Friday, December 28, 2018

මන්දාරම් අහස යට - දහ නම වන කොටස


අසේලිට සිහිය ආවේ වතුර වගයක් මුණට වැටෙනවා දැනිලා.අමාරුවෙන් ඇස් ඇරපු අසේලි වටපිට බැලුවා.බොද වෙච්ච ජායාවක් වගේ අසේලි දැක්කේ එයා ඉස්සරහ ඉන්න පොලිස් කාන්තාවක්.

"හා හා දැන්වත් නැගිටිනවා හොදයි.කොහොමද දැන්" ඒ පොලිස් කාන්තාව කිව්වේ අසේලිගේ නළලට අතක් තියන ගමන්.
අසේලි හෙමීට ඔලුව උස්සලා එතන වාඩි වුනා.වාඩි වෙලා වටපිට බලපු අසේලි දැක්කේ කබඩ් ගොඩකින් වට වුනු පොඩි කාමරයක්.අසේලි වාඩි වෙලා හිටියේ එතන තිබ්බ පොඩි බංකුවක් උඩ.

"මෙතන එහා පැත්තේ නාන කාමරයක් තියෙනවා.මූණ ටිකක් හෝදලා මේක ඇදගන්න.ලොකු සර් දැන් කීප සැරයක්ම ඇහුවා" කලින් කතා කරපු පොලිස් කාන්තාවම අසේලිට කිව්වේ පාර්සලයක් දික් කරන ගමන්.පාර්සලේ අතට ගත්තත් මේ වෙන්නේ මොකක්ද කියලා අසේලිට තේරුමක් තිබ්බේ නෑ.

"මං මේ කොහෙද ඉන්නේ?" අසේලි ඇහුවේ වටපිට හොදට බලන ගමන්.

"මේ කළුතර පොලීසිය" ඒ පොලිස් කාන්තාව කියද්දි අසේලි බැලුවේ බය වෙලා.එතකොටම පොලිස් කාන්තාවක් කාමරේට ඇතුල් වුනේ ෆයිල් කවර වගේකුත් අරගෙන.

"ඇයි....ඇයි....මං පොලීසියේ ඉන්නේ" අසේලි ඇහුවේ බය වෙලා.

"නැත්තම් වෙන කොහෙද ඉන්න ඕනේ? මේ පොඩි වයසට ඇග විකුනනවා මිසක් තමුන්ට වෙන කරන්න රස්සාවක් තිබ්බේ නැද්ද?" අලුතෙන් කාමරේට ආපු පොලිස් කාන්තාව එහෙම කියාගෙන අසේලිගේ පැත්තට ආවේ අසේලි දිහාවට අප්‍රසන්න බැල්මකුත් හෙලාගෙන.

"නිලූශා...." අසේලි ලග මෙච්චර වෙලා හිටපු පොලිස් කාන්තාව කිව්වේ ටිකක් තදින්.ඒත් නිලූශා ඒක ගනන් ගත්ත පාටක් නොපෙනුනේ ආයෙත් කතා කරන්න ගත්ත නිසා.

"තමුන්ලා වගේ ගෑනු නිසයි ඕයි රටේ ගෑනු ජාතිය මෙච්චර පහළට වැටිලා තියෙන්නේ" නිලූශා ආයෙත් කියවද්දි අසේලි ඒ දිහාම බලන් හිටියේ මුකුත් හිතාගන්න බැරුව.

"ඔය ඇති නිලූශා" අසේලිගේ ඉස්සරහින් කලින් පොලිස් කාන්තාව හිටගත්තේ නිලූශාව වලක්වන්න.

"මොකක්ද ඇති කියන්නේ...ඔයත් මේ වගේ ගෑනු ආරක්ශා කරන්න හදන්නේ මොකද අමාලි.ඔයාටත් මේකේ සම්බන්දයක් තියෙනවද?" නිලූශා කියද්දි අමාලි අසේලි දිහා හැරිලා බැලුවේ වේදනාවෙන්.

"ඔව් සම්බදයක් තියෙනවා.මේ මගේ නංගිගේ වයසෙම ගෑනු ලමයෙක්.කෙල්ලෙක්ට ඔහොම කතා කරන්න ලැජ්ජ නැද්ද ඔයාට"

"මං මොකටද ලැජ්ජ වෙන්නේ.මේ වගේ බැල්ලියෝ ආරක්ශා කරන ඔහේලයි ලැජ්ජ වෙන්න ඕනේ..තුක් විතරක්..මේ වගේ ගෑනු" නිලූශා එහෙම කියන ගමන් අසේලිගේ මූණට කෙල ගහද්දි අසේලිට මේක තවත් දරා ගන්න බැරි වුනා.අසේලි බංකුවෙන් අමාරුවෙන් නැගිට්ටා.

"මං...මං මොකක්ද කරපු වැරැද්ද මට ඔහොම කතා කරන්නේ"අසේලි අහද්දි නිලූශා හිනා වුනේ ඉණටත් අත තියාගෙන.

"වැරැද්ද...දන්නේම නෑ...තොත්ත බබා...වරෙන් නලවන්න" නිලූශා එහෙම කිව්වේ සරදමට හිනා වෙන ගමන්.

"නිලූශා...කරුණාකරලා මෙතනින් යනවද? මේ ලමයට ලෑස්ති වෙන්න ඕනේ.සර් එන්න කියලා තියෙන්නේ" අමාලි කිව්වේ බොහොම ඉවසීමෙන්.

"යන්නම්..යන්නම්...කොහොමත් මේ වගේ ගෑනු ලග වැඩි වෙලා ඉන්න මගේ කැමැත්තක් නෑ" නිලූශා එහෙම කියලා කාමරෙන් යද්දි අසේලි ඔලුව අල්ලගෙන බංකුවෙන් වාඩි වුනා.

"ඇයි මොකද? ඔලුව රිදෙනවද?" අමාලි ඇහුවේ අසේලි දිහාවට පහත් වෙන ගමන්.
"ටිකක්..." අසේලි කිව්වේ ඔලුව අල්ලගෙනමයි.

"ගිහින් මූණ ටිකක් හෝදගෙන මේක ඇදගෙන එන්න" එහෙම කියලා අමාලි යන්න හැරුනත් අසේලි එයාගේ අතකින් අල්ලගත්තා.

"ඇයි...එයා මට එහෙම කිව්වේ" අසේලි අහද්දි අමාලි සුසුමක් හෙලුවා.

"ලොකු සර් හම්බුනාම ඔක්කොම දැනගන්න පුලුවන්.ගිහින් ඇදගෙන එන්න" අමාලි කිව්වම අසේලි හෙමීට නැගිටලා එතන තිබ්බ නාන කාමරේට ගියා.

එක්කෙනෙක්ට හැරෙන්නවත් අමාරු ඒ පොඩි නාන කාමරේ තිබ්බේ උහුලන්න පුලුවන් සුගන්දයක් නෙවෙයි.ඒකත් ඉවසගෙන ශරීර කෘත්‍ය කරගත්ත අසේලි එතන තිබ්බ පොඩි කණ්නාඩි කෑල්ලෙන් මූණ බැලුවා.ඒ කණ්නාඩි කෑල්ලෙන් පේන තමන්ගේ මූණ දිහා අසේලි බැලුවේ පුදුමෙන්.රතු වෙච්ච ඇස් එක්ක මලානික වෙච්ච මූණ නම් තමන්ගේ නෙවෙයි කියලයි අසේලිට හිතුනේ.එහෙම්ම කණ්නාඩි කෑල්ලෙන් මූණ බලාගෙන අසේලි කල්පනා කරේ මොකක්ද වුනේ කියලා.

"මං ආදිත්‍ය එක්ක අයිස් ක්‍රීම් ගන්න ගියා...ඊට පස්සේ...ඊට පස්සේ...සිරී...සිරී... කියල කෙනෙක් හිටියා..." අසේලි මතක් කරේ අමාරුවෙන්.

"ආ...මගේ ඔලුව..." අසේලි ඔලුව අල්ලගත්තේ අමාරුවෙන්.

"ඇයි මගේ ඔලුව මෙච්චර රිදෙන්නේ?" අසේලි හිතුවේ ඔලුව අල්ලගෙනමයි.

අසේලි ඊට පස්සේ බැලුවේ තමන් ඇදන් හිටපු ඇදුම දිහා.ගෙදරින් ඇදගෙන ආපු සුදු පාට ගවුම මෙච්චර කිළටු වුනේ කොහොමද කියලා අසේලිට හිතාගන්නත් බැරි වුනා.ගවුම ගලවන්න ගවුම පිටිපස්සට අත යවපු අසේලිට තේරුනේ ගවුම පිටිපස්සෙන් ඉරිලා කියලා.

"ගවුම ඉරිලානේ...මොකද වුනේ" අසේලි හිතුවේ බයෙන්.

පුලුවන් ඉක්මනින් බෑග් එකෙන් ගත්ත සුදු සායකුයි ටීශර්ට් එකකුයි ඇදගත්ත අසේලි කොණ්ඩේ යන්තමට පිටිපස්සට කරලා ගොතා ගත්තා.ලෑස්ති වෙලා තව එක පාරක් කණ්නාඩියෙන් මූණ බලපු අසේලි එලියට ආවා.අමාලි එලියේ බලන් හිටියේ අසේලි එනකම්.අසේලිව එලියට එක්කගෙන ගියපු අමාලි පොලිස් පරීක්ශක කාමරේ ලග නැවතුනා.

"එක්ස්කියුස් මී සර්..මේ ගෑනු ලමයා නැගිට්ටා"
"අහ් කෝ එවන්න ඇතුලට"පොලිස් පරික්ශකතුමා කිව්වේ බල බල හිටපු ෆයිල් එක වහන ගමන්.

හෙමිට ඇතුලට ගියපු අසේලි පොලිස් පරීක්ශකතුමා ලග හිටගත්තා.

"වාඩි වෙන්න" අසේලි වාඩි වුනේ බයෙන්.

"කොහොමද දැන්? කොහේ හරි රිදෙනවද?" පොලිස් පරීක්ශකතුමා ඇහුවේ අසේලි දිහා හොදට බලන ගමන්.ඒකට අසේලි ඔලුව වැනුවා.

"මොකක්ද නම?"

"අසේලි...අසේලි ප්‍රාර්ථනා ජයවර්ධන"

"වයස"

"විසි එකයි"

"ම්ම්....ගෙවල් කොහෙද"

"නාගස් හන්දියේ...හොරණ පාරේ"

"තාත්තා මොකද කරන්නේ"

"තාත්තා බිස්නස් කරන්නේ.ජයවර්ධන බේකරිය තාත්තගේ"

"හ්ම්ම්...දැන් තමුන් දන්නවද ඇයි මේ පොලිසියේ ඉන්නේ කියලා" පොලිස් පරික්ශක්තුමා අහද්දි අසේලි ඔලුව වැනුවා.

"තාත්තගේ නම්බර් එක මතකද?" පොලිස් පරීක්ශකතුමා ඒ පාර අහද්දි අසේලි ඔලුව වැනුවා.

"කියන්න..." පොලිස් පරීක්ශකතුමා කිව්වේ දුරකථනයේ රිසීවරය අතට අරගෙන.

"07********"

පොලිස් පරික්ශකතුමා දුරකථන ඇමතුම ගන්නකම් අසේලි  එතන මේසේ උඩ තිබ්බ ඔර්ලෝසුව දිහා බැලුවා.ඒකේ වෙලාව තිබ්බේ හතයි කියලා.

'මේ රෑ හත ද?' අසේලි කල්පනා කරේ වටේ කරුවල දිහා බලන ගමන්.

"හෙලෝ...මිස්ටර් ජයවර්දන ද? "

"........................"

"මිස්ටර් ජයවර්දන මං මේ කලුතර පොලීසියේ ඉන්ස්පෙක්ටර් කොඩිකාර කතා කරන්නේ.මිස්ටර්ගේ දුව නේද අසේලි ප්‍රාර්ථනා ජයවර්ධන"

"......................"

"කලබල වෙන්න දෙයක් නෑ මිසටර් ජයවර්දන.දුව පොලීසියේ ඉන්නවා"

"..................."

"කලබල වෙන්න දෙයක් නෑ මිස්ටර් ජයවර්දන.පුලුවන් ඉක්මනට ස්ටේශන් එකට එන්න"

"..................."

"හරි..." එහෙම කියපු පොලිස් පරීක්ශකතුමා දුරකථනය විසන්ධි කරේ අසේලි දිහා බලාගෙනමයි.අසේලි ඉන්න විදියෙන් අසේලිගේ වරදක් නෑ කියලා තේරුනත් හදවතින් විතරක් හිතලා තීරණ ගන්න පොලිස් නිළදාරියෙන් විදියට පොලිස් පරික්ශකතුමාට පුලුවන් කමක් තිබ්බේ නෑ.

" දැන් අසේලි මතක විදියට කියමු බලන්න මොකක්ද දවල් වුනේ කියලා" පොලිස් පරීක්ශකතුමා අහද්දි අසේලි කල්පනා කරන්න ගත්තා.

