විහාරාගේ පින්තූරය දැකපු ආදිත්‍යට හැමදේම තේරුනා.ඒත් ඒ ගැන අවිශ්ක එක්ක කතා කරන්න තරම් ආදිත්‍යට වෙලාවක් හම්බුනේ නෑ.මේ දෙන්නට කතා කරන්න දෙන්න මේක හොද අවස්ථාවක් කියලා හිතපු ආදිත්‍ය අසේලි දිහා බැලුවා.අසේලිත් බලාගෙන හිටියේ අවිශ්ක දිහාමයි.

"මේ කමුද කට්ටියම අයිස් ක්‍රීම්" ආදිත්‍ය කිව්වේ අවිශ්කගේ උරහිසින් අල්ලගන්න ගමන්.ඒත් අවිශ්කට නම් ඒ ගැන ගානක් තිබ්බේ නෑ.

"හා හා කමු කමු" අසේලිත් කිව්වේ සතුටෙන්.

"අපි දෙන්නා ගිහින් ගේමු නේද? හතර දෙනෙක් යන්න ඕනේ නෑනේ" ආදිත්‍ය කිව්වේ අසේලිට ඇහැක් ගහලා ඉගි කරන ගමන්.ඒක තේරුන් ගත්ත අසේලිත් ඔලුව වැනුවා.ඒත් එතකොටම විහාරා අසේලිගේ අතින් අල්ලගත්තා.

"මාත් එනවා"

"ඔයා ඉන්න.අයිස් 4ක් ගෙන්න 3ක් යන්න ඕනේ නෑනේ" එහෙම කියලා විහාරාගේ අත අතෑරපු අසේලි ආදිත්‍ය එක්කම ගියේ අයිස් ක්‍රීම් වෙළෙන්දා ලගට.ඒත් එතන තිබ්බේ වැනිලා විතරයි.

"අයියෝ මං කන්නේ චොක්ලට් අනේ.මේ  අර පාර එහා පැත්තේ එකට යමුද?" අසේලි කිව්වේ පාරෙන් එහා හිටපු තවත් වෙළෙන්දෙක්ව පෙන්නන ගමන්.

"මෙන්න මෙතනින් ගමු.ආයේ එහා පැත්තට යන්න මට බෑ.මෙතන කහ ඉරකුත් නෑ" ආදිත්‍ය කිව්වේ සාක්කුවෙන් පර්ස් එක ගන්න ගමන්.

"මේ එහෙනම් ඔයා ඔතනින් වැනිලා ගන්න.විහාරායි මායි කන්නේ චොක්ලට්.මං යනවා එහා පැත්තට" එහෙම කියපු අසේලි කහ ඉරකුත් නැති පාරේ වාහන හරහා එහා පැත්තට දිව්වේ ආදිත්‍ය පුදුමෙන් බලන් ඉද්දි.

"පුදුම කෙල්ලෙක් තමයි මෙයා නම්..." තමන්ටම කියා ගත්ත ආදිත්‍ය ටිකක් එහායින් තිබ්බ කහ ඉර ලගට ගියේ පාර මාරු වෙන්න හිතාගෙන.පාර මාරු වෙන්න එතන හිටගෙන හිටපු ආදිත්‍ය බලන් හිටියේ පාරෙන් එහා පැත්තේ ඇවිදගෙන යන අසේලි දිහා.

" ගානක්වත් නැතුව යන හැටි.එදා රෑ බය වෙලා හිටපු කෙල්ල කියලා හිතන්නවත් බෑ"ආදිත්‍ය තමන්ටම කියාගත්තේ කට කොණකින් හිනා වෙන ගමන්.

අසේලි පාර දිගේ ඉස්සරහට ගියේ අයිස් ක්‍රීම් කඩේ හොයාගෙන.

'මේ මොඩයට තේරෙන්නේ නැද්ද මංදා දුර කඩේකින් ගත්තම තව වෙලා යනවා කියලා.එතකොට අර දෙන්නට තව කතා කරන්න වෙලා හම්බෙනෝනේ.ඔලුවේ තියෙන්නේ මැටිද කොහෙද' ආදිත්‍ය පාර මාරු වෙන්න ඉන්නවා දැක්කත් අසේලි නොදැක්ක ගානට ගියේ ආදිත්‍යට හිතින් බැන බැන මයි.

එතකොටම එතනට ආපු සුදූ වෑන් එකක් අසේලි ලගින්ම නැවැත්තුවා.ඉස්සරහ ජනේලෙන් ඔලුව දාපු මනුස්සයා අසේලිට කතා කරා.

"එක්ස්කියුස් මී නංගි..මේ එඩ්‍රස් එක තියෙන්නේ කොහෙද කියනවද?" ඒ පිරිමි කෙනා ඇහුවේ බොහොම වීනීත විදියට.ඒ නිසාම අසේලි කොළ කෑල්ල අතට ගත්තා.එඩ්‍රස් එක කියවන අතරේ අසේලිට එක පාරටම මූණට රෙදි කෑල්ලක් තද වෙනවා දැනුනා.වෙන මොනවත් හිතන්න කලින් වටේම කරුවල වෙනවා දැනුනු අසේලි ඇදගෙන වැටුනා.

************************************************

කතාවට කොමෙන්ටුවක් කොටාගෙන යන්න අමතක කරන්න එපා.බැන්නත් කමක් නෑ.

ඉක්මනින් හමුවෙමු.

ආදරෙන් ඉන්න ❤️

2 comments: