Monday, December 3, 2018

මන්දාරම් අහස යට - හයවන කොටස



හවස හතර වෙද්දි අසේලි විහාරත් එක්ක කලුතර බෝධිය ලගට වෙලා මග බල බල හිටියේ ආදිත්‍ය අවිශ්කව එක්කගෙන එනකම්.

"කෝ අනේ තාම නෑනේ" විහාරා කිව්වේ අසේලිගේ උරහිස උඩින් එබිලා බලන ගමන්.කොහොමත් අසේලි විහාරාට වඩා ටිකක් උසයි.

"ඒවි ඒවි.ටිකක් ඉවසලා ඉන්නෝකෝ" අසේලි කිව්වේ පාර දිහා බලාගෙනමයි.

"ඇත්තට කොහොමද උඹ අවිශ්කට කතා කරේ" විහාරා මේ අසේලිගෙන් මේ ප්‍රශ්නේ අහන්නේ සිය වෙනි වතාවට.

"ඒකෙන් ඔයාට වැඩක් නෑනේ සත්තලන්.ඔයාගේ වැඩේ කෙරෙනෝනේ.එච්චරයිනේ වෙන්න ඕනේ" අසේලි කිව්වේ විහාරාගේ ඉණ වටේට අතකුත් දාගන්න ගමන්.

"මේ මේ අත ගනින්.වෙලාවකට මට හිතෙනෝ උඹ මට ලව් ද කියලා" විහාරා කියද්දි අසේලිට හිනා ගියා.

"ඒ මොකෝ"

"නෑ ඉතින් ඇගේ එල්ලෙන හැටියට.කොල්ලෙක් ඉන්න කාලෙක කොල්ලට ඉන්න දෙන එකක් නෑ"

"නැතුව ඉතින්.කොල්ලෙක් ඉන්න ඕනේ ඒකටනේ බං.අතින්වත් අල්ලන්නේ නැතුව යාරයක් දුරින් වාඩි වෙලා යන ඉන්දියන් නාට්‍ය වල කොල්ලෝ නම් මට එපා"අසේලිගේ කතාවට දෙන්නටම හිනා ගියා.

එතකොටම තමයි අසේලිට එයාගේ දුරකථනට නාද වෙන සද්දේ ඇහුනේ.

"අහ් මෙන්න කතා කරනවා" එහෙම කියපු අසේලි දුරකථනය කනෙන් තියාගත්තේ විහාරා දුරකථනයට එබෙද්දිමයි.ඒ කතා කරන්නේ ආදිත්‍ය කියලා විහාරා දැනගන්නවට අසේලි කැමති වුනේ නෑ.

"හෙලෝ" 

"හෙලෝ, කොහෙද ඉන්නේ?" ආදිත්‍ය උත්තර දුන්නේ හෙමීට 

"බෝධිය ලග.ආවද ඔයාලා ?" 

"ඔව්...ඔහොම එන්නකෝ ඇතුළට.අපි ඇතුළේ ඉන්නේ"

"හා හා" එහෙම කියලා දුරකථනය විසන්ධි කරපු අසේලි විහාරා දිහා බැලුවා.

"යමු" අසේලි එහෙම කිව්වම විහාරා අසේලිගේ අතින් අල්ලගත්තා.

"අනේ මට බයයි බං"

"ඒ මොකටද?"

"මට බැන්නොත් එහෙම"

"මේ පන්සලක් මෝඩියේ.පන්සලේදි ඔයාට බනින්න තරම් අවිශ්ක නරක  කොල්ලෙක් නෙවෙයිනේ" අසේලි කියද්දි විහාරා හිනා වුනා.

"යමු එහෙනම්" එහෙම කියපු දෙන්නත් එක්ක පන්සල ලග මල් කඩේකින් ගත්ත නෙලුම් මල් මිටියකුත් අරන් සෙරෙප්පුත් ගලවලා බෝධියට ඇතුල් වුනා.

මේ අතරේ ආදිත්‍ය හිත හිත හිටියේ අවිශ්කට කොහොමද මේක කියන්නේ කියලා.බෝධියට යමු කියලා අවිශ්කව එක්කගෙන ආවට විහාරා එනවා කියලා තාමත් ආදිත්‍ය අවිශ්කට කියලා තිබ්බේ නෑ.

"මොකෝ බං වටේ කැරකෙන්නේ? යමු මල් පූජ කරලා ඉමු" අවිශ්ක එහෙම කියද්දි ආදිත්‍ය ආයෙත් බැලුවේ බෝධියට ඇතුල් වෙන දොරටුව දිහා.

එතකොටම ආදිත්‍ය දැක්කේ සෙනග ගොඩක් මැද්දෙන් එන අසේලිව.දණහිස ලගට දිග සුදු ගවුමක් ඇදලා කොණ්ඩේ පිටිපස්සට පීරලා හිටපු අසේලිව දැකපු ආදිත්‍ය ටික වෙලාවක් එහෙම්ම බලන් හිටියා.

"මෙහෙම ඉන්නකොට හිතන්නවත් බෑ කටකාර කෙල්ලෙක් කියලා.අහිංසක පාටයි" ආදිත්‍ය තමන්ටම කියාගත්තා.

"මොකද බං කරන්නේ? යමන්" අවිශ්ක ආයෙත් කියද්දි ආදිත්‍ය අවිශ්ක දිහා බැලුවා.

"අන්න උඹේ යාලුවෙක් එනවා.පොඩ්ඩක් කතා කරලා පලයන්" ආදිත්‍ය කිව්වේ ආයෙත් ගේට්ටුව දිහා බලන ගමන්.ආදිත්‍ය එක්කම ඒ පැත්ත බලපු අවිශ්ක දැක්කේ අසේලිගේ පිටිපස්සෙන් එන විහාරාව.දිග කොණ්ඩේ ගොතලා ඉස්සරහට දාලා ඩෙනිමකට සුදු කුර්තා ටොප් එකක් ඇදන් ඉන්න විහාරා ව දැකපු අවිශ්ක ඔලුවේ අතක් තියාගත්තා.

"වරෙන් යන්න" අවිශ්ක ආදිත්‍යගේ අතකින් ඇදලා ගත්තේ එතනින් යන්න හිතාගෙන 

"කොහෙද?" ආදිත්‍ය ඇහුවේ එතනින් හෙල්ලෙන්නෙවත් නැතුව 

"කොහෙට හරි යමන්.දැන් මාව  දැක්කොත් ඉන්න වෙන් නෑ මට " අවිශ්ක කිව්වේ මිනිස්සුන්ට මුවා වෙන ගමන්.අවිශ්කගේ කතාවට ආදිත්‍ය අවිශ්ක දිහා හොදට බැලුවා.

"උඹ කොච්චර කල් ඕක කරන්නද?"

"මොකක්ද?"

"මෙහෙම හැංගෙන එක.විහාරා ඉන්නෙත් මේ කලුතරමනේ.උඹට හැමදාම ඔහොම හැංගෙන්න බෑනේ.පිරිමියෙක් වගේ කතා කරලා මේ ප්‍රශ්නේ විසදගනින්"

"විසදගන්නවා කියන්නේ ඉතින් මේක නැවැත්තුවා කියලා තමයි කියන්න වෙන්නේ" අවිශ්ක කිව්වේ ආදිත්‍යට මුවා වෙලා ඉදගෙන විහාරා දිහා බලන ගමන්.

"ඇයි බං ගොනෝ තමා උඹ මේක නැවැත්තුවේ ඒ කෙල්ලට කියලා නෙවෙයිද?" ඒ සැරේ ආදිත්‍ය ඇහුවේ තරහෙන් 

"නෑ බං.කියාගන්න බෑනේ බං.අඩන්න ගන්නවනේ" අවිශ්ක කියද්දි ආදිත්‍ය අවිශ්කට රැව්වා.

"යකෝ මට ලැජ්ජයි උඹ මගේ අයියා කියන්නත්.වැදගත් විදියට ගිහින් අදවත් මේක කතා කරලා ඉවරයක් කරගනින්" ආදිත්‍ය ඒක කිව්වේ සැරෙන් වුනත් හෙමින්.මල් පූජ කරන්නෙත් නැතුව නැවතිලා කියව කියව ඉන්න මේ දෙන්නා දිහා වෙනකොටත් වටේ කීප දෙනෙක්ම නුරුස්සනා බැලමකින් බලන්න අරගෙනයි තිබ්බේ.

"හ්ම්ම්...හරි එහෙනම් කතා කරලා බලමුකෝ" අවිශ්ක ඒ සැරේ කිව්වේ ටිකක් කල්පනා කරලා.

"අන්න එහෙම ඉන්නවකෝ හලෝ.අන්න ඒ කෙල්ලෝ දෙන්නා අපිව දැක්කා.ඔහොම්ම ඉදපන්.කතා කරන්න ඕනේ නම් ඒවිනේ" ආදිත්‍ය කිව්වේ ශුවර් එකටම ඒ දෙන්නා මෙතනට එන බව දන්න නිසා.මේක තමන්ගේ සැලැස්මක් බව අවිශ්කට දැනගන්න තියන්න ආදිත්‍යට ඕනේ වුනේ නෑ.

මේ අතරේ ආදිත්‍යයි අවිශ්කයි ඉන්නවා දැකපු අසේලි විහාරාවත් ඇදගෙන එතනට ආවා.

"අහ්... කොහෙද මේ?" ආදිත්‍ය ඇහුවේ කාලෙකින් දැක්කා වගේ.

"ආවා මේ බෝධියට.නේද විහාරා" අසේලි උත්තර දුන්නේ විහාරාගේ අතින් අල්ලලා ලගට ඇදලා ගන්න ගමන්.විහාරා හිටියෙම බිම බලාගෙන.

ටික වෙලාවක් එහෙම්ම බලන් හිටපු අවිශ්ක ආදීත්‍ය දිහා බැලුවා.

"මචන් මං අරහෙට යනවා" ආදිත්‍යට එහෙම කියපු අවිශ්ක විහාරා දිහාත් එක පාරක් බලලා පන්සලේ කෙලවරින් කළු ගගට බහින තැනට ගියා.එතනින් පහළට බැස්සම හරිම ලස්සනට කළු ගග පේනවා විතරක් නෙවෙයි.ගග ලගටම යන්නත් පුලුවන්.

අවිශ්ක යන දිහා බලන් හිටපු විහාරා බැලුවේ අසේලිගේ දිහා.ඒත් එක්කම අසේලි ආදිත්‍යගේ මූණ බැලුවා.ආදිත්‍ය අසේලිට ඔලුව වැනුවේ වැඩේ හරි කියන්න.

"ඔයා යන්න ගිහින් කතා කරන්න" අසේලි කිව්වේ තාමත් එයාගේ අතින් අල්ලගෙන ඉන්න විහාරාගේ අත මිරිකලා

"ඒත් මේ..." විහාරා කතා කරන්න ගත්තත් කතාව ඉවර කරන්න වුනේ නෑ.

"යන්න නංගි.එයා කතා කරාවි" ආදිත්‍ය කිව්වේ විහාරා එක්ක හිනා වෙන ගමන්.ඒ හිනාව විහාරාට ගෙනාවේ ශක්තියක්.ආදිත්‍ය එක්කත් හිනා වුන විහාරා අවිශ්ක ගිය පැත්තටම ගියා.විහාරා යන දිහා ටිකක් බලන් ඉදපු ආදිත්‍ය අසේලිගේ දිහාවට හැරුනේ දැන් තමන්ගේ වැඩේ කතා කරගන්න කියලා.ඒත් අසේලි එතන පේන්න හිටියේ නෑ.

අසේලි එතන නැති බව දැකපු ආදිත්‍ය කලබල වෙලා වටපිට බැලුවා.එතකොට තමයි ආදිත්‍ය දැක්කේ මල් අරගෙන පූජ කරන්න ලෑස්ති වෙන අසේලිව.

"දැන් මොකද කරන්නේ?" අසේලි ලගට ගියපු ආදිත්‍ය හෙමීට ඇහුවේ බෝධිය ඉස්සරහට වෙලා මල් වල නටු කඩලා මල් ටික පූජ කරන්න ලෑස්ති කරන අසේලිගෙන්.

"මෙන්න මේ නටු ටික වීසී කරලා එන්න" ආදිත්‍යගේ ප්‍රශ්නෙට උත්තරයක් නොදීපු අසේලි ආදිත්‍යගේ අතට නෙළුම් මල් වල නටු ටික දුන්නා.

නටු ටික වීසී කරලා ආපු ආදිත්‍යගේ අතටත් නෙළුම් මල් දෙකක් දීපු අසේලි ඇස් දෙකත් පියාගෙන වැදගත්තා.අසේලි දීපු නෙළුම් මල් දෙක මල් ආසනෙන් තියපු ආදිත්‍යත් වැදගත්තා.ඒත් ආදිත්‍යගේ හිත තිබ්බේ තමන්ගේ වැඩේ ගැන.ඒ නිසා වැදගෙන ඉන්න ගමන්ම ආදිත්‍ය අසේලි දිහා ඔලුව හරවලා බැලුවා.

"මේ...මගේ වැඩේට මොකද වෙන්නේ?"අසේලි දිහාවට පහත් වුනු ආදිත්‍ය ඇහුවේ රහසින් වගේ

"ෂ්..ෂ්..සද්ද කරන්න එපා" ඇස් අරින්නෙත් නැතුවම අසේලි කිව්වෙත් රහසින් වගේ.ටිකක් වෙලා එහෙම්ම වැදගෙන හිටපු අසේලි ඊලගට ගියේ බුදු ගෙට.අසේලිගේ පිටිපස්සෙන්ම බුදු ගෙට ගියපු ආදිත්‍ය අසේලි වැදලා එනකම් දොර ලගට වෙලා බලන් හිටියා.

"හරි ද?" ආදිත්‍ය ඇහුවේ බුදුන් වැදලා එලියට ආපු අසේලිගෙන්.

"හ්ම්ම්...කෝ තාම නැද්ද විහාරා?" අසේලි ඇහුවේ වටපිට බලන ගමන්

"තාම නෑ.ඉතින් මොකෝ මගේ වැඩේට වෙන්නේ?" ආදිත්‍ය ඇහුවේ දැන්වත් මේක කතා කරගන්න අදහසින්

"මොකෝ වෙන්නේ ඉතින්? මං දන්නේ නෑ.ඔයානේ කියන්න ඕනේ.හැබැයි ඔන්න දැන්ම කිව්වා අරහේ මෙහේ යන්න නම් කතා කරන්න එපා.ලිමිට් එක තියාගන්න හරිද? " අසේලි ඒක කිව්වේ ටිකක් තදින්.අසේලි ඒක කියපු විදියට ආදිත්‍යට හිනා ගියා.හිනාව තද කරගත්ත ආදිත්‍ය අසේලි දිහා බැලුවා.

"හරි හරි මේ එක දවසයි.මං ඔයාව උස්සගෙන යන්නේ නෑ" ආදිත්‍ය කියද්දි අසේලි ආදිත්‍යට රැව්වා.

"එක දවසකට හරි මං මේ කිව්වෙ වෙන්න ඕනේ විදිය"

"හරි හරි..මට ඕනේ ඔයාව එතනට එක්කගෙන යන්න විතරයි.එයාව හම්බුනාට පස්සේ ඔයාට වැඩක් තියෙනවා කියලා ඔයා යන්න.එච්චරයි.මං ඔයාව බස් එකකටත් දාන්නම්" ආදිත්‍ය එයා හිතාගෙන ආපු විදිය අසේලිට පැහැදිලි කරා.

"දැන් මේ එයා එයා කියන්නේ කෙල්ලෙක් නේද?" අසේලි ඇහුවේ ආදිත්‍ය දිහා හොදට බලලා

"හ්ම්ම්.."ආදිත්‍ය කිව්වේ වටපිට බලන ගමන්.මොකක්දෝ හේතුවකට ඒක අසේලිගේ මූණට කියන්න බැරිකමක් ආදිත්‍යට දැනුනා.

"ඉතින් අනේ ඒ කෙල්ල සෙට් වෙන්නේ නෑනේ ඔයාට කෙල්ලෙක් ඉන්නවා කිව්වම" අසේලි ඇහුවේ මේ කතාව තේරුම් ගන්න බැරුව.

"අනේ ඇත්තට මේ කෙල්ලෝ හිතන්නේ කොල්ලෙක් කතා කරන්නේ යාලු වෙන්නම කියලද?"

"නැත්තම් වෙන මොකටද?" අසේලි අහද්දි ආදිත්‍යට තරහ ගියා.

"පිස්සුද ඕයි.වෙන වැඩකට මේ කතා කරන්නේ.තමුසෙට ඒ පණ්ඩිතකම් වැඩක් නෑනේ.ලබන සතියේ මාත් එක්ක කොළඹ යන්න ලෑස්ති වෙනවා.පැයක්වත් යන්නේ නෑ මේ වැඩේට" ආදිත්‍ය කියද්දි අසේලි බලන් හිටියේ කටත් ඇරගෙන.

"කොළඹ යන්නේ මොකටද?" අසේලි ඇහුවේ පුදුමෙන්

"කොළඹ තමයි ඒ ගර්ල් ඉන්නේ"

"ඉතින් එයාට මෙහේ එන්න කියන්න"

"එයාට මෙහේ එන්න බෑ"

"මටත් එහේ යන්න බෑ"

"ඒක මාර කතාවක්නේ.ඇයි බැරි?" ආදිත්‍ය ඇහුවේ තරහෙන්.

"මාව එහෙම කොළඹ යවන්නේ නෑ.ලගට යන්නෙත් විහාරා එක්ක.තනියෙන් එහෙම දුර යන්න බෑ" අසේලි කියද්දි ආදිත්‍ය ඔලුව කැසුවා.

"එහෙනම් එදා මීගමුවේ ආවේ?"

"කවද්ද?"

"අර මගේ ඇගට කඩන් පැනපු දවසේ" ආදිත්‍ය එහෙම කිව්වම අසේලිට හිනා ගියා.

"ඒ එදා පංතියේ යාලුවෝ කට්ටියක් එක්ක අපි මීගමුවේ බීච් ආවා.ඒ වෙලාවේ දැක්කේ අවිශ්ක පීසා හට් එක ඇතුලට යනවා."

"එහෙනම් කොහොමද මේ වැඩේ කරන්නේ?"

"මං දන්නේ නෑ" අසේලි කිව්වේ ගානක් නැතුව.

"මං දන්නේ නෑ කියන්නේ.ඔයා පොරොන්දුවක් වුනා මට.දැන් මට කොහොම හරි මේක කෙරෙන්න ඕනේ"

"හරි ඉතින් එහෙමයි කියලා මට ගෙදරට බොරු කියන්න බෑ" ඒ සැරේ නම් අසේලිටත් තරහ ගියා.තරහ නිසාම අසේලි ඒක කිව්වෙත් ටිකක් සද්දෙන්

"හෙමින් හෙමින් හපෝ මේ කෙල්ලොන්ගේ කටේ සද්දේ" ආදිත්‍ය කියද්දි අසේලිත් වටපිට බැලුවා.ඒ අතරේ වටපිට බලපු ආදිත්‍ය  දැක්කේ පාලම ලග ෆොටෝ එකක් ගන්න තරුණ ජෝඩුවක්.

"මේ මට අදහසක් ආවා" ආදිත්‍ය කිව්වේ ඒ පැත්ත බලාගෙනමයි.

"මොකක්ද?"

"කපල්ස් ඕනේ තරම් ෆොටෝ ගන්නවනේ.අපි දෙන්නත් ගමු සෙල්ෆි එකක්.ඒක පෙන්නන්නම් මං.එතකොට ශේප්" ආදිත්‍ය කියද්දි අසේලි බැලුවේ සැකෙන් වගේ.

"පස්සේ ඒක ඩිලීට් කරන්න ඕනේ හරිද?" අසේලි කිව්වේ ආදිත්‍යට ඇගිල්ලකුත් දික් කරලා.

"හරි හරි හලෝ.ඕක තියාගෙන මං මොනවා කරන්නද ඩිලීට් කරන්නම්"

"හා එහෙනම් ගමු"

"මෙතන බෑනේ.යමු පාලම උඩට" ආදිත්‍ය කිව්වේ පාලම දිහා බලාගෙන.

"එතකොට විහාරා?"

"එයා ඒවි.අවිශ්කයත් ඉන්නවනේ"

"හා යමු එහෙනම්" අසේලි කිව්වේ ආයෙත් වටපිට බලන ගමන්.මොනා වුනත් අදුරන කෙනෙක් දකිවිද කියලා අසේලි බයෙන් හිටියේ.

බෝධියෙන් පිට වෙලා පාලම උඩට ආපු ආදිත්‍ය ෆෝන් එක අතට ගත්තා.අසේලි නම් බයේ වටපිට බලන ගමන් හිටියේ.