" වැඩි දෙයක් මතක නෑ.අන්තිමට මට මතක අයිස් ක්‍රීම් ගන්න යනවා.එතකොට වෑන් එකක් මං ලග නැවැත්තුවා.ඒ අය මගෙන් ඇඩ්‍රස් එකක් ඇහුවා."

"ඔයා තනියමද අයිස් ක්‍රීම් ගන්න ගියේ"පොලිස් පරික්ශකතුමා ඇහුවේ ආදිත්‍යගේ කතාව පරික්ශා කරගන්න හිතාගෙන

"නෑ...ආදිත්‍ය එක්ක" අසේලි කිව්වේ කල්පනා කරන ගමන්.

"ම්ම්ම්...හරි...ඊට පස්සේ මුකුත්ම මතක නැද්ද" පොලිස් පරික්ශකතුමා අහද්දි අසේලි ටිකක් කල්පනා කරා.අසේලිට මතක තිබ්බේ අතරමගදි ඇහැරුනු වෙලාවේ වෙච්ච දේවල් විතරයි.ඒවා මතක් වෙද්දි අසේලි කලබල වුනා.

"අනේ.....එයා මගේ ඇගට ආවා...මට...මට..." කලබල වුන අසේලි පුටුවෙන් නැගිට්ටේ පොලිස් පරික්ශකතුමා වත් බය කරලා.

"අමාලි..." පොලිස් පරික්ශකතුමා කෑගැහුවේ අසේලි ඔලුව අල්ලගෙන පහතට නැවෙද්දි.අමාලි දුවගෙන ඇවිත් අසේලිව අල්ලගත්තා.හෙමීට අසේලිව වාඩි කරවපු අමාලි අසේලි ලගින් හිටගත්තා.

"බලන්න අසේලි...එහෙම මුකුත් වෙලා නෑ.එහෙම වුනා නම් ඔයා ඉන්න ඕනේ හොස්පිට්ල් එකේනේ.අපි  නොර්මල් චෙකප් එකක් කරා.ඔයාට කරදරයක් වෙලා නෑ" පොලිස් පරික්ශකතුමා කියද්දි අසේලි ඔලුව උස්සලා බැලුවේ ඇස් කදුලෙන් තෙමෙද්දි.

"ඒත් මං...මං...කොහොමද මෙහෙට ආවේ" අසේලි අහද්දි පොලිස් පරික්ශතුමා පුටුවට හේත්තු වුනා.

අසේලි එහෙම අහද්දිම කාමරේට ඇතුල් වුනේ අසේලිගේ තාත්තා.තාත්තගේ පස්සෙන් නීතිඥ මහත්තයෙකුත් කාමරේට ඇතුල් වුනා.

"අනේ...සුදු දූ..." අසේලිගේ තාත්තා අසේලිව දැකලා ඔලුව අතගෑවේ ඇස් දෙකේ කදුලු පුරවගෙන.

"මිස්ටර් ජයවර්ධන වාඩි වෙන්න" පොලිස් පරික්ශකතුමා කියද්දි ජයවර්දන වාඩි වුනා.
"මොකක්ද ඉන්ස්පෙක්ටර් වුනේ" අසේලිගේ තාත්තා ඇහුවේ කලබලෙන්.

"ඒක තමයි මේ කියන්න හැදුවේ" එහෙම කියපු පොලිස් පරීක්ශකතුමා වෙච්ච දේ විස්තර කරන්න පටන් ගත්තා.

ආදිත්‍ය ගැනත් වෙච්ච දේ ගැනත් කියද්දි අසේලි ඇස් දෙක ලොකු වුනා.

"ඔන්න ඕකයි අපි දන්න විදියට සිද්ද වුනේ.." පොලිස් පරික්ශකතුමා කියද්දි ජයවර්දන ඔලුව වැනුවා.

"එතකොට මේ කියන කොල්ලා..."

"ආදිත්‍ය...ආදිත්‍ය ගෙදර ගියා.ඒ ලමයා කියපුවයි අසේලි කියපුවයි ගොඩක් දුරට සමානයි.ඒ නිසා දැනට අපට ප්‍රශ්නයක් නෑ.ඒත් දෙන්නටම උසාවි එන්න වෙනවා උත්තර දෙන්න"

"එහෙනම් ඉන්ස්පෙක්ටර් අපට යන්න පුලුවන්ද"

"පුලුවන්.අමාලි අසේලිගේ කට උත්තරේ ලියාගන්න.මිස්ටර් ජයවර්දන ටිකක් ඉන්න.මට කතා කරන්න ඕනේ" පොලිස් පරික්ශකතුමා එහෙම කිව්වම අසේලි එලියට ගිහින් කට උත්තරේ දීලා බලන් හිටියේ තාත්තා එනකම්.

ජයවර්දන එලියට ආවට පස්සේ දෙන්නම ගෙදර යන්න පිටත් වුනා.ගෙදරට යනකම්ම දෙන්නා අතර කිසිම කතාවක් වුනේ නෑ.ඒක අසේලිට සහනයක් වුනේ ආයෙත් වෙච්ච දේ මතක් කරන්න ඕනේ නැති නිසා.

ගෙදරට ගියපු අසේලිව ගෙදර අය පිළිගත්තේ හරිම ආදරෙන්.

"අනේ සුදූ දූ කොච්චර බය වෙලාද අපි හිටියේ.විහාරාත් මෙච්චර වෙලාම මෙහේ ඉදලා දැන් ගෙදර ගියේ ඔයා ඉන්නවා කියලා දැනගත්තම" අසේලිගේ අම්මා ජනිතා කියවන්න ගත්තේ අසේලිව තුරුල් කරගන්න ගමන්.

අසේලිගේ ඔලුව විතරක් අතගාපු නිමන්ත අසේලිගේ තාත්තා ලගින් පුටුවක වාඩි වුනේ තාත්තගේ මූණ හරි නැති නිසා.

" මොකද තාත්තේ වෙලා තිබ්බේ" නිමන්ත ඇහුවේ ජනිතා එක්ක උඩට යන අසේලි දිහා බලන ගමන්.ඒ දිහා ටිකක් වෙලා බලන් හිටපු ජයවර්දන නිමන්ත දිහාවට හැරුනා.ජයවර්දන පොලිස් පරික්ශකතුමා කියපු කතාව නිමන්තට කියද්දි නිමන්තගේ අතමිට මෙළවුනේ ඔහුටත් නොදැනීමයි.

"මං ඕකුන්ව අහුවුනොත් ඉතුරු කරන්නේ නෑ" නිමන්ත කිව්වේ තරහෙන් වෙව්ලන ගමන්.

"ඒක නෙවෙයි ප්‍රශ්නේ..." ජයවර්දන කියද්දි නිමන්ත ජයවර්දන දිහා බැලුවේ පුදුමෙන්.

"එහෙනම්.."

"කවුද මේ ආදිත්‍ය සූරියබණ්ඩාර කියන්නේ කියලා" ජයවර්දන කියද්දි නිමන්ත කල්පනාවකට වැටුනා.

"ඒත් තාත්තේ..ඒ කොල්ලා මේ..." නිමන්ත කියන්න ගත්තත් කතාව නැවැත්තුවේ ජයවර්දනගේ මූණේ තිබ්බ පෙනුම නිසා.

" ඒ කොල්ලා...මොන ජාතියේ වුනත් මට වැඩක් නෑ නිමන්ත.කොහෙන් හරි මිනිස්සු දම්මලා හොයලා දෙනවා මට මූ මොකෙක්ද කියලා.නිශාන්ත සූරියබණ්ඩාර ලෝයර්ගේ ගෙදරලු ඉන්නේ" ජයවර්දන එහෙම කියාගෙනම නැගිට්ටේ නිමන්ත පුදුමෙන් බලන් ඉද්දි.

දවස් දෙකක්ම අසේලි කාමරෙන් එලියට බැස්සේ නෑ.කාමරේට වෙලා හිටියත් අසේලිට එක විනාඩියක්වත් නින්ද ගියේ නෑ.නින්ද ගියොත් හීන පෙනේවි කියන බය නිසා අසේලි එක විනාඩියකටවත් ඇස් පියාගත්තේ නෑ.ඒ නිසාම අසේලිගේ තිබ්බ අසනීප ගතිය තවත් වැඩි වුනා.ජනිතා එක එක කෑම හද හද දුන්නත් අසේලි කෑම කන්න උනන්දු වුනෙත් නෑ.ජනිතා වගේම මේධාවිත් කොච්චර අසේලි එක්ක කතා කරලා විස්තර දැනගන්න උත්සහ කරත් අසේලි ආයෙත් ඒ ගැන කතා කරන්න අකමැති වුන නිසා එයාලත් ඒ ගැන කතා නොකර හිටියා.