"හරිද ගමුද?" ආදිත්‍ය ඇහුවේ වටපිට බලන අසේලිගෙන්

"ගමු ගමු  ඉක්මනට.කවුරු හරි දකිවිද දන්නෙත් නෑ" අසේලි කියද්දි ආදිත්‍යට හිනා ගියා.

"කතාව නම් ලෝකේ පෙරළන්න.මෙතන ෆොටෝ එකක් ගන්න බයයි.කෝ මේ බලන්න" ආදිත්‍ය කිව්වේ එයාගේ ස්මාර්ට් දුරකථනයේ කැමරාවත් දාලා.

"අහ් ගන්න ගන්න" අසේලි කිව්වේ කැමරාවට යන්තම් හිනා වෙන ගමන්

"කෝ මේ ලගට එන්න.දුර ඉදන් ගන්නවද ෆොටෝ" ආදිත්‍ය කිව්වම අසේලි ආදිත්‍යගේ ලගට ආවා.

"හරිනේ.දැන් ගන්න"

"කෝ හිනා වෙනවකෝ ඉතින් ගන්න.මේ නිකන් තරහකාරයෙක් එක්ක ෆොටෝ ගන්නවා වගේනේ" ආදිත්‍ය කියද්දි අසේලි ආදිත්‍යට රැව්වා

"තරහකාරයෙක් නේන්නම් ඉතින්" අසේලි කියාගත්තේ තමන්ටමයි.

"මට ඒක ඇහුනා" ආදිත්‍ය කිව්වේ කැමරාව දිහා බලාගෙනමයි

"ඇහෙන්න තමා කිව්වේ.කෝ ගන්න ඕක ඉක්මනට" අසේලි කිව්වම ආදිත්‍ය තව ටිකක් අසේලිට ලං වුනා.අසේලිත් කැමරාවට හොදට හිනා වුනා.ඒ විදියට සෙල්ෆි දෙක තුනක්ම ගත්ත ආදිත්‍ය ගත්ත සෙල්ෆි ටික අසේලිට බලන්න දුන්නා.

"ආනේ...මේ මං සුදුයි මේවගේ" අසේලි සතුටෙන් කිව්වේ ඒ ජායාරූප වල ඇත්තටම අසේලි හරි ලස්සනට හිටපු නිසා.

"මගේ ෆෝන් එක හොදයිනේ ඒකයි" ආදිත්‍ය කිව්වේ කොලර් එකත් උස්සලා.

"ඇත්තමයි මේ ඇපල් එකක්නේ." අසේලි කිව්වේ ෆෝන් එක හොදට බලන ගමන්.අසේලි ෆෝන් එක බලන දිහා බලන් හිටපු ආදිත්‍ය කතා කරා.

"කෝ දෙන්න ඕක.කෙලින් හිටගන්න ඔතනින්" ආදිත්‍ය කිව්වේ දුරකථනය අතට ගන්න ගමන්.

"ඇයි?" අසේලි ඇහුවේ පුදුමෙන්

"සුදු වෙලා පේන ෆෝන් එකෙන් ෆොටෝ එකක් අරන් දෙන්නම් .කෝ හිනා වෙන්න" ආදිත්‍ය කිව්වේ අසේලිව හොදට පේන විදියට කැමරාව හදාගන්න ගමන්.

"අනේ...ඉතින්" අසේලි ලැජ්ජාවෙන් එහේ මෙහේ හැරුනා

"මේ ඉන්නවකෝ කෙලින් මේක ගන්නකම්"ඒ පාර නම් අසේලි කැමරාවට හිනා වුනා.

"මොකක්ද මෙතන වෙන්නේ?" ආදිත්‍ය ෆොටෝ එක ගන්න හදනකොටම පිටිපස්සෙන් ඇහුන ඒ  කටහඩට ආදිත්‍ය බය වෙලා හැරිලා බැලුවා.

******************************************************************************
කවුද ඒ කතා කරේ?

හෙට දැනගමු

ආදරෙන් ඉන්න 💖

No comments:

Post a Comment

මන්දාරම් අහස යට - දහතුන් වන කොටස

"මං ආදිත්‍ය.අසේලිගේ බෝයි ෆ්‍රෙන්ඩ්.ඔයා කවුද?" ආදිත්‍ය කියද්දි ගගනගේ වගේම අසේලිගෙත් ඇස් ලොකු වුනා. "මං කැම්පස් එකේ...