මුලු දවසෙම අසේලි කරේ බැල්කනියේ තියෙන පුටුවට වෙලා නිදි කිරා වැටි වැටි කල්පනා කරපු එක.විහාරා අසේලිව බලන්න ආවත් විහාරා එක්කවත් කතා කරන්න අසේලිගේ කැමැත්තක් තිබ්බේ නෑ කැම්පස් යන්න අසේලිට ඕනේකම තිබ්බත් ගෙදර හැමෝම ඒකට විරුද්ද වුනේ අසේලිගේ අසනීප තත්වේ නිසා.ඒ නිසා අසේලිට ගෙදරම ඉන්න වුනා.

තුන්වෙනි දවසේරෑ අසේලිට කාමරේ තනියෙන් ඉන්න උනේ මේධාවි ඉස්කෝලෙන් යන විනෝද චාරිකාවක් ගියපු නිසා.ජනිතා අසේලි එක්ක නිදාගන්න එන්නම හැදුවත් අසේලි එපා කිව්වේ එයාට තනියෙන් ඉන්න ඕනේ නිසා.අසේලිට පේන හීන නිසා අසේලි මේධාවි එක්ක මිසක් වෙන කිසිම කෙනෙක් එක්ක නිදාගන්න කැමති වුනේ නෑ.ඒ වගේම ඕනවට වඩා තමන්ට මේ ලැබෙන අවධානෙත් අසේලිට කරදරයක් වෙලා තිබ්බේ.

රෑ කෑම කාලා කාමරේට ආපු අසේලි ඇදෙන් ඇලවුනේ පොතකුත් අරගෙන.ටිකක් වෙලා එහෙම්ම පොත දිහා බලන් හිටපු අසේලිට මතක් වුනේ පොලිස් පරික්ශකතුමා කියපු දේවල්.

"ආදිත්‍ය සෑහෙන දුරක් පයින් දුවගෙන ඇවිත් තියෙනවා ඔයාව බේරගන්න.ඔයාව අපට හම්බවෙද්දිත් ආදිත්‍ය එතන හිටියේ"

'ඔයා ඇයි එහෙම ආවේ? ඔයාට කතා කරන්න ඕනේ මට.ඒත් කතා කරලා මොනවා කියන්නද.ඔයත් කරදරේ වැටිලා මං නිසා' අසේලි හිතුවේ ඇස් දෙක පියාගෙන ඔලුව බිත්තියට හේත්තු කරගන්න ගමන්.

එතකොටම බැල්කනිය පැත්තෙන් ඇහුනු සද්දයක් නිසා අසේලි ඒ පැත්ත බැලුවේ කලබලෙන්.කලින් දවස් වල මේධාවි කාමරේ බැල්කනියේ දොර අගුළු දැම්මත් අද මේධාවි නැති නිසා අසේලිටත් ඒක මතක් වුනේ නෑ.

ඇහුනු සද්දේ නිසා කලබල වුනු අසේලි ඇදෙන් නැගිට්ටේ දොරෙන් එලිය බලන ගමන්.බැල්කනියේ විදුලි එලිය නිසා කාමරේ පැත්තට වැටුනු හෙවනැල්ල දැකපු අසේලි තවත් කලබල වුනා.අසේලි ඉක්මනින්ම කාමරෙන් යන්න හැදුවේ මේක තාත්තට කියන්න.ඒත් අසේලිගේ කලබලේ නිසාම මේස කකුලේ කකුල පැටලුනු අසේලි බිම වැටුනා.

"ආව්ව්..." අසේලිට ඉබේටම කියවුනා.ඒත් එක්කම බැල්කනියේ දොර ටිකක් ඇරුනේ අසේලිව තවත් බය කරන ගමන්.

අසේලි ඇද ලග බිම වැටිලා හිටපු විදියට අසේලිට දොර පෙනුනේ නෑ.ඒ නිසා අසේලි හෙමීට ඔලුව උස්සලා ඇදට උඩින් බැලුවේ මේ කවුද කියලා දැනගන්න.

"ආදිත්‍ය..." අසේලිට ඉබේටම කියවුනේ දොරෙන් ඇතුලට ඔලුව දාගෙන හිටපු ආදිත්‍ය දැකලා.

******************************************
කතාව ගැන හිතන දේ මට කියන්න අමතක කරන්න එපා..

කතාව කියවන ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි

ඉක්මනින් හමුවෙමු

ආදරෙන් ඉන්න ❤️

2 comments: